April 25, 2024

තනිකඩ රන්ජන් වීරයෙක්ද? දුෂ්ඨයෙක්ද? විකටයෙක්ද?

බල්ලෙකුට පිස්සු හැදුනම කරන දේ හිතාගන්නවත් බැරි ය. එහෙව් බල්ලා හපා කෑම ඇරඹූ විට ගෙදර ස්වාමියා පමණක් නොව තම වර්ගයා ද සපා කයි. මේ නිසා එක්කෝ මේ පිස්සු බල්ලා බැඳ තබා බෙහෙත් කළ යුතුය. එසේත් නැත්නම් වෙඩි තබා අවසන් කළ යුතුය. හඬ පටි චක්‍රවර්ති රංජන් රාමනායකගේ වැඩ ගැන ලියන මෙම ලිපිය එසේ ආරම්භ කළ යුතු යැයි සිතුණත් දැන් දැන් එළියට එන හඬ පට දෙස බලද්දී ඔහුගේ වෘත්තිය ජීවිතය වන සිනමාවේ භාෂාවෙන්ම කියනව නම් රන්ජන් වීරයෙක්ද? දුෂ්ඨයෙක්ද? විකටයෙක්ද? යන ප්‍රශ්නය පැන නැගේ.

සිනමාවේ වීරයා සමාජයේ සැබෑ හරය ප්‍රේක්ෂකයාට පෙන්වා දෙමින් සියලු අභියෝග ජය ගනී. ඒ අතින් බලද්දී රන්ජන්ගේ හඬ පටි තුළින් සමාජයේ වැදගත් යැයි ප්‍රසිද්ධ යැයි පුද්ගලයින්ගේ සැබෑ චරිතය හෙළිදරව් කර තිබේ. දුෂ්ටයාගේ චරිතය ගත්විට වීරයාගේ සියලු කටයුතු අඩපණ කිරීම සිරිත වෙයි. ඒ අනුව බලද්දී රන්ජන්ගේ හඬ පට හරහා සමාජයේ වැදගත් මෙන්ම ප්‍රසිද්ධ යැයි සැලකෙන පුද්ගලයන්ගේ සමාජ පැවැත්ම මෙන්න ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ. එය මීට වසර තුන හමාරකට පමණ පෙර කොස්ගම යුද හමුදා අවි ගබඩාව පිපුරුවාටත් වඩා භයානක පිපිරීමකි. එසේ මෙසේ ගණනක් නොව දුරකථන සංවාද හට පට එක් ලක්ෂ විසිඑක්‍ දහසක් රන්ජන් සතුව පවතී. ඒ සියල්ලම එළියට ආවොත් සමාජය උඩි යටිකුරු වනු නිසැකය. විකටයාගේ චරිතය ප්‍රේක්ෂකයා හිනා ගැස්වීමයි. රන්ජන් ගේ හඬ පට හරහා ඒ දේ හරියටම කර ඇත. ඇතැම් බබාලා සමඟ රන්ජන් කර තිබෙන දුරකථන සංවාද අසද්දී ප්‍රේක්ෂකයාගේ ඇගේ ලේ පිරිසිදු වන තරමටම සතුටක් ඇති වේ.

අපේ රටේ අධිකරණය මෙන්ම පොලීසිය ද දූෂිත බව රංජන් ප්‍රසිද්ධියේම කියූ දේවල්ය. ඒ කියපු දේවල් නිවැරදි බව ඔප්පු කිරීමට ඔහු සාක්ෂිද දැන් සමාජගත කර හමාරය. දුරකථන සංවාද පටිගත කිරීම හරහා ඇතැමුන් බිය ගන්වා ඔවුන් ලවා තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ අවශ්‍යතාවයක් රන්ජන්ට තිබුණු බව ඇතැමෙකුගේ අදහසයි. ඒත් ඒ සඳහා දුරකථන ඇමතුම් එක්ලක්ෂ විසිඑක් දහසක් අවශ්‍ය වන්නේ නැත. අනෙක් අතට එහෙම කරපු අවස්ථාවක් ද අසන්නට නොමැත. ඒ නිසා මෙම කාර්යය රංජන් තමන්ගේ මානසික තෘප්තිය උදෙසා කළ එක්තරා ආකාරය වැඩ පිළිවෙළක් එනම් පිස්සු වැඩ පිළිවෙලක් බව කියන අයද සිටී. ඒ අදහස සමග නම් එකඟ විය හැක.

දුරකථන හඬ පටිගත කිරීම රංජන් එය තමන්ගේ ආතල් එක උදෙසා කළ ද එය මෙහෙම පත්තු වේ යැයි සිතුවේ නැත. ඔහු සිතා සිටියේ කාලයත් සමඟ මේ හඬ පට ද අභාවයට යනු ඇත කියාය. කෙසේ වෙතත් රන්ජන්ගේ මෙම ක්‍රියාව හරහා සමාජයට මේ රටේ ඡන්දදායකයාට දෙන පණිවිඩය ඉතා පැහැදිලිය. ඒ සුදුස්සා සුදුසු තැන තැබිය යුතු බවය. නුසුදුස්සා සුදුසු තැන නොතැබිය යුතු බවය.

