March 29, 2024

සේනානායක පරම්පරාවේ හෙනහුරා

සේනානායකවරුන්ට පක්ෂ භේදයකින් තොරව මේ රටේ ජනතාව ගරු කරන්නේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායකයන් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති වූ නිසාය. ඒ 1948 එනම් මිට වසර 71කට පෙරදීය. අදටත් ජාතියේ පියා ලෙස සැලකෙන්නේ ඔහුය. ගල්ඔය, පදවි ශ්‍රීපුර ජනපද ඇති කර උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වල සිංහලයන් පදිංචි කරවන ලදී. එසේ පදිංචි වූ අයගේ හතරවෙනි පරම්පරාව අද ඒ ගම්මාන වල ජිවත් වන්නේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායකයට පින් දෙමිනි. 

ඔහුගෙන් පසු සේනානායක උරුමය ඉදිරියට ගෙන ගියේ ඩඩ්ලි සේනානායකය. ඩඩ්ලි ඉතා අවංක නිහතමානී මිනිසෙකි. හතර වතාවක් මේ රටේ අගමැති වූ ඔහු මිය යන විට බැංකු ගිණුමේ තිබුණේ සොච්චමකි. එදා මෙදා තොර මෙරට දේශපාලනයේ සිටි අවංකම දේශපාලඥයා ඩඩ්ලිය. 

ඩඩ්ලිගේ අභාවෙන් පසු හිස් වූ දැදිගම අසුනට සේනානායක පරපුරේ තුන්වෙනි පරම්පරාවට අයත් අයෙක් ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ලදී. ඒ රුක්මන් සේනානායකය. 1973 යාන්තම් වයස අවුරුදු 27දී දැදිගම මන්ත්‍රී වූ ඔහුට තමන් සේනානායක වරයෙක් වීමේ අභිමානය මත එදා එජාප නායක ජේ.ආර්.ජයවර්ධනට අභියෝග කරන්නට ගොස් 1989 වන තෙක්ම දේශපාලනය තුළ නිහඩව සිටින්නට සිදු විය. ඔහුව යළිත් කරළියට ගෙනාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිය. 1994 දී පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් යළිත් පාර්ලිමේන්තුවට තේරී පත් වී කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම එජාප සභාපති ධූරයටද ඔහු පත් විය. වත්මන් නායක රනිල් වික්‍රමසිංහගේ මූණටම පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස කිවේ රුක්මන්ය. ඒ රුක්මන්ට සේනානායකවරයෙක් වීම නිසා හොඳ කොන්දක් තිබීම නිසාය. 

සේනානායක පරම්පරාවේ හතරවෙනි පරපුරේ නියෝජිතයා වසන්ත සේනානායකය. එනම් මහාමාන්‍ය ඩී.එස්.සේනානායකගේ මී මුනුබුරාය. අද අපගේ ලිපිය දිගහැරන්නේ මේ මී මුණුබුරාගේ කතාන්දරය ගැන කියන්නටය. 

තවමත් 46 වන වියේ පසුවන වසන්තට එක තැනක වැඩි කලක් සිටිය නොහැකි අමුතුම රෝගයක් තිබේ. 2000 දශකයේ මැද භාගයේ එජාපයට සම්බන්ධ වී කටයුතු කරමින් සිටින අතරතුර රනිල් එක්ක මේක කරන්න බැහැ කියා රනිල්ටත් බැණ වැදී මහින්ද රාජපක්ෂ ගාවටව ගියේය.  2010 මහ මැතිවරණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජනිසයෙන් තරග කොට 12 දෙනෙක් තේරෙන විට මනාප 51,124ක් අරගෙන 10 වෙනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. 

2015 ජනාධිපතිවරණය ලං වන විට වසන්තගේ එක තැන ඉන්න බැරි පරණ ලෙඩේ යළිත් ඉස්මතු විය. මහින්ද රාජපක්ෂට හා ඔහුගේ ආණ්ඩුවටත් බැණ වැදී ඒ ආණ්ඩුවෙන් එළියට ආ පළවෙනියා ලෙස තමාවම හඳුන්වා ගනිමින් යළිත් එක්සත් ජාතික පක්ෂයට එකතු වී එදා බැනපු රනිල්ගේ හොඳ මෙදා කියන්නට විය. ඉන්පසු 2015 අගෝස්තු 17 මැතිවරණයෙන් සේනානායකවරු පොළොන්නරුවට කර තිබෙන සේවයට පින්සිදු වන්නට පොළොන්නරුවෙන් මනාප 75,651 ලබාගෙන පළවෙනියා වී රාජ්‍ය අමාත්‍ය ධුරයකටද පත් විය. ඒ වයස අවුරුදු 42 දීය. ටික කලක් යන විට තමාට කැබිනට් ඇමැති ධූරයක් අවශ්‍ය බව ප්‍රකාශ කරමින් සටනක් ඇරඹුවේ ජනාධිපතිවරයා පොලොන්නරුව නියෝජනය කරන බවත් ඔහු පොළොන්නරුවට අති විශාල වැඩ කොටසක් කරන බවත් දැනගෙනය. 

