April 25, 2024

විප්ලවවාදය වලපල්ලට - පිංගුත්තරවාදය හිස මුදුනට

February 28, 2020

1965 මැයි 14 වැනිදා රෝහණ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරනු ලබන්නේ සමාජවාදී විප්ලවයක් උදෙසාය. ඒ හරහා ධනපතීන්ට පෑගී සිටි පීඩිතයින්ගේ විමුක්තිය, අයිතිය හා උරුමය යථාර්ථයක් කිරීම විජේවීර සහෝදරයාගේ අරමුණ විය. ජවිපෙ බිහි කිරීමට විජේවීර සහෝදරයාට පෞද්ගලිකව බලපෑ හේතුවක් ද තිබු බව ඉතිහාසයේ සඳහන්ය. වීජේවීර සහෝදරයාගේ පියා ක්‍රියාකාරී කොමියුනිස්ට්වාදියකු වූ අතර ඔහුට 1960 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ මැරයන් විසින් පහර දී එක්තැන් කිරීම එම කරුණය.

ආයුධ සන්නද්ධ අරගලය විප්ලවයේ කොටසකි. අපේ කාලයේ ලොව බිහිවූ විශිෂ්ටතම විප්ලවවාදීයා ලෙස සැලකෙන අර්නස්ටෝ චේ ගුවේරා විප්ලවය සන්නද්ධව කළ යුතු බව තරයේම විශ්වාස කළ අයෙකි. චේ සහෝදරයා කැස්ත්‍රෝ සහෝදරයා සමඟ එක්ව කියුබාවේ ඒකාධිපති බැටිස්ටා පරදවන්නේ ආයුධ සන්නද්ධ අරගලයක් හා බැඳුණු විප්ලවයක් තුළිනි. ඒ පාලකයින් පීඩිතයින්ගේ අයිතිය බන්දේසියක තබා ලබා නොදන්නා සේම අරගලයකින් තොරව ලබා ගන්නා ජයග්‍රහණයක හරයක් නැති නිසාය. විජේවීර සහෝදරයා 71 හා 87 - 89 කාලවලදී සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දෙන්නේ ඒ නිසාය. එහි හරි වැරැද්ද පිළිබඳව එකඟතා මෙන්ම විවේචන ද තිබේ.

1989 නොවැම්බර් 13 වනදා එවකට තිබූ රණසිංහ ප්‍රේමදාස රජයේ කුලී හමුදාව විසින් ඝාතනය කළ විජේවීර සහෝදරයාගේ සුවඳ සමාජය තුළ අද දවසේත් මතු දවසේත් විහිදෙන්නේ වසර 24ක් පුරාවට ජවිපෙ වෙනුවෙන් කළ පරිත්‍යාගය නිසාමය. ඒ පරිත්‍යාග තුළ සම්පූර්ණයෙන්ම ගැබ්ව තිබුණේ දුක හා වේදනාවය.

විජේවීර සහෝදරයා පීඩිත පන්තියේ විමුක්තිය උදෙසා විප්ලවයක් කිරීමට බිහි කළ ජවිපෙ නියෝජනය කරන වත්මන් නායකත්වය අද සිටින්නේ කොතැනද?

ජවිපෙ හොරු අල්ලන්න දක්ෂයා සුනිල් හඳුන්නෙත්ති ය. ඔහු පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ එනම් අප කවුරුත් දන්නා කෝප් සභාවේ සභාපතිය. වසර හතරකට පමණ ස්වාධීන රූපවාහිනියේ සහභාගි වූ වැඩසටහනකදී හදුන්නෙත්ති රැකියාවක්, ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් නොකර එනම් මුදල් උපයන්නේ නැතිව ජීවත් විය හැකි අලුත් ක්‍රමයක් රටට හඳුන්වා දුන්නේය. එහෙත් ඒ අවස්ථාවේදී එම වැඩසටහන එතරම් ප්‍රසිද්ධියක් නොලැබුවද මේ වන විට එය සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධාන කතිකාවක් බවට පත්ව තිබේ.

හදුන්නෙත්තිගේ අර්ථ නිරූපණයට අනුව ජවිපෙ නූතන නායකකාරකාදීන් ජීවත් වන්නේ මේ ආකාරයටය.

කොන්ඩෙ කැපීම - පිටකෝට්ටේ ඉන්න බාබර් නිකං කොන්ඩෙ කපනවා.

ඇඳුම් පැළදුම් - ගමේ ඉන්න දයාශාන්ත ෂර්ට් හතක් නිකන් අරන් දුන්නා.

බෙහෙත් ගැනීම - අපේ ඉන්න දොස්තර මහත්තයා නිකන් බෙහෙත් දෙනවා. ෆාමසියෙන් ගන්න ඕන එකටත් ඒ දොස්තර මහත්තයා අපට සල්ලි දෙනවා.

ආහාර පාන - කිරුළපන පොලේ යාලුවෙක් නිකං එළවළු දෙනවා.

දුරකථන බිල - කැම්පස් එකේ හිටපු යාළුවෝ ගෙවනවා, ගෙවලා ඉවර වෙනකන් අපි දන්නේ නෑ.

