April 24, 2024

මහින්ද සුළඟ වියළෙයි - සිරිසේන ගිනිකන්ද සක්‍රිය වෙයි

February 19, 2020

මම හිටපු නායකයොත් එක්ක ආණ්ඩු පිහිටුවන්න ඡන්ද කරන්නේ නැහැ කියලා තීරණය කළේ 2011 අගෝස්තු මාසයේදී. එහෙම කිව්වේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනය. ඔහු එහෙම කිව්වේ 2015-01-08 ජනපති වීමෙන් පසු පැවති උත්සවයක් අමතමිනි. ඔහු එසේ කළ ප්‍රකාශය ඒෂියන් මිරර් ඔස්සේ ඔබට දැක බලා ගැනීමට පිළිවන. "මම රාජපක්ෂලා සමඟ යලිත් මැතිවරණ නොකරන්න තීන්දු කලේ 2011" - මෛත්‍රී (VIDEO)  සිරිසේන හිටපු පාලකයින් කිව්වේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පරපුරටය.

එහෙම කියපු සිරිසේන දැන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිරීම සඳහා එළඹෙන මැතිවරණයේ දී රාජපක්ෂ පවුලේ බූදලයක් වන පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පොළොන්නරුවට තරග කිරීමට නියමිතය. ඒ සඳහා ඔහු දැන් එම සන්ධානයේ සභාපති ධුරයද භාර ගෙන හමාරය.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව සිරිසේන කිව්වේ මහින්ද දින්නා නම් තමන් ඉතින් මේ පොළොවට අඩි හයක් පහළ බවය. දැන් පොළොව යට අඩි හයක් යෑමට සිටි මිනිසා මෙන්ම පොළොව යට අඩි හයක් යැවීමට සිටි මිනිසා එකම සන්ධානයේ සභාපති හා නායකයාය.

මේ කතා ඇසීමෙන් මෙරට පුරවැසියා පුදුම වන්නේ නැත. ඒ මෙරට දේශපාලනය මෙවන් තුට්ටු දෙකේ වැඩ වලින් සමන්විත බව ඔවුන් දන්නා නිසාය.

සිරිසේන විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව සැබෑය. අතේ පැලවෙන පච කීවේ ශූරයෙකි. කළගුණ නොදන්නා අවස්ථාවාදියෙකි. රනිල් වික්‍රමසිංහ නොසිටින්නට සිරිසේනට මේ රටේ ජනපති වීමට නොහැකි බව ඡන්දය හිමි නැති කුඩා දරුවකු පවා දන්නා කරුණකි. ජනපති වීමෙන් පසු රනිල්ට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළේය. ජනාධිපති වී සති දෙකක් යෑමටත් මත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දගෙන් බලෙන් ගත්තේය. එහෙම අරගෙන රටම අවුලකට ගෙන ගිය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක රනිල්ට සොයා දුන්නේය. බලයට පත්වී වසර තුන හමාරක් යන විට යළි මහින්ද අගමැති කළේය. රාජ්‍ය දේපළ හා රාජ්‍ය ධනය තමන්ගේ හා පවුලේ සුභසිද්ධිය සඳහා නිර්ලෝභීව වියදම් කළ අයෙකි. ඒ අතර එල්ලූම් ගහට ගිය එල්ලුම් ගහෙන් නිදහස් කොට රටින් පැමිණීමටද ඉඩ කඩ සලසා දුන්නේය.

ඒ කියපු කරුණු ටික විකෘති මනසක් ඇති පුද්ගලයෙකුට හැර සාමාන්‍ය මිනිහෙකුට කළ හැකි දේවල් නොවෙයි.

වාර්තා වන අන්දමට සිරිසේනට සන්ධානයේ සභාපතිකම ලබාදී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂය. ඒ ජනපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම කුමන පදනමක් මත හෝ කැඩීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අකමැති නිසාය. එය අගය කළ යුතු ප්‍රතිපත්තියකි. තමන්ට වාසි වුණත් අවාසි වුණත් පොරොන්දු ඉටු කළ යුතුය.

හැබැයි එය කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ රජයට ගෙවීමට සිදුවන වන්දිය අතිවිශාලය. ආසන්නම සිද්ධිය ගතහොත් පසුගිය වර්ෂයේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාර වල වගකීම එවකට ජනපති ධුරයට අමතරව ආරක්ෂක සහ නීතිය හා සාමය ඇමති ධූරය දැරූ සිරිසේන දැරිය යුතු බව දැන් සනාථ වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම සිරිසේන තැකීමකට ලක් නොකළ බව ප්‍රකට කරුණකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට මෙම සිද්ධියෙන් මතුවූ ජාතික ආරක්ෂාවේ ඇති අනාරක්ෂිත බව මෙන්ම එතෙක් එක්සත් ජාතික පක්ෂය වටා ගොනු වී සිටි කතෝලික ඡන්ද ගෝඨාභය වටා එකතු වීමට හේතු විය.