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිදු වූ ආණ්ඩු පෙරලියේදී ලහි ලහියේම රාජපක්ෂවරු ගාවට පැමිණ කැබිනට් ඇමති වීමේ රෝගය සුව කර ගත්තේය. ඒත් ඒ දින දෙක තුනකට පමණි. සජිත් ප්‍රේමදාසගේ කීමට ඇමතිකමෙන් ඉවත් වී යළිත් එජාපයට එකතු විය. ආයෙත් ඇමැතිකමේ වැඩ භාරගෙන කැබිනට් රැස්වීම් වලටද ගියේය. උසාවි නියෝගයකින් මෙම ආණ්ඩුව තහනම් වන විට යලිත් එක්සත් ජාතික පක්ෂයට ගොස් රාජ්‍ය ඇමතිකමක් භාර ගත්තේය. පහුගිය කාලය පුරාවටම ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කළ යුතු බව කියමින් රනිල්ට බනින්නට ගොස් පාක්ෂිකයන්ගෙන් බැනුම් ද ඇසුවේය. සජිත් අපේක්ෂයා කළ යුතු බව කී මුල්ම කීපදෙනා අතර වසන්ත ද විය. 

තමන් බලාපොරොත්තු වූ විදියටම සජිත්ට අපේක්ෂකත්වය ලැබුණද දැන් වසන්ත රාජපක්ෂ කඳවුරට යළිත් පැනීමට මඟ හොයමින් සිටියි. ඒ සඳහා වූ එජාප මහ ලේකම් අකිලට ලියුමක් ලියන ලදී. එය තනිකරම විකාර ලියුමකි. රනිල් ආයේ අගමැතිද , රවීට ආයේ ඇමතිකමක් දෙනවද, රිෂාඩ්ට ඇමතිකමක් දෙනවද, වැනි ප්‍රශ්න ඊට ඇතුළත්ය. ඒ ඇරුණු කොට සජිත් ගේන්න උනන්දු වූ අය පසෙකට තල්ලු වී ඔහුට විරුද්ධ වුණ අය ඉදිරියට පැමිණ තිබෙන බවට චෝදනා නගමින් පක්ෂයේ වයෝවෘධයන්ට යළිත් ඇමැතිකම් දෙනවා දැයි ප්‍රශ්න කර තිබිණි. තමන්ගේ ලිපියට සතුටු විය හැකි පිළිතුරක් නොලැබුනොත් දේශපාලනයෙන් සමු ගන්න බව වසන්ත කියයි. 

වසන්ත මේ ලියුම් ලියන්නට පෙර රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකුද හමු විය. තමන් මෙන්ම ඔය පැත්තට මේ පැත්තෙන් එන්න කැමත්තෙන් සිටින පිරිසක්ද ඉන්න බව කිවේය. විජයදාස රාජපක්ෂ, රතන හිමි දැනටමත් පැන හමාරය. ඒකට අමාරුවක් නැති අයට තමුන් පයින එක ගැන ඇති අමාරුව කුමක් දැයි වසන්තට අසන්නට පුළුවන. විජයදාසට හෝ රතන හිමිට රකින්නට දේශපාලන පරපුරක් නැත. ඉදිරියට ගෙන යන්නට දේශපාලන පරම්පරාවක්ද නැත. එහෙත් වසන්ත සේනානායක නියෝජනය කරන්නේ අභිමානවත් සේනානායක පරම්පරාවය. ඒ නිසා ඔහු තීන්දු ගත යුත්තේ සේනානායක වරයෙක් හැටියටය. ඒක ඔහුට නොතේරීම සේනානායක පරම්පරාවේ කරුමයකි. ඇත්තෙන්ම වසන්ත සේනානායක යනු සේනානායක පරපුරේ හෙනහුරාය.

(මංජුල බටුගෙදර) 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 29 October 2019 12:36