April 19, 2024

‘කෙතයි බතයි අපේකමයි’ අයදුම්පත් ‍ජූනි 30 වැනි දින දක්වා..

‘කෙතයි බතයි  අපේකමයි’ යනුවෙන් සාම්ප්‍රදායික ආහාර සැකසීමේ තරගාවලියක් හා ප්‍රදර්ශනයක් වාර්ෂිකව පැවැත්වීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලිය බත් වර්ග, කැඳ වර්ග, ව්‍යංජන හා සූප් වර්ග, පාන (බීම) වර්ග, රස කැවිලි වර්ග හා වෙනත් ආහාර වර්ග යන තරග ශිර්ෂ 6ක් යටතේ පැවැත්වෙන අතර එක් තරගකරුවෙකුට තරග ශිර්ෂ තුනක් යටතේ තරග කළ හැකි අතර එක් තරග ශිර්ෂයකින් එක් තරගයකට පමණක් සහභාගී විය හැකි බව අමාත්‍යාංශය පවසයි.

‘කෙතයි බතයි  අපේකමයි’  තරගාවලියට ඉදිරිපත් වීමට වයස් සීමාවක් නොමැති බවත්, තරගාවලිය දිස්ත්‍රික් හා ජාතික වශයෙන් වට දෙකකින් පැවැත්වෙන අතර, දිස්ත්‍රික් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්  ජාතික තරගය සඳහා තෝරාගනු ලබන බවද අමාත්‍යාංශය කියයි. 

මෙම තරගාවලියේ අයදුම්පත් ‍ජූනි 30 වැනි දින දක්වා සියලුම දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්  හා www.culturaldept.gov.lk යන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්  ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ජූලි මස 07 වැනි දිනට ප්‍රථම භාරදිය යුතු බව පැවසේ. මෙම තරගාවලියේ  දිස්ත්‍රික් තරග අගෝස්තු 09 වැනි දින පැවැත්වෙන අතර ජාතික තරගය හා  ආහාර ප්‍රදර්ශනය අගෝස්තු 30 වැනි දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)