කෙසේ වෙතත් සිරිසේන තව සන්ධානයේ සභාපති කිරීමෙන් ඔහුට අපමණ අගයක් රාජපක්ෂවරුන් දැන හෝ නොදැන ලබා දී තිබේ. ජනපති වීමට පෙර හා පසු සිරිසේන සඳහන් කළේ තමන් මේ වාරයෙන් පසු දේශපාලනය නොකරන බවය. ගෙදර සිටින්නට කල්පනා කළ තමන් යළි දේශපාලනයට ආවේ ජනතාවගේ ඉල්ලීම් මත බව ඔහු මෑතකදී ප්‍රකාශ කරන ලදී. ඉන් ඔහු ජන සමාජයට පෙන්වා දීමට උත්සාහ කළේ මහින්ද මෙන්ම තමන්වත් ජනතාව ඉල්ලන බවය. එය සිරිසේනගේ සුපුරුදු විහිළුවක් යැයි හුදී ජනයා සිතුවේය. එහෙත් එය එසේ නොවන බව සිරිසේන සන්ධානයේ සභාපති කිරීමෙන් රාජපක්ෂවරුන් ඔප්පු කර තිබේ. දැන් සිරිසේන, මහින්ද හා සම මට්ටමේය.

රාජපක්ෂවරුන් මෝඩයෝ නොවේ. සිරිසේන අරභයා කරුණු දෙකක් ඔවුන් සිතනවා ඇත. පළමු කරුණ සිරිසේන පොලොන්නරුවෙන් පරාජය කළ හැකි බවයි. අනික ඔහු දින්නත් තනි පුද්ගලයෙකු ලෙස තමන්ට බලපෑමක් කළ නොහැකි බවයි. මේ අදහස් දෙකම වැරදිය. සිරිසේන අනිවාර්යයෙන්ම පොළොන්නරුවෙන් දිනනවාමය. ඔහු දිනන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් පමණක් නොව එක්සත් ජාතික පක්ෂ ඡන්ද ද ඊට එකතු වීමෙනි. සිරිසේන රාජපක්ෂ කඳවුරේ තැබීම එම රජයේ විනාශයට ප්‍රධාන ම සාධකයක් වන බව එක්සත් ජාතික පක්ෂ නායකයෝ මෙන්ම පාක්ෂිකයෝ ද දනී. දෙවැනි කරුණ වන්නේ සිරිසේන හුදකලා වීම පිළිබඳවය. 2015-01-08 තනි පුද්ගලයකු ලෙස ඔහු කළ අවස්ථාවාදී පෙරළිය ගැන යම් අවබෝධයක් තිබේ නම් ඒ ගැන තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස හැමෝගෙන්ම බැනුම් අසමින් සිටි සිරිසේන පක්ෂ නායකයා පරාජය කිරීමට එම ධූරය ප්‍රයෝජනවත් වූවාට වඩා දැන් ලැබී තිබෙන සභාපති ධූරය රාජපක්ෂලා විනාශකිරීමට උවමනාවටත් වඩා ප්‍රයෝජනවත්ය.

පසුගිය කාලය පුරාවට සිරිසේන විවිධ සිහිනවල ජීවත්විය. 2018 ඔක්තෝම්බර් මාසයේදී මහින්ද අගමැති කර තමන්ට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පුළුවන්දැයි බැලූවේය. එය අසාර්ථක වූ තැන පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ජනපති මම අගමැති සිහිනයට බැස්සේය. එම ජනාධිපතිවරණයේ දී පොළොන්නරුවේදී සජිත්ගේ වේදිකාවට ගොඩ වීමට ද සිරිසේන සූදානමින් සිටියේය. එම ජනාධිපතිවරණයේ දී සජිත්ට පොළොන්නරුවෙන් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට සිරිසේන දායක විය.

එහෙම සිරිසේන දැන් නව සන්ධානයේ සභාපති ය. සිරිසේන එම සභාපති ධූරයට පත්වූයේ මීට හරියටම වසර පහකට පෙර නුගේගොඩින් ඇරඹුණු ඔහු විසින් පරාජය කළ මහින්ද සුළඟට හරියටම වසර පහක් පිරීමට එක් දිනකට පෙර ය. එනම් පෙබරවාරි 18 වෙනිදාය. ඒ අනුව ඉදිරියේදී අපට බලා ගැනීමට ලැබෙන්නේ මහින්ද සුළඟ නොව සිරිසේනගේ කුමන්ත්‍රණවලින් සක්‍රීය වූ ගිනි කන්දය.

(මංජුල බටුගෙදර)

Rate this item
(5 votes)
Last modified on Wednesday, 19 February 2020 13:51