April 17, 2024

ගොවීන්ට අලුත් තොරතුරු දෙන්න - ඇමති දුමින්ද

"ගොවිජන හා ග්‍රාමීය සංවර්ධනය" යනුවෙන් පැවැත් වූ පර්යේෂණ සම්මන්ත්‍ර‍ණය ඊයේ (18) වැනි දා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවැත් විය.

කෘෂිකාර්මික පර්යේෂණ මගින් ලබා ගන්නා වූ තොරතුරු ගොවි ජනතාව වෙත නිවැරදි ව සම්ප්‍රේෂණය කිරීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ එම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැනුවත් කළේ ය. 

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් එය සංවිධානය කර ඇත.

එහි දී අදහස් දැක් වූ දුමින්ද දිසානායක මහතා, පසුගිය වසර දෙක තුළ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ රට හමුවේ තැබීමේ දී එම කරුණු වෙනස් විය යුතු ආකාරය නවීකරණය විය යුතු ආකාරය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවත් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ රට තුළ වගා කළ හැකි ඉඩම් තුළ වගා කිරීම සහ ඒවායෙන් උපරිම ඵලදා‍වක් ලබා ගැනීම තුළින් යම් යම් බෝගවලින් අප රට ස්වයංපෝෂිත කිරීමේ අභියෝගය අප හමුවේ ඇති බවත් සඳහන් කළේ ය. එම අභියෝගය ජය ගැනීම තුළින් ආහාර ද්‍ර‍ව්‍ය පිටරටින් ගෙන ඒමට වැයවන මුදල් අප රටේ සංවර්ධනයට යොදා ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය. 

තව ද මෙම නව පර්යේෂණ මගින් සොයා ගන්නා ලද කරුණු ග්‍ර‍න්ථවලට පමණක් සීමා නොවී එම කරුණු පිළිබඳ විද්වත් කතිකාවත් ඇති කර නිවැරදි කරුණු ගොවි ජනතාව වෙත සමාජගත කිරීම තුළින් කෘෂිකර්මාන්තය නව දිශාවකට යොමු කළ යුතු බව අවධාරණය කළේ ය. 

 

Rate this item
(0 votes)