March 28, 2024

පාස්කු ප්‍රහාරයත් කොරෝනාවට යට වෙයිද?

ඉකුත් අගහරුවාදා එනම් අප්‍රේල් 21 වනදාට 2019 අප්‍රේල් 21 එල්ල වු පාස්කු ප්‍රහාරයේ පලමු අනුස්මරණය යෙදි තිබුණද පවතින කොරෝනා වසංගතය හමුවේ එය නිවෙස්වලට‍ වී සැමරීමට විශේෂයෙන්ම ඊට මුහුණ දුන් කතෝලික ජනයාට සිදුවිය.

කොරෝනාවෙන් පාස්කු ප්‍රහාරයේ පළමු සැමරීම  මැකි ගියා සේම ප්‍රහාරයට මෙන්ම ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් වු නීතිමය කටයුතු වැසී යයිද?

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ පැතිකඩ 2ක් තිබේ. එකක් එම ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදි මෙන්ම ඊට අනුබල දුන් පිරිසය. ප්‍රහාරය එල්ල කල පිරිස දැන් සිටින්නේ පර ලොවය. ප්‍රහාරයට අනුබල දුන් කිහිපදෙනෙකු මේ වන විට පසුවන්නේ අත්අඩංගුවේය. ඊට අලුතින් එක් වූයේ එවකට සිටි ඇමැතිවරයෙකු වු රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාය. රිෂාඩ් කියන්නේ එය දේශපාලන පළිගැනීමක් බවය. එහෙත් මෙරට පුරවැසියා කිව්වේ මේ වැඩේ පිටුපස රිෂාඩ්ලා සිටින බවය. ජනමතය සියලු මතයන්ට වඩා ප්‍රබලය. එය කොයි මොහොතේදී හෝ ඉස්මතු වනු ඇත.

මෙම ප්‍රහාරයේ අනිත් පැතිකඩය වන්නේ ප්‍රහාරයක් එල්ල වන බව දැන දැනත් එය වැලැක්වීමට කටයුතු නොකොට මඟ හැරි පිරිසයි. ඒ පිරිස එසේ මෙසේ පිරිසක් නොවේ. එවකට රටේ සිටි සේනාධිනායකයා සහ ආරක්ෂක ලේකම් හා පොලිස්පති අතුළු රටේ ජාතික හා මහජන ආරක්ෂාවේ පුර්ණ වගකීම දැරූ පිරිසය.

එවකට සේනාධිනායකයා මෙන්ම නීතිය හා සාමය ඇමතිධූරය දැරූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පතිව සිටි පුජිත ජයසුන්දරය. මින් හේමසිරි ප්‍රනාන්දු හා පුජිත ජයසුන්දර සිද්ධියට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරැනද සියල්ලේම වගකිව යුත්තා වන හිටපු ජනාධිපතිවරයා තවමත් සිටින්නේ නිදැල්ලේ ය.

හිටපු ජනාධිපතිවරයා ගැන මතක් කළේ හේතුවක් ඇතිවය. පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙන දින අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් මාධ්‍ය ඔස්සේ රටේ පුරවැසියන් අමතා කළ කතාවේදී හිටපු සේනාධිනායකයා සහ හිටපු ජනාධිපතිවරයා සිය වගකිම පැහැර හැරි බවත් එ් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කළ ප්‍රකාශය නිසාය.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ගැන විශේෂයෙන්ම කොච්චිකඩේ පල්ලියට ස්ථිරවම ප්‍රහාරයක් එල්ල වන බව ඔත්තු සේවා මගින් එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාව හා පොලිස්පතිවරයාව දැනුවත් කර තිබියදි එය වලක්වා ගැනීමට කටයුතු නොකිරිම පැවති රජයට එල්ල වන බරපතලම චෝදනාව වෙයි.

හිටපු ජනපති කියන්නෙ කිසිවෙකුත් තමාව ඒ ගැන දැනුවත් නොකල බවය. එහෙත් එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයා කියන්නේ තමන් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කල බවය. දැනගන්න තිබෙන ආකාරයට ඒ සම්බන්ධයෙන් වාර්තාව හිටපු ජනාධිපතිවරයා තමන්ගේ රාජකාරි කාමරයේ රාක්කයක නොබලාම තැම්පත් කර තිබේ.

කාදිනල්තුමා පමනක් නොව සිරිසේන රජයේ ඇමති ධුර දැරූ පාඨලී චම්පක රණවකද පසුගිය අප්‍රේල් 21 මාධ්‍ය හමුවක් තබමින් අදහස් කළේ මෙම ප්‍රහරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෙන්ම හිටපු අගමැතිද වගකිව යුතු බවයි. සමහර විට ඔහු තිබෙන තරහට කිව්වා විය හැකිය. එහෙත් ඇත්තද එයයි.

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න හිටපු ජනපති එ් අවදියේම ජනාධිපති කොමිසමක් දමා බෝලය ඒ මේ අත යැවීමට උත්සහ කළේය. එම කොමිසමේ වැඩ කටයුතු ගැන සෑහිමකට පත්විය නොහැකි බව මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ප්‍රකාශ කිරිමත් සමග බෝල පාස් කරන වැඩේද ඇණ හිටියේය. නව ජනාධිපතිවරයා දැන් මේ ගැන සෙවීමට කොමිසමක් දමා තිබේ. එහි කටයුතු ගැන සෑහිමකට පත් විය හැකි බව කාදිනල් තුමා සදහන් කලද හිටපු ජනධිපතිවරයා තවමත් එහි වගකිමෙන් මුදා හැර ඇති බව පෙනේ.

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වෙයි. ඔහු මෑතකදි මාධ්‍ය හමුවක් තැබුවේ පාස්කු ප්‍රහාරයේ අලුත්ම තත්වය ගැන මෙන්ම රිෂාඩ්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම ගැන කියන්නටය. එහිදි මාධ්‍යවේදියෙකු ඔහුගෙන් ඇසුවේ මෙම ප්‍රහාරය වැලැක්විම කටයුතු නොකිරිම ගැන හිටපු ජනපතිට එරෙහිව නිතිමය පියවර ගන්නවාද කියාය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පිලිතුර වුයේ නැත යන්නය.

ආදර්ශය පැමිණිය යුත්තේ ඉහලින්ය. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ඉහල සිට පහලටය. පාස්කු ප්‍රහාරය ගත්තොත් හිටපු ජනපතිගේ සිටය. එහෙත් තවමත් සිදුනොවන්නේ එයමය. මෛත්‍රීපාල සිරිසේන උපන්ගෙයි කපටියෙකි. දැන් ඔහු ඔහුගේ පැත්තෙන් මේ සිද්ධියෙන් මිදිමට අවශ්‍ය ආවරණය සාදාගෙන හාමාරය. එ් පොහොට්ටු සන්ධානයේ මැතිවරණ අපේක්ෂකත්වය හරහාය. ඒ ඡන්දයෙන් සිරිසේන දින්නොත් ඔහු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිය. ඉන් එහාට කුමක් සිදු වේවිද? අපි බලා සිටිමු.

-මංජුල බටුගෙදර -

Rate this item
(1 Vote)