May 27, 2020

පරාජය කරනු ලැබුවේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය මිස සාමාන්‍ය දෙමළ ජනයා නොවේ

ඉකුත් 18 වනදා කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කොට වසර 11 ක් සපිරිණි. 2009 මැයි 18 යුධ ජයග්‍රහණයේ දේශපාලන උරුමක්කාරයින් වන රාජපක්ෂවරුන් මේ අවස්ථාවේ රාජ්‍ය බලයේ සිටින නිසාත් ඡන්දයක් ළඟ තිබෙන නිසාත් මෙම සැමරුම ජනතාවට දැනෙන අයුරින් පැවැත්වීමට අවශ්‍යතාවය තිබුණද පවතින කොරෝනා වසංගත තත්වය ඊට බාධාවක් වී තිබේ.

2009 මැයි 18 දින ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් පරාජය කළේ භූමියේ කොටි ත්‍රස්තවාදයයි. එහෙත් තවමත් කොටි බෙදුම්වාදී මතවාදය දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද පවතී. කොටින්ගේ දේශීය මතවාදය නියෝජනය කරන ප්‍රධානතම ධාරාව වන දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සමස්ත රටේම අවාසනාවකි. දෙමළ සන්ධාන හැරුණුකොට ඇලර්ට්, බර්ග්හොෆ් වැනි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ද ඩොලර් කුට්ටි මත දේශීයව කොටින්ගේ බෙදුම්වාදී මතවාදය තවමත් පෝෂණය කරමින් සිටී. ජාත්‍යන්තරව එය සුපුරුදු පරිදි දෙමළ ඩයස්පෝරාව මගින් කරගෙන යති.

දශක තුනක් පුරාවට පැවති බෙදුම්වාදී යුද්ධයේදී සිංහලයින් මෙන්ම දමිළයින් ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවිතයෙන්, එක්තැන් වීමෙන් මෙන්ම රෝගී වීමෙන් වන්දි ගෙවීය. ඊට අමතරව ආරක්ෂක හමුදාවන්හි විසිදහසකට අධික පිරිසක් මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි දුන්නේ ය. තවත් දාහතර දහසකට අධික පිරිසක් සිටින්නේ සදාකල් ආබාධිතව ය. එක්තැන්ව ය. ඒ හැරුණු කොට පනස් හතර දාහකට අධික රණවිරුවන් පිරිසක් භූමියේ විවිධ අනතුරුවලට මුහුණ දුනි. කොටි ත්‍රස්තවාදී ක්‍රියාකාරම් මත විනාශ වූ ව්‍යාපාරවල, ගොවිතැන් බත් වල මෙන්ම රැකියා සේවා අහිමි වීමේ වටිනාකම තක්සේරුවක් කිරීමට නොහැකි තරමටම විශාලය.

මේ සා පරිත්‍යාගයක් කොට රණවිරුවන් පරාජය කළේ කොටි ත්‍රස්තවාදය මිස සාමාන්‍ය දෙමළ ජනයා නොවන බව 11 වැනි සංවත්සරයේ දී කවුරු කවුරුත් විශේෂයෙන්ම පටු ජාතිවාදය මත දේශපාලනය කරන අය සිහිකල්පනාවට ගැනීම වටී.

1971 හා 88 - 89 වකවානුවල බහුතර සිංහල නියෝජනයකින් යුත් ජනතා විමුක්ති පෙරමුණ ආයුධ සන්නද්ධ කැරැලි දෙකක් ගැසීය. ඒ සඳහා සමාජ අසාධාරණය පදනම විය. දෙවන කැරැල්ල අවසන් වූයේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ප්‍රධාන පෙළේ නායකයින් සියල්ලන්ම කොටි ත්‍රස්තවාදී නායකයාට හා ඔහුගේ සහචර රැළට අත්වූ ඉරණමට ම මුහුණ දෙමිණි. 71 හා 88 - 89 ජවිපෙ කළ ආයුධ සන්නද්ධ අරගල කළ යුතු ද නැද්ද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවකි. 1971 දී තරුණ තරුණියන් විසිපන් දහසක්ද,   88 - 89 කාලසීමාවේදී තරුණ තරුණියන් 60000ක් ද  මේ මහ පොළොවෙන් අතුරුදහන් විය. එහෙත් එදා සිදුවූයේ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලය මර්ධනය කිරීම මිස සිංහල ජනයා මර්දනය කිරීම නොවන්නා සේම කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම සාමාන්‍ය දෙමළ ජනයා මර්දනය කිරීමක් නොවන්නේය.

සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට ජනගහණය ලක්ෂ 220කි. එනම් මිලියන 22කි.ඉන් දාහතර මිලියන හත් ලක්ෂ දහතුන් දහස් දෙසිය විස්සක් එනම් ජනගහනයෙන් 69.3%ක් සිංහල බෞද්ධයින් ය. කතෝලිකයින්ගේ ප්‍රමාණය පහලොස් ලක්ෂ හතළිස් නවදහස් අටසිය හැත්තෑ හතකි. එනම් සියයට 7.3% කි. කතෝලිකයින්ගෙන් බහුතරය සිංහලයන් වුවද ඒ අතර දමිළ සුලුතරයක් ද සිටී. දමිළයන්ගේ සංඛ්‍යාව විසි අට ලක්ෂ අසූ හත්දහස් හාරසිය හතළිස් තුනකි. එනම් ජනගහනයෙන් 13.6% කි. දමිළයන්ගේ ප්‍රධානතම ආගම හින්දු ය. මේ ගණන් හිලව් එකට එකතු කළ විට ජනගහනයෙන් සියයට අනූවකට වැඩි ප්‍රමාණය සිංහල හා දමිලයන් ගෙන් සමන්විතය.

සිංහලයන්ට මෙන්ම දමිළයන්ට ද පොදු වූ උරුමයන් රැසක් තිබේ. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මීට සියවස් ගණනාවකට පෙර මේ දෙපාර්ශවයෙන්ම ආරම්භය සිදුව තිබෙන්නේ ඉන්දියාවෙනි. ඒ මතවාදයට විරුද්ධ මතයන් දරන අතලොස්සක් ද සිටින බව කිව යුතුය. පාර්ශ්වයන් දෙකේම ප්‍රධාන ආගම් දෙක එනම් සිංහලයන්ගේ බුදුදහමත්, දමිළයන්ගේ හින්දු ආගමත් උපත ලබා තිබෙන්නේ ඉන්දියාවේ ය. සිංහල හා දමිළ යන ජාතීන් දෙක තුළම කතෝලිකයන් ද සිටී. සිංහල හා දමිළ ජනයාගේ ඇඳුම එක සමානය. සිංහල ජනයාගේ සරමත් දමිළ ජනයාගේ වේට්ටටියත් අතර ඇත්තේ මැස්මක් නොගැසීමේ වෙනස පමණි. දෙපාර්ශවයේම කාන්තාවන්ට සාරිය පොදුය. බැණ බැණ වුවත් කරදරයකදී ඇතැම් සිංහල බෞද්ධයින් හින්දු කෝවිල් වල ආශීර්වාදය බලාපොරොත්තුවෙන් ඊට යන එන බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අතරම දමිළ බෞද්ධයන්ද සිටි. මේ සියල්ලටම වඩා වැදගත් කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ සිංහල දමිල අලුත් අවුරුද්ද දෙපාර්ශවයේම ජාතික මංගල්‍යය වීමය.

මේසා පොදු උරුමයන් තිබෙන සිංහලයන් සහ දමිළයන්ට එකට ජීවත් වීමට බැරිකමක් නැත. එහෙත් ඊට වල කපන්නන් පිරිසක්ද සිටී .ඒ මෙරට දේශපාලන පැලැන්තියයි. අද ඊයේ සිට නොව 1948 නිදහසට පෙර සිටම චෙල්වනායගම් ඇතුළු නඩේ උතුරේ දමිලයාගේ මනස දකුණේ සිංහලයන්ට එරෙහිව සෑදීමේ නැතිනම් දමිළයන්ගේ මොළ සේදීමේ වැඩපිළිවෙළේ නිරතව සිටී. මේ නිසා දෙපාර්ශවයේ බහුතරය ස්වභාවයෙන්ම යම් ජාතිවාදී මානසිකත්වයකින් පෙලේ. ඊට ලගම නිදසුන 2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී සමස්ත දමිළ ජනයා එක කඳවුරකටත්, දකුණේ සිංහලයන්ගෙන් අති බහුතරය තව කඳවුරකටත් ගොනු වීම ය.

ඕනෑම පුද්ගලයෙකුට උත්පත්තියේදීම නොමිලේ ලැබෙන තුනක් තිබේ. ඒ රට, ජාතිය, ආගමයි. ජාතිය හා ආගම පුරවැසියන්ගේ උප්පත්තියේ සිට මරණය දක්වාම සිය පටු දේශපාලන වාසි සඳහා දේශපාලනඥයින් යොදා ගන්නේ පුරවැසියා වහලෙකු ලෙස සලකමිනි. පුරවැසියන් මේ වහල් මානසිකත්වයෙන් මිදුණු දාට සිංහල, දමිළ බැඳීම ශක්තිමත් වනවා පමණක් නොව ජාතිවාදී හා අන්තවාදී දේශපාලනය ද හාන්සි වනු ඇත.

අද දවස මෙරට පුරවැසියා කොරෝනා සමඟ ජීවත් වීමට හුරු පුරුදු වෙමින් සිටී. මේ ඊයේ පෙරේදා ආ කොරෝනා සමග ජීවත් වීමට හැකි නම් සියවස් ගණනාවක් එකට සිටි සිංහල හා දමිළ ජනයාට එකට ජීවත් වීමට බැරි නැත.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 May 2020 12:46