මඟුල් ගෙදරකට සහභාගී වීම - අනිත් අය වගේ අපි සල්ලි දෙන්නේ නෑ. ඒ අය අපට සල්ලි දෙනවා අපි ආපු වාහනේට තෙල් ගහගන්න.

මළ ගෙදරකට සහභාගි වීම - අපි මළගෙදර ආපු නිසා අපට සල්ලි දෙනවා, ආපු වාහනේට තෙල් ගහගන්න. 

ඕකට කියන්නේ පිංගුත්තර වාදය කියාය. ඒ කියන්නේ පිනට කෑමය. කෙනෙකු මගුලක් හෝ මරණයක් කරන්නේ ඉතා අමාරුවෙනි. එයිනුත් මුදල් ගැනීමට තරම් ජවිපෙ සහෝදරවරු අද මතවාදත්මකව බංකොලොත්ය. හදුන්නෙත්තිගේ මේ කතා අහද්දී හුදී ජනයා සිය සමාජජාලා පිටුවල තවත් අපූරු අදහස් කිහිපයක් ද එකතු කර තිබිණි. මීට කලකට පෙර විජිත හේරත් හා ලාල්කාන්ත බීමතින් රිය පදවා අනතුරු සිදු කර තිබෙන්නේ නිකන් දීපු අරක්කු බීමෙන් මෙන්ම ජවිපෙ නායකකාරකාදීන්ගේ බිරින්දෑවරුන්ගේ කටයුතුද යාළුවන් විසින් ඉටුකර දෙන බව එම අදහස් අතර විය.

ජවිපෙ මේ ආකාරයට රටට, ජනතාවට විහිළු සැපයිය යුතු පක්ෂයක් නොවේ. ජවිපෙට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් වීම නිසා දෝ පක්ෂයේ නිර්මාතෘ විජේවීර සහෝදරයා ඝාතනය කළ, ඔහුගේ පියාව පහරදී එක්තැන් කළ එක්සත් ජාතික පක්ෂය හා එහි නායක රනිල් වික්‍රමසිංහගේ හුරතලුන් වීම මත තනිකරම කරන්නේ කොමිටල් වැඩය. කෙලින්නේ පිස්සුය. දෙන්නේ ආතල්ය. හඳුනෙත්ති කියන ආකාරයට පිනට කෑම කෙසේ වෙතත් ජවිපෙ නායක කාරකාදීන් මුදල් ඉපයීමේ රුසියන්ය. ව්‍යාපාර ආයතන වල හිමිකරුවන් බියවද්දා කප්පම් ගැනීමේ ශූරයන්ය. ඒ හරහාම ඉතා සුඛෝපභෝගී ජීවන රටාවකට උරුමකම් කියන්නන්ය.


එහෙත් අවාසනාව බිම් මට්ටමේ පාක්ෂිකයා මේ කිසිවක් කිසිවක් විශ්වාස නොකිරීමය. බිම් මට්ටමේ පාක්ෂිකයාට කොන්ඩෙ නිකන් කපන්න බාබර් කෙනෙක් ද නැත. ඇඳුම් නිකන් දීමට යාළුවන් ද නැත . පිනට එළවලු දීමට පොළවල් වල යාලුවෝ ද නැත. නිකන් බෙහෙත් දෙන දොස්තරලාද නැත. මඟුලකට, මරණයකට ගියාම තමන්ට අතින් වියදම් වනවා හැර නිකන් මුදල් දෙන කෙනෙක්ද නැත. බිම් මට්ටමේ සාමාජිකයා එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට දෙන සටන ප්‍රබලය. එහෙත් නායකයින් හඳුන්නෙත්ති කියන ආකාරයට පිනට කති. ජවිපෙ නායකකාරකාදීන් හා බිම් මට්ටමේ පාක්ෂිකයා අතර ඇති වෙනස එයය.

එදා විජේවීර සහෝදරයා විශ්වාස කළ සමාජවාදී විප්ලවය ජවිපෙ වර්තමාන නායකයින් විසින් කාලෙට ගැලපෙන අයුරින් ධනේශ්වර පිංගුත්තර වාදයට ගෙන ගොස් හමාරය. ඒ සැපට හුරු පුරුදු වූ අනුර කුමාර දිසානායක ඇතුළු නඩේට දැන් දුකට හැරෙන්නට බැරිය.

විජේවීර සහෝදරයා උපන්නේ 1943 ජූලි 14 වැනිදාය. අද සිටියා නම් වයස අවුරුදු 76 කි. එහෙම හිටිය නං වීජේවීර සහෝදරයාට අද ජවිපෙ තුළ වෙන දේවල් දැකීමෙන් සියදිවි හානි කර ගැනීමට සිතෙනු ඇත. ඒ අතින් බලද්දී එදා එජාපය අතින් විජේවීර සහෝදරයා අර විදියට මිය යෑම එක්තරා ආකාරයකින් ගෞරවයකි. අද ජවිපෙ කරන්නේ මියගිය විජේවීර සහෝදරයා හා ඔහුගේ දර්ශනය දෛනිකව සිය සුඛ විහරණය උදෙසා මරා දැමීමය.

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 February 2020 15:06