April 20, 2024

සිරිසේන උකුස්සා නම් දියකාවා මහින්ද ද?

"පසුගිය දවසක ඇවිදින කොට මම හොඳ දර්ශනයක් දැක්කා. දිය කාවෙක් මාලුවෙක් ඉන්න තැනට ඇවිල්ලා ඔහොම ගහල මාළුවත් අරගෙන ගලක් උඩට ගියා. එතකොට දියකාවා දන්නේ නෑ උඩ ඉඳලා උකුස්සෙක් ඇවිල්ලා මෙහෙම කරලා දියකාවගෙ කටේ හිටපු මාළුවත් මෙහෙම කරන කොට අරගෙන යන්න ගියා. අපිත් ගහන ගැහිල්ල උකුස්සෝ ගහනවා වගේ තමයි ගහන්නෙ."

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන එහෙම කිව්වෙ සිය ගම් පළාතේ පැවති රැස්වීමකදී සිය කතාවට අභිරූපනයක්‌ද එක්කරමිනි. මේ උකුසු කතාව දැන් දෙබරෙට ගල් ගැසූ තත්ත්වයකට පත්ව තිබේ.

සිරිසේනගේ මේ කතාවට අනුව මාළුවා බලයයි. දියකාවා බලය ලබා ගැනීමට වෙහෙස මහන්සි වන තැනැත්තාය. සිරිසේන කියන්නේ බලය ලබාගන්නා තැනැත්තාගෙන් තමන් බලය උදුරා ගන්නා බවයි. 

උකුසු කතාවෙන් සිරිසේන ඉලක්ක කරන්නේ කවුරුන්ද? එක්සත් ජාතික පක්ෂය ද? නැත. මේ වන විට වැලේ වැල් නැතිව දෙකඩ වී සිටින එක්සත් ජාතික පක්ෂය එකට හෝ දෙකඩ වී දෙපැත්තට ලබාගත හැක්කේ මන්ත්‍රීධූර හැටක් හැත්තෑවක් අතර ප්‍රමාණයකි. අනික සිරිසේනගේ කතාවට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රතිචාර දක්වා නොමැත. ඒ එම කතාව තමන්ට අදාල නොවන බව දන්නා නිසාය.

සිරිසේන මේ කතාව සෘජුවම කිව්වේ තමන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ උරුමකරුවන් වන රාජපක්ෂලාටය. ඒ බැව් සනාථ කිරීමට අවශ්‍ය තරම් කරුණු තිබේ.

දැනගන්නට තිබෙන ආකාරයට සිරිසේනගේ කතාව ගැන සිය ප්‍රතිචාරය ඇතුළත් පණිවිඩයක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අත සිරිසේනට යවා ඇත. සිරිසේන නව සන්ධානයට සම්බන්ධ කර ගත්තේ, එහි සභාපති ධූරය  දුන්නේ පොදුජන පෙරමුණේ අති බහුතරයකගේ විවේචන හා විරෝධතා මැද බවත් 2014 නොවැම්බර් මස ආප්ප කා තමන්ට කල දේ ඔවුන් නිතරම මතක් කරන බවත් ඒ නිසා කට වරද්දා ගන්නේ නැතිව මැතිවරණය වැඩ කටයුතු පමණක් කරන ලෙසට දැනුවත් කිරීමක් එම පණිවිඩයට ඇතුළත්ය. දැනගන්නට තිබෙන ආකාරයට දයාසිරි ජයසේකර එම පණිවිඩය සිරිසේනටද දන්වා තිබේ.

ඊළඟට සිරිසේනගේ උකුසු කතාවට ඔහුගේම ගම් පළාතේම කලක් සිය ගෝලයකුද වූ අද ප්‍රධාන එදිරිවාදියාද වන රොෂාන් රණසිංහ, ගම්පහ ප්‍රසන්න රණතුංග හා කොළඹ විමල් වීරවංශ මෙන්ම උදය ගම්මන්පිල ද ප්‍රතිචාර දක්වා තිබේ.

පොලොන්නරුවේ රණසිංහ කියන්නේ තමන්ට සිරිසේන එක්ක එකම වේදිකාවේ සිටීම පවා හිරිකිත බවය. ගම්පහ රණතුංග කියන්නේ සිරිසේනට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියාය. කොළඹ වීරවංශ කියන්නේ සිරිසේනට උකුසා වීම කෙසේ වෙතත් කෙළින් ඉන්නවත් පණ නැති බවය. කොළඹ අනෙක් හාදයා වන ගම්මන්පිල කියන්නේ පහුගිය අවුරුදු පහ තුළ දියකාවා උකුස්සාට වඩා ශක්තිමත් වී ඇති බව ය. කෙසේ වෙතත් සිරිසේන පොහොට්ටු සන්ධානයට එකතුකර ගැනීමට වීරවංස මෙන්ම ගම්මන්පිල ද විශාල කාර්යභාරයක් කළ බව ප්‍රකට කරුණකි.

මේ කතා සියල්ලම දුකට කියන කතාය. රාජපක්ෂලාගේ පණිවුඩය ලැබී උණුසුම යාමටත් මත්තෙන් සිරිසේන යලිත් කට ඇරියේය. ඒ ගමන කිව්වේ පොලොන්නරුවෙි වකුගඩු රෝහල තමන්ට චීන රජයෙන් ලැබුණු තෑග්ගක් බැවින් එහි බිත්තර දැමීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවය. ඒ කිව්වේ රොෂාන් රණසිංහටය. සිරිසේනගේ මේ කතාව ඇසූ පුරවැසියා පුදුමයට පත් වුණේ පොලොන්නරුව ශ්‍රී ලංකාවේ කොටසක්ද එසේත් නැත්නම් එය සිරිසේනට ඔප්පුවකින් ලියා දුන් ප්‍රදේශයක්ද කියාය. 

