March 28, 2024

මන්ත්‍රී අසුනකින් ඔබ පුදන්නට තරගයක් බුදු හිමියනේ!

ජාතික මෙන්ම විශේෂයෙන්ම පාරසරික ප්‍රශ්නවලදී නොබියව ඉදිරිපත් වන හිමිනමකට මේ ලියුම්කරු මීට දින දෙකකට පෙර කතාකළේ පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ සිද්ධිය පිළිබඳව තොරතුරු දැන ගැනීමටය. ටික වේලාවකින් ආනවිලුන්දාව කතාව අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ආසනට බැස්සේය. "අනේ මහත්තයෝ මං දැන් එව්වා ඔක්කොමගෙන්ම ඈත් වෙලා ඉන්නේ. මම කරගත්ත ලොකුම වැරැද්ද ඕකයි." ඒ උන්වහන්සේ ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

මෙතෙක් මැතිවරණ දේශපාලනයට සම්බන්ධ නොවූ උන්වහන්සේ පසුගිය මහමැතිවරණයේ දී එක්තරා දිස්ත්‍රික්කයකින් ඡන්දය ඉල්ලුවේ අපේ ජන බල පක්ෂය නියෝජනය කරමින්ය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයට රණ්ඩු කිරීම භික්ෂූන් වහන්සේ මේ තාක් ගෙනගිය ජාතික  සටනට විශාල තර්ජනයක් බව ද  උන්වහන්සේ පෙන්වා දුනි. උන්වහන්සේ සිය කතාව අවසන් කළේ  මෙවන්  වදනකින්ය.

"මේ වැඩේ පිටි පස්සේ  දැන් ඉන්නේ ....... (අකුරු තුනක) නමකින් යුත් පොහොට්ටුවේ මේ වැඩවලට, මැතිවරණ වැඩ වලට දක්ෂයාගේ නම කීවේය. එයා තමයි  දැන් මේ වැඩේ මෙහෙයවන්නෙ."

2020 අගෝස්තු 5 පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේ ජන බල පක්ෂය, භික්ෂූන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත්  වීම සඳහා කුලියට ගත් පක්ෂයකි.ඒ පක්ෂයට සමන් පෙරේරා නමින් වෙනම නායකයෙකු සිටියි.එහෙත් මැතිවරණය ආසන්නයේ එම නායකත්වය  පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට පිරිනැමුණේ පක්ෂයේ තාවකාලික නායක ලෙස නාම ධාතුවක් ද එක් කරමිනි. පක්ෂයට වෙනම ලේකම්වරයෙක්ද සිටියි. ගිහි ලේකම් අසනීප වීම මත වේදිනිගම විමලතිස්ස හිමියන් වැඩ බලන ලේකම් ධුරයට පත්කර තිබුණි.  කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලට දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය. ඉන් කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා දී තිබුණේ මතභේදාත්මක භික්ෂූන් වහන්සේ නමක් වන පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙනි.

මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය සෝදාපාළුවට ලක් විය. එකදු මන්ත්‍රී ආසනයක්වත් තරග කොට ජයග්‍රහණය කිරීමට නොහැකි විය. ‍ප්‍රතිඵල කියූ 6 වන දා සවස වන විට තරග කළ භික්ෂූන් වහන්සේලා සියල්ලන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වීමේ බලාපොරොත්තු සියල්ල අත්‍ හැර තිබුණි. ගම්පහින් තරග කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ 16 වසරක පාලිමේන්තු දේශපාලනය අවසන් වීමට නියමිතව තිබුණි. මුළු රටින්ම ලබාගෙන තිබුනේ ඡන්ද 67758 කි. එනම් සියයට 0.58කි.හිමිව තිබුණේ ජයග්‍රාහි ලයිස්තුවේ  හත්වන ස්ථානය.

එහෙත් අගෝස්තු 6 වැනි දින මධ්‍යම රාත්‍රිය වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අපේ ජන පල පක්ෂයට හිමිව තිබෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරන ලදී. බලාපොරොත්තු අත් හැර සිටි ගිහි පැවිදි සියල්ලන්ම ඉන් උද්දාමයට පත් වූයේ රටක් රාජ්‍යයක්  හිමි වූවා පරිද්දෙනි.  එදා සිට මේ මොහොත වන තෙක් ම මේ මන්ත්‍රීධුරය බෙදා ගන්න භික්ෂූන් මෙන්ම ගිහියන් ද සටන් වැදී සිටි.තත්වය කෙතරම් බරපතළ වී ද යත් ශතවර්ෂ ගණනාවක් පුරාවට ම භික්ෂුව ගොඩනගා ගත් සමාජ ගෞරවය හෑල්ලුවට ලක්වෙමින් තිබේ.

