March 28, 2024

"ජනතාව මාව ඉල්ලනවා" - අනේ හුටං නිකං හිටිං

February 06, 2020

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාය. ඒ කියන්නේ පක්ෂයේ නායකයාය. එහි ලේකම් දයාසිරි ජයසේකරය. 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී දයාසිරි සිටියේ මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු ලෙසය. එහිදී දයාසිරි, මෛත්‍රිපාල සිරිසේන හැඳින්වූයේ හුටං, හිටං කියාය. එසේ කියා නොනැවතුණු දයාසිරි, මෛත්‍රිපාල සිරිසේනගේ ඇතැම් හැසිරීම් රටා ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රති නිරූපණය කර පෙන්විය. ඒ හරහා දයාසිරි ජන සමාජයට පෙන්වා දුන්නේ සිරිසේන විකටයකු යන අදහස ය.

පසුගිය ජනාධිපතිවරණ සමය හුදී ජනයාට විනෝද සමයක් ම විය. ඒ ප්‍රධාන අපේක්ෂක දෙපළගෙන් එක් අයෙකු වූ සජිත් ප්‍රේමදාස දෛනිකවම විකට කතා කීමය. ජනාධිපතිවරණ කාල සීමාව තුළ සජිත් දිනකට එවැනි කතා දෙක තුනක් කීමට අමතක නොකලේය. මේ නිසා මුළු රටටම විහිළු සැපයූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අඩුව ජනතාවට දැනුණේ නැත.

ජනාධිපතිවරණ සමයේ දී තමන්ගෙන් ඕනෑම ප්‍රශ්නයක් අසන්නට යැයි පුන පුනා මාධ්‍යවේදීන්ට කියූ සජිත් දැන් හුම් කියන්නෙ නැත. ඒ වෙනුවට මාස දෙකහමාරකට පමණ පසු හිටපු විකට රජා මෛත්‍රිපාල සිරිසේන දැන් යළිත් කළ එළි බසිමින් සිටී. පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමන් මධ්‍යස්ථව සිටිනවා යැයි කියමින් නිහඬව සිටි සිරිසේන දැන් යළිත් කට ඇර තිබේ.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය ඇතුළු සන්ධානයේ සම නායකත්වයක් තමන්ට අවශ්‍ය බව සිරිසේන කියයි. එම ඉල්ලීම ලප් තැනම ලොප් වන තත්ත්වයකට දැන් පත්ව තිබේ. ඒ පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ඔය සම වැඩ වලට කැමති නැති නිසා ය. සිරිසේනට සම වැඩක් අවශ්‍ය නම් යා යුත්තේ මහින්ද රාජපක්ෂ ගාවට නොව 2015-01-08 තමන් ලැග සිටි රනිල් වික්‍රමසිංහ ගාවට ය. ඒ රනිල් ඔය සම වැඩ වලට කැමති නිසාය.

මෛත්‍රිපාල සිරිසේන සම නායකත්වය ඉල්ලන්නේ තමන් මහින්ද රාජපක්ෂ හා සමාන දේශපාලනඥයෙකු යැයි සිතන නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හැටියට මහින්ද රාජපක්ෂ යටතේ පුරා වසර නමයක් මහින්දගෙන් සුද්ධ සිංහලෙන් බැණුම් අසමින් සිටි බව ප්‍රකට කරුණකි. එහෙම සිටි සිරිසේන 2015-01-08 ජනාධිපතිවරණයට දින පනහකට පමණ පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සදාතනික හතුරා වන එක්සත් ජාතික පක්ෂ කඳවුරේ ජනපති අපේක්ෂකයා වී මහින්ද රාජපක්ෂ පරාජය කළ බව ඇත්තකි. එය මහින්ද රාජපක්ෂ හා සම වීමට හේතුවක් ලෙස සිරිසේන සිතන්නේ නම් එය ඔහුගේ දේශපාලන භාවිතයේ හා කියවීමේ තිබෙන බරපතළ අඩුපාඩුවකි.

සම නායක කතාවෙන් පසු සිරිසේන තවත් කතාවක් කරළියට ගෙනාවේය. ඒ විශ්‍රාම යෑමට සිටි තමන් යළිත් දේශපාලනයට එන්නේ පොළොන්නරුවට නායකයෙක් අවශ්‍ය බව ජනතාව කියන නිසා යැයි තමන්ම කියා ගත්තේය. ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සංවිධායකවරුන් දෙසීයක් පමණ හා පොලොන්නරුවේ නගරාධිපතිවරු, සභාපතිවරුද එම ඉල්ලීම කළ බව සිරිසේන කියයි.