තෑග්ග ලබාදී තිබෙන්නේ ශ්‍රී ලංකාවට මිස සිරිසේනට නොවන බව පුරවැසියාගේ මතයයි. සිරිසේනගේ පැත්තෙන් බලද්දී මේ කතාව හරිය. විශ්‍රාම යෑමට පෙර පොලොන්නරුවේ සරල සිරිසේන කොළඹ හතෙන් රුපියල් ලක්ෂ අසූ දාහක් පමණ වටිනා රජයේ නිවාස තුනක් එකට එක්කොට සිය විශ්‍රාමික මන්දිරය තනා ගත්තේ ජනතාව සතු සම්පත් තමන්ගෙ යන සිතිවිල්ල තුළය. ඒ අතින් බලද්දී පොළොන්නරුවේ වකුගඩු රෝහල තමන්ගේ යැයි සිරිසේනට සිතීමේ වැරැද්දක් ද නැත.

සිරිසේන ඊයේ පෙරේදා තවත් කතාවක් කීවේය. ජනාධිපති වූ තමාට තවත් ලබා ගැනීම කිසිවක් නැති මුත් මේ රටේ සියලු ජනතාවගේ ඉල්ලීම මත තමන් යළිත් දේශපාලනයට පැමිණි බවය. ඒ අතින් සිරිසේන මහින්ද රාජපක්ෂටත් වඩා ඉස්සරහින්ය. 2015 ජනවාරි 8 පරාජයෙන් පසු මහින්ද යළි ඕන බව කිව්වේ ඔහුට ආදරය කළ මේ රටේ ‍ප්‍රගතිශීලී කඳවුර මිස ප්‍රතිගාමී කඳවුර නොවේ. එහෙත් සිරිසේන කියන්නේ සමස්ත පුරවැසි යාම එනම් ප්‍රගතිශීලී කඳවුර මෙන්ම ප්‍රතිගාමී කඳවුරු ද තමන්ව ඉල්ලන බවය. එහි ඇත්ත නැත්ත තව සති කිහිපයකින් එනම් අප්‍රේල් විසි පස්වෙනිදා ආපහු වන විට දැක බලා ගැනීමට පිළිවන. සිරිසේන කියන විදිහට පොළොන්නරුවේ පොහොට්ටු සන්ධානයට ලැබෙන ඡන්දවලින් එක් මනාපයක් ඔහුට ලැබිය යුතුය.

සිරිසේන මේ රටේ පුරවැසියන් ඉල්ලන කතාවෙ ඇත්තකුත් තිබේ. ඒ දේශපාලනයට නම් නොවේ. ලේ පිරිසුදු කරගැනීමට විහිලු කතාවක් ඇසීමට, වහලය උඩ දුවන විට එන සද්දේ හඬකින් ගීතයක් ඇසීමට, මෙලෝ තාලයක් නැති කවියක් ඇසීමට මෙන්ම සිංහල අවුරුද්දත් ළඟ නිසා හොඳ බොරු ටිකක් ඇසීමට පුරවැසියන් සිරිසේන ඉල්ලන බව නම් සැබෑවකි.

සිරිසේන තමන්ගේ උකුසු කතාවෙන් කියන්නේ එළඹෙන මහ මැතිවරණයේදී රාජපක්ෂලා මුල්වී ලබා ගන්නා බලය කොයි මොහොතේ හෝ තමන් ලබා ගන්නා බවය. ඒ කියන්නේ 2015 ජනවාරි 08 කළ වැඩේ දෙවැනි කොටස පෙන්වන බවය.

පුරවැසියා කියන්නේ රාජපක්ෂලාට ඔය උනා මදි කියාය. කතාව තියෙන්නේ රෑ වැටුණු වළේ දවල් නොවැටෙන ලෙසය. අප දන්නා විදීයට 2014 නොවැම්බර් මස සිරිසේන අරලියගහ මන්දිරයේ දී ආප්ප කෑවේ රෑ ජාමේය. එසේ ආප්ප කෑ සිරිසේන එලිවෙන ජාමේ දී මහින්ද රාජපක්ෂට වැටෙන්න ගසන්නට අඩිතාලම දැම්මේය. එදා ඒ ගහපු ගැහිල්ලට වෙන කෙනෙක්නං තවමත් සොයා ගැනීමට නොහැකිය. මැදමූලන මහින්ද රාජපක්ෂ නිසාම ගොඩ ආවේය. එහෙම ගොඩ ආපු මහින්ද රාජපක්ෂ දැන් ඒ වලේම දවල් වැටීමට සූදානම්ය. ඔය පොහොට්ටු සංධානය හැදුවොත් එය හදන අයව පාරක් පාරක් ගානේ ඇවිද්දවන බව කියපු සිරිසේනව එහි සභාපතිද කොට රාජපක්ෂලා රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියනවාය. මේ කෑම අප්‍රේල් විසිපස් වෙනිදාට නතර වෙනවා ඇතැයි රාජපක්ෂලා සිතනු ඇත. එහෙත් එය එසේ වන්නේ නැත. ඒ නිසා රෙද්ද අස්සේ දාගෙන ඉන්න සිරිසේනගේ කෑම දිගටම දිරවා ගැනීමට දැන් සිටම රාජපක්ෂලා හුරු පුරුදු වන එක ඇඟට ගුණය.

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Saturday, 07 March 2020 08:52