April 24, 2024

දැන් පෙන්වනවා ! කොළොන්නාවේ අම්මණ්ඩි

මේ දවස්වල ලංකාවේ තරුණ පිරිස් සිටින්නේ කුතුහලයෙනි. ඒ කොයි මොහොතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය හා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා සමඟ කළ දුරකතන සංවාද හඩපටයක් සමාජගත වේ ද යන බලාපොරොත්තුව නිසාය. ඒ ඒ තරමටම හිරුණිකාගෙන් හා රංජන්ගේ වාචාල හා ඕපදූප කතා තරුණ පිරිස් වලට අල්ලා ගොස් ඇති බැවිනි.

රන්ජන්ගේ සුප්‍රකට පටිගත කරන ලද දුරකථන හඬ ගබඩාවේ තිබුණේ හිරුණිකා සමත් කළ හඬපට පමණක්ම නොවේ. එහෙත් අද හුදී ලාංකීය ජනයාගේ ඉල්ලුම තිබෙන්නේ හිරුණිකාගේ හා රංජන්ගේ දුරකථන හඬ පඩ වලටය. මේ වනවිට සමාජගතවී තිබෙන මේ දෙපළගේ හඬ පට සඳහා ඉහළම ප්‍රතිචාර හා ජනප්‍රියත්වයක් හිමිව තිබේ. එපමනක් නොව ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී මේ හඬ පට ගැන හිරුණිකා හා රන්ජන් කළ කතා අන්තර්ජාලයේ යූටියුබ් හා මුහුණු පොතේ වැඩිම ඉල්ලුමක් තිබූ කතා වේ.

රන්ජන්ගේ දුරකථන සංවාද හඬපට අතුරින් හිරුනිකාගේ හඬ පට සඳහා විශේෂ ඉල්ලීමක් තිබෙන්නේ මන්දැයි යන්න තමයි හරියට තේරුම් බේරුම් කර ගැනීමට නොහැකිය. පියුමි හංසමාලි, ජානකී විජේරත්නගේ හඬ පට වලට හිරුනිකාගේ හඩ පට ලැබූ ජනප්‍රියත්වයට ළං වීමටවත් නොහැකි ය.

තමන්ගේ දෙවැනි දුරකථන හඬපට සංවාදය සමාජගත වෙද්දී හිරුණිකාගේ ඉවසීමේ සීමාව පැන්නේ ය. ඊට උත්තර බඳින්නට ඉදිරිපත් විය. එම උත්තරයේ දී ඇය කියා සිටියේ තමන්ගේ පළමු හඬපටයේ හා දෙවැනි හඬපටයේ කතා විලාශය අතර වෙනසක් තිබෙන බවත් දෙවැන්න තමාගේ නොවන බවත්ය. ඒ නිසා මේ හඬ පට දෙක සංසන්දනය කර තේරුම් ගන්නා ලෙස ඇය හුදී ජනයා ගෙන් ඉල්ලා සිටියේය. ඒ සමගම තුන්වන හඬ පටය ද  සමාජගත විය. එහිදී ඇය උත්තර බැඳිල්ල ඉදිරියට ගෙන ගොස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මේ හඬ පට වලදී හිරුණිකා හිටපු රාජ්‍ය නායකයින්ට අමතන භාෂාව අපූරුය. ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයෙකුට කියන්නේ ඕක මොකද්ද කියාය. හිටපු ජනපති අමතන්නේ ගමරාළ කියාය. තමන්ගේ කඳවුරේ ජනපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වූ ජලනි ප්‍රේමදාස ගැන කියන්නෙ ඒකි සජිත්ට කෙළියා කියාය. ඒ කියන්නේ ජලනිගේ ආර්යාව කතාව මහත් කරමිනි.

හිරුණිකා දේශපාලන පවුලකින් පැවත එන බව සැබෑවකි. එහෙත් ඇය දේශපාලනය කරන්නේ ඔලුවෙන් නොව ඇඟෙන් බව ප්‍රකට කරුණකි. ඇගේ පියා වූ අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර එසේත් නැත්නම් ලකී අයියා කාටත් බය නැති පුද්ගලයෙකි. ඔහුට සමාජ විරෝධී ව්‍යාපාරයක් පිළිබඳව යම් විවේචන එල්ල වුවද දේශපාලනය කළේ ප්‍රතිපත්ති ගරුකවය. අවබෝධයක් ඇතිවය. ඔහු දේශපාලනය හා පෞද්ගලික කරුණු කවදාවත් පටලවා ගත්තේ නැත.

