November 21, 2019

හූව ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි

"හූව" ශ්‍රී ලාංකික අපේ ජන ජීවිතය හා බැඳුනු අංගයකි. පැරැන්නන් දුර සිටින කෙනෙකුට තමන් ඉන්න ඉසව්ව දැනුම් දීමට භාවිතා කළ සංඥා ක්‍රමය හූවය. වර්තමානයේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංග වලදී සංගීත කණ්ඩායම් මෙන්ම ගායක ගායිකාවන්ද ප්‍රේක්ෂකයන් අමතා "මල්ලි දෙමුකෝ හොඳ හූවක්." කියන්නේ හූව ශ්‍රී ලාංකික අපේ ඇඟේ තියෙන බව දන්නා නිසාය. 

මෙවන් වටිනාකමක් ඇති හූව අද දේශපාලඥයින්ට ප්‍රශ්නයක් වී තිබේ. සැබෑවටම එය ප්‍රශ්නයක් නොවිය යුත්තේද දේශපාලඥයින්ටය. අත්පුඩිය මෙන්ම හූවද ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි.  අත්පුඩියෙන් සතුට පළ කරන්නා සේම හූවෙන් අප්‍රසාදය පළ කෙරේ. දේශපාලඥයින්ට හොඳ මෙන්ම නරක ද ගුණ මෙන්ම අගුණද එක සේ දරාගැනීමේ හැකියාව තිබිය යුතුය. 

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ හා සන්ධානගත වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ට දැන් මේ හූව උගතෝකෝටික ප්‍රශ්නයක් වී තිබේ. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි හා සිටින අයට ජනතාව හූ කියන නිසාය. 2015 අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එජනිස යෙන් පත්වූ මන්ත්‍රීවරු 95 දෙනාගෙන් බහුතරයක් විපක්ෂයටද තවත් පිරිසක් ජාතික ආණ්ඩු සංකල්පය මත එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු විය. දැන් මෙම හූව එල්ල වන්නේ ආණ්ඩුවට ගිය ඒ පිරිසටය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ මංගල රැලිය පැවැත්වුණේ අනුරාධපුරයේදීය. එතැනදී 2014 නොවැම්බර් මස වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පක්ෂයෙන් එළියට බැස එජාපයට එකතු වී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට දායක වූ දුමින්ද දිසානායකගෙන් මංගල හූව ආරම්භ විය. ඉන්පසු ජෝන් සෙනවිරත්න, ටී.බී.ඒකනායක සහ තාරානාත් බස්නායකට හූ සංග්‍රහය හිමි විය. මේ තිදෙනා 2008 අප්‍රේල් 04 වැනිදා අගමැතිට එරෙහිව ගෙනා විශවාසභංගයෙන් පසු ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ වීපක්ෂයට එකතු වී වැඩ කළ එස්.බී දිසානායක ප්‍රමුඛ කණ්ඩායමේ සිටියද ඔවුන් එජාපය සමඟ හවුලේ ආණ්ඩු කිරීම පිලිබඳ අප්‍රසාදය ජනතාව තුළ තවමත් තිබෙන බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.

ඉහත සඳහන් 4 දෙනාට එල්ල වූ හූවෙන් වඩාත් කලබලයට පත් වූයේ හූවට ලක්වූ ඔවුන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායකය. මේ දෙපළම හූව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවලදී කිවේ එකම කතාවකි. ඒ ආයෙත් අපට හූ කිව්වොත් හූ කියන අයගේ අතපය කැඩෙන්න ගහනවා කියන කතාවය. ඒ සඳහා තමන් යන රැස්වීම් වල තමන්ගේ පිරිස සූදානම් කොට තිබෙන බව දයාසිරි කීවේය.

දයාසිරි ශ්‍රී ලංකා කාරයෙකු නොවේ. ඔහු ශ්‍රීලනිපයෙන් ගමේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත් වූවද ඔහුව ජාතික මට්ටමේ දේශපාලන චරිතයක් කළේ එක්සත් ජාතික පක්ෂයයි. 2001 දී එජාපයේ මහ මැතිවරණයට ඉදිරිපත් වී පැරදුනද ඉන්පසු 2004 දී 07 දෙනෙකු තේරෙන විට පස් වැන්නාටත්, ඉන්පසු 2010දී කුරුණෑගලින් පළවෙනියට ආවේ ඔහු පක්ෂයේ සුපිරි තරුව බවට පත් කරමිනි. 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ වේදිකාවේ ප්‍රධාන කථකයා වූයේද දයාසිරිය. විමලවීර ජේ.වී.පී කාරයෙකි. 2007 විමල් විරවංශලා සමඟ පක්ෂයෙන් එළියට විත් මහින්ද රාජපක්ෂට සහය දී විමල් විරවංශ පිහිටවූ බහුජන නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු විය. එතනින් ඉවත් වූ ඔහු දැන් ශ්‍රීලනිපයට එකතු වී සිටී. 

දයාසිරි හා විරකුමාර දේශපාන වශයෙන් භෞතිස්ම කළ එජාපය සහ ජවිපෙ ප්‍රචණ්ඩ හා මිනීමරු දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන පක්ෂ දෙකකි. ඒ නිසාම දයාසිරි හා විරකුමාරට දැන් ඇඟට වැදී තිබෙන්නේ මේ තමන් සිටි පක්ෂ දෙකේ ගායය. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් 1952 සැප්තැම්බර් 02 වැනි දින ශ්‍රීලනිපය හදනකොට කිව්වේ මහජන නියෝජිතයා ජනතාවගේ සේවකයා කියාය. ඒ කියන්නේ ජනතාව මේ රටේ අයිතිකාරයන් කියන එකය. දැන් දයාසිරි හා වීරකුමාර සැරසෙන්නේ බණ්ඩාරනායක උන්නැහේ කියූ මේ රටේ අයිතිකාරයන්ගේ අතපය කැඩෙන්නට නෙලන්නටය. එහෙත් නෙළන්නට යන අයට ඉල්ලගෙන කන්න වෙන බව නම් පැහැදිළිය. යහපාලනයට මුක්කු ගැසූ අයට හූ කියන්නේ අන් කවුරුත් නොව පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ය. ඔවුන් පිටුපස සිටින්නේ ඒ ඒ දිස්ත්‍රික්ක වල පොදුජන පෙරමුණේ ප්‍රබලයන් බව රහසක් නොවේ. මේ නිසා දයාසිරිට හා වීරකුමාරට කියන්නේ පුළුවන් නම් හූවට අතින් පයින් පිළිතුරු දී බලන ලෙසය. 

අත්පුඩිය ගසන්නේ අතින්ය. හූ කියන්නේ කටින්ය. මේ අංග දෙකම මිනිස් සිරුරේ තියෙන දේවල්ය. ඒ දෙකෙන්ම කරන ඉහත ක්‍රියා ප්‍රචණ්ඩකාරී ඒවා නොවේ. අත්පුඩිය ඇගේ වදින්නේ නැත. හූව ද ඇගේ වදින්නේ නැත. ඇගේ නොවදින අප්පුඩියට කැමති අය හූවට අකමැති වීමේ හේතුවක්ද නැත. මුලින්ම හූවට ලක්වූ දුමින්ද දිසානායක වයසින් ලාබාල වූවද පරිණත දේශපාලන ලක්ෂණ පෙන්නුම් කරමින් තමන්ට එල්ල වූ හූව ගැන තවමත් වචනයක්වත් කියා නැත. ඒ දුමින්ද සැබෑ ශ්‍රී ලංකා කාරයෙකු වන නිසාය. 

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 October 2019 15:03