March 28, 2024

එජාපයේ බෞද්ධ පදනම නැති කළේ කවුද? මේ මමනේ

December 05, 2019

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැන් දැන් ඒ කියන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ කියන්නේ අමුතු කතාය. මේ කතා අහද්දි රනිල්ගේ මීටර් දැන් අවුට් ද කියා සිතෙන තරම්ය.

මම භාරගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද ටික පමණක් කියා මුලින්ම කීවේය. මේක අහපු පක්ෂයේ අයට යකා නැග්ගේය. පක්ෂ නායකයෙකු මැතිවරණයකදී රටේ කොටසක් පමණක් බලා ගැනීමට බාර ගත්තා කියන්නේ ඒ නායකයාගේ තියෙන දුර්වලකම නිසාය.එසේ කියන්නේ සමස්ත පරාජයේ වගකීමෙන් මිදීමේ අවශ්‍යතාවය නිසාය.

ඊළඟට ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන කරුණට පදනම වන්නේ ද ඔහු ඔය ආකාරයට කියපු තවත් කතාවකි. රනිල් මේ මෑතකදී තවත් මේ ආකාරයෙන්ම අපූරු කතාවක් කීවේය. ඒ පක්ෂයේ සිංහල බෞද්ධ පදනම ගිලිහි ඇති බවයි. ඒ ගැන සොයා බැලිය යුතු බවයි.

රනිල් තමන් බලා ගත්තා කියන උතුරු නැගෙනහිර අති බහුතරය දෙමළ හා මුස්ලිම් ජනතාවය. එජාප නායකයා මේ සුළු ජාතීන්ගේ ඡන්ද බලාගන්නේ නම් රටේ අන් පළාත් හතේ බහුතරය වන මහජාතියේ එනම් සිංහල ජාතියේ ඡන්ද බලා ගැනීමට ප්‍රතිවාදියකුට අවස්ථාව උදාවනු ඇත. එය ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරණයේ දී සිදුවිය. මහජාතියේ ඡන්ද ගෙඩිය පිටින්ම ගෝඨාභය රාජපක්ෂට හිමිවිය. එය සිංහල බෞද්ධය කියනවාට වඩා සිංහල ඡන්ද යැයි කීම නිවැරදිය. මන්ද කතෝලික ඡන්දද ගොඩ පිටින්ම ගෝඨාභය රාජපක්ෂට හිමිවීම නිසාය. ඒ අනුව රනිල්ගේ සොයා බැලීම වන එජාපයට සිංහල බෞද්ධ ඡන්ද නැති වූයේ ඇයි ද යන්න එජාපයට සිංහල ඡන්ද නැති වූයේ ඇයි ද සංශෝධනය විය යුතුය.

මෙවර ජනාධිපතිවරණයේදී දල වශයෙන් සිංහල ඡන්ද ප්‍රමාණය ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයෙන් 78%ක් පමණ විය. ඊට සිංහල බෞද්ධ ඡන්ද 70%ක්  පමණත් කතෝලික ඡන්ද 8% ක් පමණක් ඇතුළත් වේ. මෙම සිංහල ඡන්ද සංඛ්‍යාවෙන් 67%ක් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂට හිමිවිය. ඉතිරි තුනෙන් එක ප්‍රමාණය සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා අන් අපේක්ෂකයන් අතර බෙදී ගියේය. ඒ අනුව බලද්දි සජිත් ප්‍රේමදාසට 28%ත් 30%ත් අතර සිංහල ඡන්ද ප්‍රමාණයක් ලැබුණු බව පෙනෙන්නට තිබේ.

රනිල් බලාගත්ත උතුරු-නැගෙනහිර සුළු ජාතික ඡන්ද වලින් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාසට ලැබිණි. එනම් පහෙන් හතරකටත් වඩා වැඩි ප්‍රමාණයකි. එය එසේ වන බව දකුණේ සිංහල ජනතාව දැන සිටියේය. එම දැනුවත්භාවය ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ ඡන්ද බවට පෙරළිණි.

මීට වසරකට පමණ පෙර එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක ද පක්ෂයේ සිංහල බෞද්ධ පදනම පිරිහී ඇති බව ප්‍රසිද්ධියේම කීවේය. ඊට පිළියම් සෙවිය යුතු බව ද කීවේය. ඔහු එය කිහිප වතාවක් ප්‍රකාශ කළද සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ වගකිව යුතු කිසිවෙක් එය තැකීමකට ලක් නොකළේ ය. ඔවුන් කොහොමත් සිතුවේ  එක්සත් ජාතික පක්ෂයට තිබෙන සිංහල ඡන්ද ටිකෙන් හා සුළු ජාතික ඡන්ද බහුතරයෙන් ගොඩ යා හැකි බවය.

එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු නොවූ දෙයක් ද සිදු විය. ඒ 8%ක් පමණ වන සිංහල කතෝලික ඡන්දවල හැසිරීමය. විශේෂයෙන්ම ගම්පහ සහ පුත්තලම දිස්ත්රික්කවල බහුලව ජීවත්වන කතෝලිකයන්ගේ 6% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මීට පෙර ලැබුණේ එක්සත් ජාතික පක්ෂයටය. එහෙත් අප්‍රේල් 21 ඉරු දින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඊට එවකට පැවති එක්සත් ජාතික පෙරමුණු රජය වගකිව යුතු බවට කතෝලිකයන් තුළ ඇතිවූ මතය මත ඔවුන් රාජපක්ෂ කඳවුරට නැඹුරු වූයේ ඉදිරියේදී තම ආරක්ෂාව සුරක්ෂිත කරගැනීමේ විශ්වාසය මතය.

එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවීම සොයා බැලීමට රනිල් කොමිටි දැමිය යුතු නැත. ඔහු කළ යුත්තේ කන්නාඩියක් ඉදිරියට ගොස් බැලීමය. එවිට එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැති කරනු ලැබුවේ අන් කවුරුත් නොව තමන්ම බව ඔහුට වැටෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ මීට හරියටම වසර විසිපහකට පමණ පෙර එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගනු ලැබුවේ හොඳ සිංහල බෞද්ධයකු මෙන්ම අහිංසක ගැමියකු වූ ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපතිවරයාගෙනි. ඔහු රෙද්ද බැනියම අඳි ගමේකමසිය ජිවන රටාවෙන්ම පෙන්නුම් කල පොළොවේ පයගසා ජීවත් වූ මිනිසෙකි. එදා පටන් ගෙවුණු වසර 25 තුළ රනිල් කළේ සිංහලයින් අමතක කොට සුළු ජාතිකයින් වන්දනාමාන කිරීමය. හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකට ද රනිල්ගේ සිංහල විරෝධී ලෙඩේ වැල දී තිබුණේය. ඇයද සිංහලයින්ට රිදවීමට නොයෙක් දේ කලේය. එහෙත් ඇය සීමාව ඉක්ම වූයේ නැත. එසේ වුවද චන්ද්‍රිකාගේ මෙම ක්‍රියාකලාපය මත එදා රනිල්ට යම් ප්‍රමාණයක සිංහල ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව තිබිණි. එහෙත් චන්ද්‍රිකා ගෙන් පසු බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ඉතා පැහැදිලිව ම සිංහල බෞද්ධ ඡන්ද පදනම මත පිහිටා කටයුතු කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම බිද වැටෙන්නට විය. ඊට ප්‍රතිචාරයක් දැක්වීමට සුළු ජාතිකයින් මත යැපෙන රනිල්ට හැකියාවක් නොතිබිණි.

2015 බලයට පත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සිය ධූර කාලය තුළ කටයුතු කළේ සම්පූර්ණයෙන්ම සිංහල අභිලාෂයන්ට එරෙහිවය. උතුරු නැගෙනහිරට ෆෙඩරල් හා සමාන බලයක් ලබා දීමට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ නොගත් උත්සාහයක් නැත. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී ද ඒ පිළිබඳව ප්‍රකාශයට පත්විය. එමෙන්ම පැවති රජය අන්තවාදී බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානයේ සහය මත දෙවතාවක්ම තමන්ට එරෙහිව ආ විශ්වාසභංග යෝජනා දෙකකින් ගොඩවිය. ඉන් එකක් රනිල්ට එරෙහිවය. පසුගිය ජනාධිපතිවරණයේදී දුවන අශ්වයා සජිත් වුවද අශ්වයා පදවන ජොකියා රනිල් බව මේ රටේ සිංහල ජනතාව දැනගෙන සිටියේය. සජිත් දින්නොත් අනිවාර්යයෙන්ම රනිල්ගේ බලපෑම් මත උතුරු නැගෙනහිර එකට එක්කොට ඊට උපරිම බලය බෙදීමක් ලබා දෙන බව මේ රටේ සිංහල ජනතාව ඉවෙන් මෙන් දැනගෙන සිටියේය.

තව මාස තුනකින් පමණ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ඊට රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබා දුන්හොත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම තවත් පිරිහෙනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂිකයාගේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මහජන නියෝජිතයා දක්වා ඒ බව හොඳාකාරව ම අවබෝධ කරගෙන තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවීමට පරහට සිටින්නේ තමන් බව රනිල් වික්‍රමසිංහට අවබෝධ නොවීම හෝ උවමනාවෙන්ම අවබෝධ කර නොගැනීම පාක්ෂිකයන්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ ද කරුමයකි.

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Thursday, 05 December 2019 11:00