මේ කතාව තනිකරම ඛේදවාචකයකි. මිට මාස තුනකට පමණ පෙර මෙරට ජනාධිපතිවරයාව සිටි අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද වන සිරිසේන අද පොළොන්නරුවට පමණක් සීමා වූ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ තත්ත්වයට ඇද වැටී සිටින බව ඉන් පැහැදිලි වේ.

සිරිසේන හිතන් ඉන්නේ තමන් තවමත් චරිතයක් කියාය. එහෙම නම් මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණක් ගොඩනංවා මහජන බලවේගයක් ගොඩ නැගූ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජන බලවේගයක් ගොඩනගා පොළොන්නරුවට ඉල්ලා පෙන්විය යුතුය. එහෙත් සිරිසේන කියන්නේ එහෙම කතාවක් නොව තමනුත් පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් ඉල්ලන බවකි.

2015-08-17 වැනිදා පැවති මහමැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටිමින් පසුව එය පොදුජන පෙරමුණ නමින් දේශපාලන බලවේගයක් ලෙස ගොඩ නැගුවේය. ඒ අවස්ථාවෙහි සිරිසේන කිව්වේ මෙන්න මෙහෙම කතාවකි. පුළුවන්නම් ඒ අයට ආණ්ඩුවක් හදන්න කියන්න. ඒ අයට සදාකාලිකවම පාරක් පාරක් ගානේ ඇවිද ඉන්න වටපිටාවක් අපි හදනවා කියාය. මේ කතාව මතක් වන විට ජනතාව දැන් කියන්නේ පොලොන්නරුව පැත්තේ සිරිසේන කියලා පිස්සෙක් පාරවල් වල දැන් ඇවිද ඇවිද ඉන්නවා කියාය.

ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි කියන්නේ මෙන්න මේවාටය. පොදුජන පෙරමුන පිහිටු වූ වෙලාවේ ඊට පලුයන්න බැනපු, මහින්ද රාජපක්ෂ 2015-01-08 ජනාධිපති උනානං තමන් ඉන්නේ පොළොවෙන් අඩි හයක යට බව කියපු සිරිසේන දැන් රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ වැටී සිටින ඔඩොක්කු කුක්කෙක්ගේ තත්ත්වයට පත්ව තිබේ. රෙදි ඇඳගෙන මිනිහෙකුට මෙහෙම වැඩ කරන්න පුළුවන් දැයි සිතීමත් අපහසුය.

සිරිසේනට ලැජ්ජාවක් නැති වුණාට රාජපක්ෂලාට ලැජ්ජාවක් තියෙනවා දැයි තව ටික දවසකින් බලා ගැනීමට පිළිවන. ඒ සිරිසේනට නාමයෝජනා දෙන නොදෙන ආකාරය තුළිනි. සිරිසේනට පොදුජන පෙරමුණ මුල් වූ සන්ධානය තුළින් නාම යෝජනා දීමට රාජපක්ෂලා තීරණය කළහොත් එය ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අවසානයේ ආරම්භය වේ. මන්ද සිරිසේන වැනි විකටයෙකු, වගකීමෙන් තොරව කටයුතු කරන්නෙකු මෙන්ම අවස්ථාවාදියෙකු මෙරට ජනතාවට අවශ්‍ය නැති නිසාය. කෙසෙල් කොලේ බත් කා පොළොන්නරුවේ සිට රට පාලනය කිරීමට පැමිණි සරල සිරිසේනගේ ගමන අවසන් වූයේ විශ්‍රාම යාමට පෙර විශ්‍රාම නිවස ලෙස රජයේ නිල නිවාස තුනක් එකට එක්කර ගොඩනැඟූ මන්දිරයක් මෙන්ම අවශ්‍ය සියලු වරප්‍රසාද ලබා ගත් ලංකාවේ සිටි දෙකයි පනහේ ජනාධිපතිවරයා ලෙසය.

ඒ නිසා පුරවැසියන් ලෙස අපට කීමට ඇත්තේ සිරිසේනව ඉල්ලන ජනතාවක් නැති බවය. ජනාධිපති වී රටට කරන්න බැරිවුණු දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වී කරන්නේ මොන බන්බුවෙන්ද යන්න නැගෙන ප්‍රශ්නය වේ. මේ නිසා අපට කීමට ඇත්තේ සිරිසේන අනේ නිකං හිටිං කියාය.

-මංජුල බටුගෙදර-


Rate this item
(5 votes)
Last modified on Thursday, 06 February 2020 13:10