April 24, 2024

"චිනං සරණං ගච්ඡාමි" - "චිනං අරහං ගච්ඡාමි" වූ වගයි

චීනය සමග ශ්‍රී ලංකාවේ සබඳතා සියවස් ගණනාවක් ඈතට දිවයයි. සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා ඒ අතින් ප්‍රමුඛතාව ගනී. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ආදී බොහෝ දේ චීනය ශ්‍රී ලංකාවට දුන් වටිනා කියන තෑගිය.

එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පෙර සිටි සෑම රාජ්‍ය නායකයෙකුම චීනය තැබිය යුතු තැන තිබ්බේය. ඔවුන් චීනයෙන් උදව් ගත්ත ද මේ රටේ ආර්ථිකයට දරුණු ලෙස ඇතුලත් වීමට ඉඩ නොතැබුවේය.

2019 මැයි 19 වෙනිදා පුරා දශක තුනකට වැඩි කාලයක් තිබූ ත්‍රස්තවාදී යුද්ධය නිමාවීමත් සමඟ චීනය දරුණු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මැදිහත්විය. යුදමය වශයෙන් ශ්‍රී ලංකාව ඉතා වැදගත් ස්ථානයක් වීමත් යුද්ධය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම අවදානමකින් තොර එකක් බව තේරුම්ගත් චීනය ගෙවුණු දශකය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කළ මැදිහත්වීම මත චීනයේ සහය නොමැතිව රට ඉදිරියට ගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම දරුණු චීන ආක්‍රමණය ආරම්භ වූයේ ෂැංගිලා හෝටලය සඳහා මහින්ද රාජපක්ෂ රජය කොළඹින් සින්නක්කරවම චීනයට ඉඩමක් විකිණීම හරහා ය. කිසිදු ආයෝජනයක් නොපැමිණීම නිසා ආයෝජන දිරිගැන්වීම සඳහා එය කළ බව ඒ සඳහා එදා සිට අද දක්වා මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ ගෝලබාලයන් නඩය දෙන උත්තරය වේ.

එතැනින් ඇරඹුණු ශ්‍රී ලංකාවේ චීන ආර්ථික ආක්‍රමණය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට මාගම්පුර වරාය හෙවත් මහින්ද රාජපක්ෂ වරාය, නොරොච්චෝලේ තාප බලාගාරය, නෙළුම් කුළුණ පමණක් නොව ශ්‍රී ලංකාවට අලුතින් ඉඩම් කෑල්ලක් ලබා දෙන එමෙන්ම චීනයට ද උරුමයක් ලබාදෙන වරාය නගරයට මැදිහත් වූයේ ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් වන ආකාරයටය.

ඉහත සදහන් ව්‍යාපෘතීන් සඳහා පැමිණියේ චීනයේ ආයෝජකයන් පමණක්ම නොවේ. චීන වැසියන් අති විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණියේ එම ව්‍යාපෘතිවල වැඩ කිරීම සඳහාය. චීනයේ සිටින මිලියන සියයකටත් අධික ජනගහනය චීනයට බරපතළ අභියෝගයක් වීම නිසා හැකි පමණින් චීනය සිය පුරවැසියන් මෙවැනි ව්‍යාපෘතීන් හරහා වෙනත් රටවල ස්ථාපිත කිරීම ක්‍රමානුකූලව කරගෙන යන්නකි. මෙසේ පැමිණෙන චීනුන් බල්ලන්, සර්පයින් ආහාරයට ගැනීමට රුචියක් දක්වති. එය ශ්‍රී ලංකාවේ අපේ ආහාර රටාවට හාත්පසින් ම වෙනස් වූවකි.

චීනුන් මෙසේ ක්‍රමානුකූලව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල දැන් ශ්‍රී ලංකාවට හිසරදයක් වී තිබෙන්නේ කොරෝනා වසංගතය සමගය. මේ නිසා මෙරට පුරවැසියන්ට දැන් චීනුන් අරහංය. තත්ත්වය කෙතරම් බරපතළ ද යත් රෝහල්වල රෝගීන් මෙන්ම සේවය කරන්නද නිවාඩු දමා සේවයෙන් ඉවත්ව යන තැනට වැඩකටයුතු දැන් යෙදී ඇත. චීන ජාතික කොරෝනා වෛරස් රෝගියකු ඇතුලත් කළ අංගොඩ උණ රෝහලේ සිටි සියලු රෝගීන් මෙන්ම සේවකයන් රෝහලෙන් ඉවත් වීම ඊට නිදසුන්ය. කොට්ටාව - මාතර මෙන්න කඩවත - මාතර අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ වලින් චීනුන් ඉවත් කරන ලෙස මගින් බස් රථ සේවකයන්ට බල කරන තැනට වැඩ කටයුතු සිදු වී හමාරය.

