April 24, 2024

අලි සීනු රෙදි උනා ගත් ස්විස් නාටකය

December 16, 2019

දේශපාලනයේ දී සියතින්ම රෙදි ගලවා නිරුවත් වීම ඉතා භයානකය. ඒ ආයෙත් එම ගැලවූ රෙදි පිළිවෙළකට ඇන්දවීම ලෙහෙසි පහසු නොවන නිසාය. මැතිවරණයක් ආසන්නයේ විහින් රෙදි ගලවා ගැනීම වඩාත් භයානක ය. සුප්‍රකට ස්විස් තානාපති නාටකය හමුවේ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද දැන් සිය කැමැත්තෙන්ම මහජනයා ඉදිරියේ නිරුවත් වී හමාරය. එහි ප්‍රතිඵලය එළඹෙන මහ මැතිවරණයේදී එම පක්ෂවලට දැක බලා ගැනීමට පිළිවන.

සුප්‍රකට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව පැහැරගැනීමේ නාටකය දැන් අවසන් අදියරට පැමිණ තිබේ. බොහෝ දුරට එය අවසන් වීමට නියමිතව ඇත්තේ ශ්‍රියාලතා පෙරේරා එනම් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සිරගත වීමෙනි. එසේත් නැත්නම් ශ්‍රියාලතා ට මානසික ලෙඩක් ඇති බව වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී අංගොඩ මානසික රෝහලෙනි.

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සැබෑ නම ශ්‍රියාලතා පෙරේරාය. ඇය කැලණියේ ගම්කාරියක වන අතර වෙනත් ආගමකට හැරීම හේතුවෙන් සිය නම වෙනස් කරගෙන තිබුණි. මුලින්ම ඇය ඉස්සු බවට සිද්ධිය වාර්තාවීමත් සමඟ මෙරට බාල මහලු තරුණ බොහෝ දෙනකු කල්පනා කළේ සිද්ධිය සිදුව තිබෙන්නේ ස්විස් තානාපති කාර්යාලයේ බැවින් ගමේ භාෂාවෙන් කියනවානම් අදාළ කාන්තාව නියම භාණ්ඩයක් කියාය. ඊටත් පසු ඇගේ නම ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යයි හෙළිදරව් වීමත් සමග එය තවදුරටත් තහවුරු විය. එහෙත් ඇයගේ ඡායාරූපයක් ප්‍රථම වරට දැකීමෙන් පසු හුදී ජනයාගේ බලාපොරොත්තු සුන් වී ගියේ ලබ්බට හෙන ගැසුවා සේ ය. තරුණ කොල්ලන්ගේ බාසාවෙන් කියනවනම් ශ්‍රියාලතා උස්සන්න තරම් භාණ්ඩයක්ද කියාය.

ශ්‍රියාලතා ඉස්සු බව ආරංචි වූ විට මුලින්ම කට ඇරියේ කිඹුලු කතාවක් හා සුදු වෑන් කතාවක් ජනාධිපතිවරණයට පෙර රඟ දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ දොස්තර රාජිත ය. මේ වන විට සුදු වෑන් කතාවේ ප්‍රධාන නළුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවේය. ශ්‍රියාලතා ගේ කටට පිස්තෝලය එබුවා යැයි රාජිත කිව්වේ දැක්කා වගේය. දොස්තර රාජිතට පසු මේ සිද්ධිය ගැන කට ඇරියේ ජනාධිපතිවරණය පුරාවටම විහිලු කතා කියා ජනප්‍රසාදය දිනාගත් සජිත් ප්‍රේමදාසය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඇති වූ වේදනාව මත කැලෑ වැදී සිටි සජිත් ශ්‍රියාලතාගේ සිද්ධියෙන් ප්‍රාණවත් වී එළියට බැස්සේය. එසේ පැමිණි ඔහු මේ සිද්ධිය පිළිබඳව නව ආණ්ඩුවට චෝදනා නගමින් ජාත්‍යන්තරය තුළ රට හුදකලා නොකර වහා වහා පියවර ගන්නා ලෙස උපදෙස් ද ආණ්ඩුවට දුනි. ඉන්පසු කට ඇරියේ සජිත් පරාජය කරන්න කටයුතු කළ මංගලය . ඔහු කියන්නේ මෙම ප්‍රශ්නය මත රට ජාත්‍යන්තරව හුදකලාවන බවය.

මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ අයගේ කට ඇරිමට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ ද කටවල් ඇරීම සිදු විය. එහි මූලිකත්වය ගත්තේ ද රාජිත මෙන් දොස්තර කෙනෙකි. ඒ නලින්ද ජයතිස්සය. ඔහු කිව්වේ වහ වහා මේ සිද්ධිය ගැන තොරතුරු රටට හෙළි කරන ලෙසය. ඉන්පසු කරළියට පැමිණියේ උපුල් කුමාරප්පෙරුම නම් චරිතයකි. පහුගිය යහපාලන ආණ්ඩු සමයේ රණවිරුවන්ට එරෙහිව නඩු ගොනු කිරීමට මුල් වූ පුද්ගලයා ඔහුය. කුමාරප්පෙරුම දැන් ශ්‍රියාලතාගේ නීතිඥවරයාය. ඔහුගේ පැටිකිරිය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කලකට පෙර සමාජගත කර තිබුණි. මංගලගේ ගෝලයෙකු වන මොහු අනුර කුමාරගේ ද ගෝලයෙකි. මෙම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීමේ කුමන්ත්‍රණයේ ප්‍රමුඛයකු බවටද සෝමවංශ අමරසිංහ විසින් හෙළිදරව් කර තිබුණි.