හිරුණිකා දේශපාලනයට පිවිසෙන්නේ සිය පියා ඝාතනය කළ පෞද්ගලික කෝන්තරයක් සමඟය. අද දක්වා ඇගේ සම්පූර්ණ දේශපාලන ගමන රැඳී තිබුණේ සිය පියාගේ ඝාතනයත් සමඟ ය. මුලින්ම මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභාවට ඉදිරිපත් වී බස්නාහිර පළාතේ පළමු වැනියා විය. එතනින් ඇය රනිල් වික්‍රමසිංහ ගාවට ගිය විට කියා සිටියේ පුදුම කතාවකි. තමන් එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභාවට ඉදිරිපත් වීමට සිටියත් රනිල් තමන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දය ඉල්ලන ලෙස කියා සිටි බවත් අවශ්‍ය මොහොතේ එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙසත් ප්‍රකාශ කළ බව ඇය 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ප්‍රසිද්ධියේම කියා සිටියේය. මේ ඇය සිය දේශපාලන ජීවිතයේ කළ පළමු මෝඩ කතාවය. ඒ කතාවෙන් රහසක් රැකිය යුතු හිරුණිකාගේ දේශපාලන විශ්වාසනීයත්වය නැත්තටම නැති විය.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක රාජපක්ෂලා සමග ප්‍රශ්න තිබේ. ඒ සිය පියා වූ හිටපු උතුරු මැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් සැලකූ හැටි ගැනය. එහෙත් ඔහු දේශපාලනයේදී එය පෞද්ගලිකව ප්‍රශ්නයක් කර නොගත්තේය. දුමින්දට අදටත් දේශපාලනයේ සාර්ථකව රැඳී සිටින්නේ ඒ නිසාය.

හිරුණිකාගේ පියා වූ භාරත ලක්ෂ්මන් සිය මුළු දේශපාලන ජීවිතයම කැප කළේ කොලොන්නාව අරක් ගෙන තිබූ එක්සත් ජාතික පක්ෂයේ වීරසිංහ මල්ලිමාරච්චිලාගෙ මැර දේශපාලනයට එරෙහිවය. ඊට ඔහු මුහුණ දුන්නේ සිය ජීවිතය ගැන ආශාවද අත්හ හරිමිනි. භාරත ලක්ෂ්මන් මිය ගියේද එක්සත් ජාතික පක්ෂ විරෝධියෙකු ලෙස ය. එහෙත් අද හිරුණිකා ලැග සිටින්නේ සිය පියාගේ සදාතනික දේශපාලන සතුරා වූ එක්සත් ජාතික පක්ෂ මඩවලේය.

හිරුනිකාට පෙනුම, චතුර කතා විලාශය මෙන්ම වාචාල කම තිබෙන බව සැබෑය. එහෙත් දේශපාලනයට පමණක් නොව වෙනත් ඕනෑම දේකට අවශ්‍ය මොළය ඇයට නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති 1994 දී මේ රටේ අගමැති වන විට ජනපති වනවිට ඇයට හිරුනිකාට තිබෙන ඔය තුනම එනම් පෙනුම, කථිකත්වය මෙන්ම වාචාලකම් ද තිබුණි. එහෙත් ඒ සමගම ඇයට මොලේ ද තිබිණි. මහින්ද රාජපක්ෂලාගේ මෙන්ම සිය සොයුරා වූ අනුර බණ්ඩාරනායකලාගේ ගේම් හමුවේ ඇය වසර 11 ක් රට පාලනය කළේ වාචාලකමට අමතරව මොලේ ද තිබුණු නිසාය.

ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී හිරුණිකා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන්ට ඉස්සරහින් මෙන්ම පස්සෙන් ද කළේ තමන්ගේ සැමියා බව ය. ඒ රන්ජන්ගේ සුප්‍රසිද්ධ බැක් සයිඩ් කතාවට පිළිතුරක් ලෙසය. මේ මොළය නැති කම් මත කළ ප්‍රකාශයකි. හිරුණිකා වැඩිහිටියෙකි. ඇයට ඇඳ උඩ නැත්නම් ඇඳ යට ද ඕනෑම දෙයක් කිරීමට අයිතියක් තිබේ. එහෙත් ඒවා ජනයාට දැන ගැනීමට අවශ්‍යතාවයක් නැත. මේ අනවශ්‍ය දේ ඇය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව තුළය. ඕකට කියන්නේ වාචාලකම කියන එකය. ඇය සිතන්නේ මෙම වාචාල කතාවෙන් ඇය වීරවරියක් වන බවය. නිර්දෝෂී කාන්තාවක් වන බවය. එහෙත් ඉන් සිදු වූයේ ඇගේ පිරිහීමේ ප්‍රමාණය රටටම පෙන්නුම් කිරීමය.

හිරුනිකාට තවම තිහ පැන්නා පමණි . හැදෙනවානම් කල් ඕන තරම්ය. කලක් මදාවියෙකු ලෙස හැසුරුණු හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත්‍රයා වන කාංචන විජේසේකර අද අවබෝධයෙන් යුතුව දේශපාලන ගමනක නියැලී සිටී. පැපුවා නිව්ගිනි ජාතික රග්බි ක්‍රීඩක ජොඑල් පේරාගේ ඝාතනයට මෙන්ම උඩතලවින්න සමූහ ඝාතනයට චෝදනා ලැබූ ලොහාන් රත්වත්තේ අද යහපත් දේශපාලනයක නියැලී සිටී.

රන්ජන්ගේ මෙම දුරකතන සංවාද හඬ පටිගත කිරීමේ වැඩේට මල් මෙන්ම ගල් ද එල්ල වේ. ගල් ගහන ඇතැමෙක් කියන්නේ රන්ජන් ගොනෙක් බවය. බලාගෙන යනකොට දැන් පෙනෙන්න තියෙන්නෙ රන්ජන්ගේ ගොන්කම කෙසේ වෙතත් ඔහු මේ රටේ ඉන්නා සුප්‍රසිද්ධ ගොන්නු සමාජයට හඳුන්වා දී ඇති බවය.

(මංජුල බටුගෙදර)

Rate this item
(4 votes)
Last modified on Wednesday, 22 January 2020 12:35