April 20, 2024

එජාපය මැරී උපදී - තිස්සව කුදලගෙන ගොස් සිරගත කළ අයුරු අමතක වේ

December 31, 2019

මේ රටේ ආණ්ඩු බලයෙ හිටිය ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධාන මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන වලට ආණ්ඩු බලය අහිමි වීමත් සමග බෝවන පොදු රෝගයක් තිබේ. ඒ ආණ්ඩු කරද්දී කියපු කරපු දේවල් අමතක වීමේ රෝගයයි. මෙහි අරුමය වන්නේ ආණ්ඩු බලය අහිමි වී සතියක් දෙකක් යන විට මෙම රෝගය බෝ වීමයි. මෙම රෝගය ආණ්ඩු කළ එක්සත් ජාතික පක්ෂයට තදින්ම දැන් වැළඳී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ දිවුරුම් දී හරියටම මාසයක් ගත වන දින පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම ද සිදු විය. මේ අත්අඩංගුවට ගැනීම් දෙකම එක්සත් ජාතික පක්ෂය හා ඔවුන් සමඟ සිටින සන්ධාන පාර්ශ්වයන් හඳුන්වන්නේ දේශපාලන පලිගැනීම් ලෙසය.

රාජිත අත්අඩංගුවට ගත් විට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයේ සිටිද්දී දෙවතාවක්ම ආරක්ෂා කළ දෙමළ ජාතික සන්ධානයේ රනිල්ගේ හිතවතා වන වන සුමන්දිරන් එය විවේචනය කිරීමට එක්විය. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වන අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, අජිත් පී පෙරේරා හා එරාන් වික්‍රමරත්න ආදීන් සහභාගී වූ මාධ්‍ය හමුවකදී ඔවුන් ඉදිරිපත් කළ පොදු තර්කය වූයේ මාධ්‍ය හමුවලදී හා දේශපාලන වේදිකාවල කියන දේවල් වලට දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ නම් මේ වනවිට සියලු දේශපාලනඥයින් සිටිය යුත්තේ සිරගෙවල්වල බවය. එය නම් සැබෑවකි. කියන කතා කෙසේවෙතත් ආණ්ඩු බලයේ සිටිද්දී එක්සත් ජාතික පක්ෂයේ අය කරපු දේවල් බලද්දී එහි බහුතරයක් අද සිටිය යුත්තේ සිර ගෙවල්වලය.

රාජිත අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කන්න දැමූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු රාජිත සේනාරත්න සමඟ ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් කළ ප්‍රකාශයයි. මේ වන විට ඔවුන් දෙදෙනා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. පොලිසිය හමුවේ ඔවුන් දෙදෙනා කර ඇති ප්‍රකාශ වලට හා පාපොච්චාරණයට අනුව රාජිත අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීමට පාදක වූ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය එතරම් තැකීමකට ලක් කළ යුතු එකක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ගේ මතයයි.

අපගේ ප්‍රශ්නය වන්නේ 2015 ජනවාරි 08 යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති තුනක් යාමටත් මත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුදලාගෙන ගෙන ගියේ කෙසේද යන්නය. තිස්ස 2014 දෙසැම්බර් 08 වනදා තෙක්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා ය. ඔහු එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට ඉදිරිපත් වී එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ අත්සන් කළ බෙදුම්වාදී ගිවිසුමක් තිබෙන බවට රට තුළ මතයක් තිබෙන බවත් එවන් ගිවිසුමක් තිබේ නම් එය රට හමුවේ හෙළිදරව් කරන ලෙස තිස්ස මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයෙන් පසු කූට ලේඛන සැකසීම සහ එමඟින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑමක් සිදු වීම වැනි චෝදනා මත යහපාලන රජයේ පළමු අත්අඩංගුවට ගැනීම ලෙස තිස්සව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඔහු නිවසේ සිටිද්දී යහපාලන ආණ්ඩුවේ ලොක්කන් ගේ උපදෙස් මත රහස් පොලිසියේ ලොක්කන් ඔහුගේ නිවසටම පැමිණ කුදලාගෙන ගොස් දවස් 55ක් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලදී.