මේ සියලු විවේචන හමුවේ නව ආණ්ඩුව ඉතා ඉවසිලිවන්තව මෙම ප්‍රශ්නයට මුහුණ දෙන ලදී. මේ වන විට ඇත්ත හෙළි වී හමාරය. ශ්‍රියාලතාගේ සිද්ධිය ගැන මුලින්ම පැමිණිලි කළ ශ්‍රී ලංකාවේ ස්විස් තානාපතිවරයා මේ වන විට එරටට කැඳවා තිබේ. ඒ රාජ්‍ය තාන්ත්‍රිකයකු නොකළ යුතු කූට කුමන්ත්‍රණයකට සහාය දීමේ හේතුවට ය.

ශ්‍රියාලතා එක වෙලාවකට කියන්නේ තමන්ව නොවැම්බර් එකොළොස් වැනිදා ඉස්සු බවය. තවත් වෙලාවකට කියන්නට විසි පස්වෙනිදා ඉස්සු බවය. නොවැම්බර් එකොළොස් වැනිදා මෙම සිද්ධිය සිදු වූයේ නම් ඒ අවස්ථාවේ බලයේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවය. ටික දිනක් යද්දී මේ සිද්ධිය ලිංගික අපචාර සිද්ධියකට පරිවර්තනය විය. එය දැන් සුහඳ ප්‍රශ්න කිරීමක් බවට පෙරළී තිබේ. එහෙත් ඇය කියන ඒ කිසිම කරුණක් සිදුව නැති බව ඇගේ කට උත්තර හා සීසීටීවී දර්ශන හරහා පොලිසිය කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ශ්‍රියාලතාගේ මාමණ්ඩිය කැලණිය හිටපු එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙවන් පෙරේරාය. දැන් ඔහු කියන්නේ තමා එහෙම කෙනෙක් දන්නේ නැති බවය. කවුරු කලත් මේක වැඩේ මෝඩ වැඩක් බවය. ඔහුගේ පුතා මංජුල පෙරේරා ශ්‍රියාලතාගේ ප්‍රකාශකයෙකු ලෙස වරක් ඉදිරිපත් වී දැන් එම ධුරයෙන්ද ස්වකැමැත්තෙන්ම ඉවත් වී තිබේ. බොරුව එළිවෙන කොට ඔහොම තමාය.

ශ්‍රියාලතා නාට්‍යය පටන් ගත් විගස ස්විස්  තානාපතිවරයා  ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ වහාම ඇයව ස්විස්ටර්ලන්තයට ගෙන යෑමට ආණ්ඩුවේ අවසර ලබාදෙන ලෙසය. ආණ්ඩුව කළේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇය රටින් පිටවීම වැලැක්වීමය. ස්විස් තානාපති හිර වුණේ එතනය. ඔහු හිතුවේ තවමත් තිබෙන්නේ සිරිසේන - වික්‍රමසිංහ රජය කියාය. එම ආණ්ඩුව සමයේ මෙවැනි ඉල්ලීමක් ස්විස් තානාපතිවරයාගෙන් පැමිණියේ නම් මේ දෙපළ වහා වහා අපේ වියදමින් අපේ ගුවන් යානයකින් ශ්‍රියාලතාව ස්විස්ටර්ලන්තයට යවනු නියතය. ඒ ආණ්ඩුව හා මේ ආණ්ඩුව අතර ඇති වෙනස එයයි.

රෙද්ද උස්සා බලා ඇතුලේ තියෙන දේ කියනවාටද වඩා මතුපිටින් බලා රෙද්ද ඇතුලේ තිබෙන දේ කීම අපේ ජාතික පුරුද්දකි. එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට දැන් සිදුව තිබෙන්නේ රෙද්ද උස්සා නොබලා මතුපිටින් බලා ඇතුලෙ තියෙන දේ කීමට ගොස් තමන්ගේ ද රෙදී ගලවා ගැනීමයි. හුදී ජනයා ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීමෙන් එක්සත් ජාතික පක්ෂය කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණයේ දී ලැබිච්ච සියට තුනද නැතිවන බවය.

මෙම සිද්ධියේදී සබුද්ධික ජනතාව කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකට ය. ජනතාව මෙම සිද්ධියෙන් කුලප්පු නොවීය. ඉවසිලිවන්තව සිදුවන්නේ කුමක්දැයි බලා සිටියේය. සිද්ධිය බොරුවක් බව දැන් ඔප්පු වී හමාරය. ඊට හේතු වූ කරුණු කුමක්දැයි එළිදරව් වන තුරු ජනතාව දැන් බලා සිටි. ඒ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මෙන් රෙද්ද උස්සා ඇතුලේ තියෙන්නේ මොකක් දැයි බැලීමට තරම් ජනතාව අසීලාචාර නොවන නිසාය.

(මංජුල බටුගෙදර)

Rate this item
(3 votes)
Last modified on Tuesday, 17 December 2019 09:25