April 24, 2024

විසිතුරු මල්වලට හොඳ කලක්

අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නුවරඑළිය දිස්ත‍්‍රික්කය තුළ විසිතුරු මල් එකතු කිරීම, මිලදී ගැනීම, බෙදා හැරීම සහ ව්‍යවසායකයින් පුහුණු කිරීම සඳහා අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

නුවරඑළිය සමූපකාර මල් සංගමය විසින් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය දා විසිතුරු මල් වවන්නන් සහ රජයේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ය.

කාන්තාවන් 12 දෙනෙකුගෙන් 2004 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ නුවරඑළිය සමූපාකාර මල් සංගමය මේ වනවිට සාමාජිකයින් 532 දක්වා පුළුල්වී ඇති අතර ඔවුන් රුපියල් 25, 000 සිට ලක්‍ෂ 05 දක්වා මාසික ආදායම් ලබන්නන් වෙති. 

මේ වනතෙක් ඔවුන්ට මල් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිවීම නිසා මල් අපනයන කිරීමට ඇති හැකියාව මගහැරී ගොස් තිබේ. මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් එම වගාකරුවන් මුහුණ පා තිබෙන ගැටළුවලට විසදුම් ලැබෙන අතර එමගින් රටේ අපනයන ආදායම සඳහා ඔවුන්ට දායකවීමට ඇති හැකියාවද එම සංගමය පෙන්වා දුන්නේය. 

නුවරඑළිය, ගම්පහ, සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවලට පටක රෝපණාගාර ඉදිකර එම ප‍්‍රදේශවල මල් වගාකරුවන් පුහුණු කිරීමේ කටයුතු සහ අවශ්‍ය පැළ වර්ග ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජාතික උද්භිද විද්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Rate this item
(0 votes)