ඉන්පසු එම නඩුව උසාවිය හමුවේ කැඳ වූ අවස්ථාවේ එහි සාක්ෂි කරුවන් වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එකම දිනයක්වත් සාක්ෂි දීමට පැමිණියේ නැත. ඊට හේතු ලෙස ඒ දෙපළ දන්වා සිටියේ රාජකාරි වැඩ කටයුතු අධික බැවින් උසාවියට පැමිණීමට නොහැකි බවය. අවුරුදු හතරක් පමණ නඩු ඇසීමෙන් පසු තිස්සට කිසිදු දඬුවමක් ලබා නොදී මෙම නඩුව අවසන් විය. යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග තිස්සගෙන් ආරම්භ කළ දේශපාලන දඩයම අවසන් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය එනම් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් ඇතුළු එකොළොස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙනි.

කිඹුල් කතාවක් කියා අමාරුවේ වැටුන රාජිත ගැන දැන් කිඹුල් කඳුළු හෙළන එක්සත් ජාතික පක්ෂය මීට අවුරුදු හතරයි මාස එකොළහකට පමණ පෙර අවුරුදු විසි හයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටි ඉන් අවුරුදු නවයක්ම පක්ෂයේ මහලේකම් ලෙස සිටි තිස්ස අත්තනායකව බලයට පැමිණි විගස කුදලාගෙන ගොස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ ආකාරය දැන් අමතක වී තිබේ. එදා තිස්සව මේ ආකාරයට බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජිත මෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පසුබිම් කරගෙනය. ඒ අනුව බලද්දි එක හා සමාන සිදුවීමක් සම්බන්ධයෙන් එදා තිස්සට ක්‍රියාත්මක වූ නීතිය රාජිතට හොඳ නැති වන්නේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂයේ මහත්වරු රටට කිව යුතුව ඇත.

එපමනක් නොව යහපාලන ප්‍රධානීන් තිස්සට නඩු දැමුවේ ජාත්‍යන්තර සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් පනත ICCPR (ACT) පනත යටතේ ය. එම පනත යටතේ පැවරු පළමු නඩුව ද මෙය විය. තිස්සව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිවිය. එහෙත් ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ යහපාලන ආණ්ඩුව මහ අධිකරණය ලවා එම ඇප අයදුම ප්‍රතික්ෂේප කොට තිස්සව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. ඒ අතින් බලද්දී මේ ආණ්ඩුව හොඳය. රාජිතට ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය නීතියය. මෙම සාමාන්‍ය නීතියට පින්සිදුවන්නට රාජිත එක දවසක්වත් සිරගත නොවී ඇප ලබා ගැනීමට සමත් විය.

යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අග්‍රාමාත්‍ය නිල නිවස වූ අරලියගහ මන්දිරයේ පිහිටුවා තිබූ කාර්යාලයක් හරහා අත්අඩංගුවට ගත යුතු පිරිස අලුතින් පිහිටවූ FCID යට දන්වන ලදී. එසේ අත්අඩංගුවට ගත යුතු පිරිස තීරණය කල අය අතර හිටපු එක් පුද්ගලයකු වූයේ ඔය රාජිත සේනාරත්නය.

බලයේ සිටිද්දී රාජිත දුන්නේ පොරටෝක් ය. විශේෂ අධිකරණ එකක් බැරිනම් දෙකක් හෝ පිහිටවා එකදිගට නඩු අසා රාජපක්ෂලා සිරගත කළ යුතු බව රාජිත ප්‍රසිද්ධියේම කිවේය. පැවති ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂගේ ලිපිනය මැගසින් බන්ධනාගාරය වැලිකඩ ලෙස ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ කීවේය. එහෙම කියපු රාජිතට දැන් ඒ ලිපිනයට යෑමට වරම් හිමි විය. එහෙත් එතැනට යාමට බයේ රාජිත දැන් කොරවී සිටී. දෛවයේ සරදම කියන්නේ මෙන්න මේවාටය.

(මංජුල බටුගෙදර)

Rate this item
(2 votes)
Last modified on Tuesday, 31 December 2019 09:58