April 19, 2024

කොරියාවේ සේවය කර පැමිණෙන ලාංකික ශ්‍රමිකයන් සඳහා විශේෂ වැඩසටහන්

දකුණු කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සිය රැකියා කාලසීමාව අවසානයේ දී මෙරටට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය ඉදිරියේ දී ඉදිරිපත්වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව පැවසූවේ පසුගිය දා කොරියාවේ සිදුකළ සංචාරයේ දී එරට සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් මුණගැසුණු අවස්ථාවේ දී ය.

වසර 05ක් සේවය කර දිවයිනට පැමිණෙන ඒ ශ‍්‍රමිකයින් උපයාගෙන එන මුදල් නිසි ලෙස ආයෝජනය කරන්නේ කෙසේ ද, ආයෝජනය සඳහා අවස්ථා ලබාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්වලට සරිලන මෙරට ව්‍යාපාරික අවස්ථාවන් හා උපරිම පහසුකම් ලබාදීමට ඉදිරියේ දී රජයක් ලෙස විදේශ රැකියා අමාත්‍යංශය මැදිහත් වී මුදල් අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය එක් ව සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කර තිබේ.

විශේෂයෙන් පසුගිය කාලයේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් දිවයිනට පැමිණ ඔවුන් රැගෙන එන මුදල් විධිමත් ලෙස ආයෝජනය නොකළ නිසා ඔවුන්ට නැවතත් ආර්ථිකමය ගැටළු පැනනැගුණු අවස්ථා තමන් දුටු බව අමාත්‍යවරිය ප‍්‍රකාශ කළා ය.

මෙම අවස්ථාවේ දී එරට රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් අමාත්‍යවරියගෙන්  ඉල්ලා සිටියේ දිවයිනට පැමිණ තමන්ගේම ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීමට තමන් කොරියාවේදී භාවිතා කළ යන්ත‍්‍ර සූත‍්‍ර පහසු මිළකට ලංකාවට ගෙන යෑමට අවස්ථාවක් උදා කර දෙන ලෙසයි. 

 

Rate this item
(0 votes)