රන්ජන් දේශපාලනයට ඒමට සිටි කෙනෙක් නොවේ. 2005 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ දාහතක කල්ලියක් මහින්ද රාජපක්ෂ ගලවා ගැනීමෙන් පසු තක්කු මුක්කු වී සිටි රනිල් වික්‍රමසිංහ ගොඩ ඒමට නොයෙක් දේ කළේය. ඉන් එකක් වූයේ පළාත් සභා මැතිවරණයේදී ප්‍රධාන ඇමැති අපේක්ෂකයා ලෙස එතෙක් දේශපාලනය නොකළ එහෙත් රටේ ප්‍රසිද්ධ චරිත ඉදිරිපත් කිරීමය. ඒ අනුව එකවර 2008 දී පැවැත්වූ උතුරුමැද හා සබරගමුව පළාත් සභා මැතිවරණ සඳහා රනිල් ගන් ෂොට් මෙන්ම වන්ෂොට් ද හදුන්වා දෙන ලදි. ගන් ෂොට් වූයේ උතුරු මැදට ඉදිරිපත්වූ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ය. වන් ෂොට් වූයේ ඒ අවධිය වන විට අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වූ රන්ජන් රාමනායකය. පළාත් සභා දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබූවද ගන් ෂොට් මෙන්ම වන් ෂොට් ද මනාප ලක්ෂ ඉක්මවීය. දෛවයේ සරදම කෙසේදයත් නොදන්න දේශපාලනයට පැමිණි මේ දෙදෙනාටම මුහුණ දීමට සිදුවූයේ ඛේදවාචකයන්ට ය. මේ රටට බොහෝ වැඩකොටසක් කිරීමට හැකියාව තිබූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 2008 ඔක්තෝබරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි. හරියටම දශකයක් ඉක්මවා යද්දී රන්ජන් ද තමන්ගේ චරිතය මෙන්ම විශ්වාසනීයභාවය ද ඝාතනය කරගෙන හමාරය. රන්ජන් අත්අඩංගුවට පත්වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවන ලදී. සහෝදර මන්ත්‍රීවරයෙකු වන හේෂා විතානගේ කියන්නේ රන්ජන් කියන කරන දේවල් ගැන පක්ෂයට දැන් වගකීමක් නැති බවය. එහෙත් රන්ජන් හඬ පට පටිගත කිරීමේ වැඩ කරන ලද්දේ ආණ්ඩුවේ සිටිද්දී බව හේශා විතානගේට දැන් අමතක වී ගොස් ය. රනිල් වික්‍රමසිංහ දෙන ලණු කෑ විට දිරවා ගන්න වෙන්නේ ඔන්න ඔය ආකාරයට.

රන්න්ජන්ට එරෙහිව මුලින්ම ප්‍රහාරයක් එල්ල කළේ ඇමති විමල් වීරවංශ සහ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. ඒත් දැන් මේ දෙපළම නිහඬය. ඒ විමල්ගේ බිරිඳ ශෂී වීරවංශ තමාගේ දුක කියන තමන්ගේ කැමැත්ත කියන හඩ පටයකුත් රන්ජන් ගාව තිබීමය. එය දැන් සමාජගතවී තිබේ. ඊළඟට මහින්දානන්ද ගැන ඔහුගේ සොහොයුරා කියන කතාවක් ද ඉදිරියේදී ඒමට නියමිතය. මහින්දානන්ද දැන් කියන්නේ මේ හඬ පට එළියට ඒම නැවැත්විය යුතු බවය.

මේ වන විට දේශපාලනයේ නියැලී සිටින අයගෙන් අති බහුතරයක් සිටින්නේ තක්කු මුක්කු වූ තත්ත්වයකය. ඊළඟට එළියට එන්නේ තමන්ගෙ එකක්ද යන බියෙන් ඔවුන් මේ දිනවල කල් මරති. ඉන් එළිදරව් වන කරුණු පිළිබඳ මේ දේශපාලනඥයන්ට බියක් නැත. ඒ තමන්ට විලිලැජ්ජාවක් නැති බව ඔවුන් දන්නා නිසාය. ඒත් අවුල තියෙන්නෙ මේ එළිදරව් වන කරුණු මත ගෙදර බිරිඳ හෝ ස්වාමියා සමග ගෙදර සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම ය. දැනටමත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය එහෙම තත්වයට මුහුණ දී සිටී. ඒ අතින් බලද්දී තනිකඩ රන්ජන් සැබෑම පොරකි.

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Thursday, 16 January 2020 12:24