March 29, 2024

එජාප මන්ත්‍රීවරු පිරිසක් හලාවත රාජ්‍ය වැවිලි සමාගම විකිණීමේ සූදානමක!

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගේ මැදිහත් වීමෙන් හලාවත රාජ්‍ය වැවිලි සමාගම කොටස් කර විකිණීමේ ක්‍රියාවලියක් සිදුවන බව දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළිදරව් කරයි. 

එම සමාගමට අයත් එක් වගා භූමියක පමණක් වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 10 ඉක්මවන බව දැනගන්නට තිබේ.

විශාල ආදායමක් උපයන හලාවත වැවිලි සමාගම කර්මාන්ත පුරයක් සඳහා කැබැලි කර විකිණීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් කිහිපදෙනකු මැදිහත්ව සිටින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

එම සමාගමට අයත් වගා භූමිවල පොල් ඉඩම් අක්කර 600ක්ද, පොල් අස්වනු නෙළිය හැකි ගස් 19,000ක්ද, පොල් පැළ 6,500ක්ද අන්නාසි ගස් 10,000ක්, ඩ්‍රැගන් ෆෘට් අක්කර 3 1/2ක්, කජු වගාව අක්කර 15ක්, බැටළුවෝ 150ක් හා වැව් 300ක් ඇතුළත් බවත් මෙවැනි සාරවත් ඉඩම්වල කර්මාන්ත දැමීමට විෂය භාර ඇමැති කබීර් හෂීම් ඉඩදෙනවාද යන්න සමරසිංහ මහතා ප්‍රශ්න කරයි.

පාඩු ලබන හා මුඩු බිම් සහිත ඉඩම් අවශ්‍ය තරමට තිබියදී මෙවැනි සාරවත් ඉඩම් විකිණීම වහාම නවතා දමන ලෙස තම වෘත්තීය සමිති අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට මේ අත්තනෝමතික ක්‍රියාව සිදුකිරීමට ඇමැති කබීර් හෂීම් ඉඩ දෙනවා නම් ඊට එරෙහි ක්‍රියාමාර්ගද ගැනීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 March 2017 10:26