මේ ආකාරයට මෙරට වැසියන් චීනුන් ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? හැම චීනාටම කොරෝනා වෛරසය නැතිබව මෙරට පුරවැසියන් දනී. එහෙම දැන දැනත් මෙරට පුරවැසියන් චීනුන් ප්‍රතික්ෂේප කරන්නේ දැන් ශ්‍රී ලංකාවට චීනුන් ඇති කියන පදනම මතය.

මෙම තත්වය මත ආණ්ඩුව පැටලී තිබෙන්නේ පඹගාලක ය. "උණු හන්දා බොන්නත් බැරි කිරි හන්දා අහක දාන්නත් බැරි" තත්වයකට ශ්‍රී ලංකා ආණ්ඩුව පත්ව තිබේ. මේ අවස්ථාවේ ආණ්ඩුව ගත යුතු නිවැරදි තීන්දු වන්නේ මෙරටින් චීනුන් පිටුවහල් කිරීමය. එහෙම කිව්වොත් ඉන් අත්වන ඉරණම පිළිබඳව ආණ්ඩුවට නිවැරදි මැනීමක් තිබේ. "චීනුන් රටින් යනු" කියන්නට ගියහොත් චීනය නතර වන්නේ මුළු ශ්‍රී ලංකාවටම කොරෝනා වෛරසය දායාද කිරීමෙන් පසුවය.

වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරසය ඇරඹුණු බව චීන රජය කියයි. ඒ වවුලන් ඇතුළු සතුන් අනුභව කිරීමේ ප්‍රතිඵලයක් නිසා බව ද ඔවුන් කියයි .ඒ සමගම මේ ගැන තවත් කතාවකුත් පැතිර යමින් තිබේ. ඒ වුහාන් ප්‍රාන්තයේ කොරෝනා වෛරසය නිපදවන රසායනාගාරයකින් මෙය පිටවූ බවය. එය කට කතාවක් යැයි කියා බැහැර කළ නොහැකි කරුණකි. චීනයේ වවුලන් ඇතුළු සතුන් අනුභව කරන්නේ වුහාන් ප්‍රාන්තයේ වැසියන් පමණක් ම නොවේ. චීනයේ අනිකුත් ප්‍රාන්ත තුල ජීවත්වෙන වැසියන් ද පුරුද්දක් හැටියට සතුන් අනුභවයට ගනිති. එසේ නම් එම ප්‍රාන්තවල කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවූයේ මන්ද? මෙය සිතා බැලිය යුතු කරුණකි.

කෙසේවෙතත් දැන් උද්ගතව තිබෙන තත්ත්වය තුළ ශ්‍රී ලාංකික අප පාඩමක් ඉගෙනගත යුතුය. එම පාඩම වඩාත් හොඳින් ධාරණය කරගත යුත්තේ පුරවැසියන්ටත් වඩා ආණ්ඩු කරන පාලකයන්ය. ඒ කිසිදු රටක ගැත්තෙක් හෝ ඉත්තෙක් නොවිය යුතුයි යන පාඩම ය. ඒ සඳහා මොනතරම් අමාරුකම් තිබුණත් රටක් හැටියට ඉවසා දරා සිටීමට පුරුදුවීම වැදගත්ය. "චිනං සරණං ගච්ඡාමි" එනම් චීනයේ සරණ යෑමෙන් ශ්‍රී ලංකාවේ අපට ලැබෙන ප්‍රතිලාභයට වඩා ඉදිරියේදී විනාශය ළඟා කර දෙන බව නම් ඉතා පැහැදිලිය.

(මංජුල බටුගෙදර)

Rate this item
(3 votes)
Last modified on Friday, 31 January 2020 11:22