අපේ ජන බල පක්ෂය තාවකාලික ලේකම් හිමිව අගෝස්තු 7 වැනි දින එම ධුරයෙන් ඉවත් කළ බව එහි සභාපති කියයි. ඒ අතර තමන් වහන්සේම මන්ත්‍රී ධූරයේ සුරක්ෂිතතාව උදෙසා තමන් වහන්සේගේම නම පාර්ලිමේන්තුවට නම්  කර මැතිවරණ කොමිසමට යැවූ බව පක්ෂයේ ලේකම් වන විමලතිස්ස හිමියන් රටට දැනුම් දෙන ලදී. තමන් වහන්සේ ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට ගොස් වසරක කාලයකින් පසු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එය ඥාණසාර හිමියන්ට ලබාදීමට සූදානම් බව ඒ සමඟම විමලතිස්ස හිමියන් ප්‍රකාශ කරන ලදී. ඒ අතරතුර උන්වහන්සේ  ආගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. තමන් වහන්සේට තිබෙන මරණ තර්ජන හමුවේ ශාසනය වෙනුවෙන් මන්ත්‍රී ආසනය ආරක්ෂා කර ගැනීමට මෙසේ සැඟවී සිටින බව උන්වහන්සේ විටින් විට මාධ්‍ය හමුවට පැමිණ ප්‍රකාශ නිකුත් කරන ලදී. ඒ අතර විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියා ගන්නා හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් මාධ්‍ය හමුවට පැමිණ ප්‍රකාශ කළේ අතුරලියේ රතන හිමියන්, විමලතිස්ස හිමියන්ව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව ය. එහෙත් උන් වහන්සේගේ  ගුරු හිමියන් සඳහන් කරන්නේ  විමලතිස්ස හිමියන්ව කිසිවකුත් බලහත්කාරයෙන් රඳවා ගෙන නොමැති බවය. ඒ අතරතුර පක්ෂයේ සභාපති වරයා කියා සිටින්නේ තමන් ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තු ගොස් ඉන් ඉල්ලා අස්වී එම ධූරය ඥානසාර හිමියන්ට පූජා කරන බවය. දැන් මේ මන්ත්‍රී අවුල තියෙන්නෙ ලියන්නට බැරි තැනය. සෑම දෙයකින්ම ගැලවීමට දක්ෂයා වන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බෝලය දැන් නීතිපති දෙපාර්තමේන්තුවට දමා තිබේ.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ මෙම මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසය. ඉන්පසු රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන හිමි මැතිවරණ කොමිසමට ලිපියක් ලියමින් ඉල්ලා සිටියේද මෙම මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ය. ඒ අපේ ජන බල පක්ෂය ට ඡන්දය දුන් 67000 පමණක් නොව සමස්ථ බෞද්ධයාට ම මෙම සිද්ධියෙන් අපකීර්තියක් අත් වන බව පෙන්වා දෙමිනි. මැතිවරණයට නාම යෝජනා ලබා දීමට පෙර අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ භික්ෂූන්ට නාම යෝජනා නොදෙන ලෙස ය. ඒ ඉල්ලීම සුනේත්‍රා දේවි පිරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද ප්‍රසිද්ධියේම කරන ලදී. ඒ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණි විට සිදුවන දේ උන්වහන්සේලා ඉවෙන් මෙන් දැන සිටි නිසාය.

කතෝලික, හින්දු හා මුස්ලිම් පූජකවරුන් මැතිවරණ දේශපාලනයේ නැත. සිටින්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පමණි. ඊට   අත්පොත තැබුවේ  2001 මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පොදු පෙරමුණෙන් තරඟ කොට ජයග්‍රහනය කළ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ය. 2004 මහ මැතිවරණයේදී  පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ ගොඩනැගූ සමාජ රැල්ල හරහා ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 9 ක් හිමිකර ගැනීමට සමත් විය.සියලු මන්ත්‍රීධූර නියෝජනය කළේ  භික්ෂූන් වහන්සේලා වීම විශේෂත්වයකි. උන්වහන්සේලා අතරෙන් අඛණ්ඩව වසර 16ක් පාර්ලිමේන්තු දේශපාලනයේ නිරතව සිටින්නේ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පමණි. අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දැන් සටන තිබෙන්නේ උන්වහන්සේ හා ඥානසාර හිමියන් අතර ය.

ඒෂියන් මිරර් භික්ෂු දේශපාලනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් විමසීමේ නියැලිනි. එහිදී දැක් වූ අදහස් කීපයකින් මෙම ලිපිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ. එක් මහත්මියක්  සඳහන් කළේ  හාමුදුරුවෝ හරියට පන්සලේ වැඩ ටික කරනවා නම් රටේ මිනිස්සු හැදෙන බවය.තමන් කතෝලිකයකු බව සඳහන් කළ ඒ මහත්මිය මේ රට සිංහල බෞද්ධ රටක් බව සඳහන් කිරීමට ද අමතක නොකළේය. තවත් අදහසක් දැක්වූ මහත්මයකු සඳහන් කළේ හාමුදුරුවරු කියන්නේ තණ්හාව තියෙන පුද්ගලයන් වෙන්න බැහැ. ඒ ඔක්කොම අතහැරලා මේ සිවුරු දාගන්නේ. සිවුරට ගරු කරන්ඩ ඕන. බුද්ධාගම කෙලෙසෙන්නේ මේ වැඩ වලින්.  ඒගොල්ලො ඒ විදියට වැඩ  වැඩ කරනවා දැක්කම දරුවෝ වුණත් හැදෙන්නේ කොහොමද? තවත් එක් මහතෙක් කියාසිටියේ හාමුදුරුවන්ට පාලිමේන්තුව අදාල නැති බවය. සමාජයේ නොමඟ යන කෙනෙක් වෙත් නම් ඔහුව හදා ගැනීමට බණක් දේශනා කිරීම  හාමුදුරුවන්ගේ වගකීම බව ය.

ගිහියන්ට තේරෙන දේ හාමුදුරුවන්ට නොතේරෙනවා නොවේ. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ තිබෙන රස වැඩිය. සැප වැඩිය. මුදල් ලැබීම වැඩිය.විදේශ ගමන් වැඩිය.වරප්‍රසාද වැඩිය.බුදුන් වහන්සේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකින් පුදන්නට මේ තරඟය ඒ නිසාය.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:16