March 29, 2024

තම්මිට වුණ දේ

කෝට්ටේ නුවර බටහිර ජාතියක් පාලනය කල ලක් දිව මුල්ම නුවරය. මේ නුවර තතු විස්තර හොයන්න එ හන්දම පෘතුග්‍රිසින් සරණ යන්නටම වෙන්නේය. එහෙම ඔවුන් පසු පස යන්නටම වීම නිසා සිදු වී ඇති වැදගත් දේ කෝට්ටේ යුගය හා බැඳුනු පෘතුගාලයට නෑකමක් බැඳීමය. ඒත් පුදුමය වන්නේ එංගලන්තය පෘතුගාලය වගේම ඕලන්දය දෙස අප බලන හතුරු ඇස නිසා වටිනා ඉතිහාසයක් කල එළි කරගන්නට නොහැකි වී ඇති සැටියය. කොහොමින් හරි අටවන බුවනෙකබාහු පෘතුග්‍රීසීන් සමඟ ගණුදෙණුවකට හරි මැදින් පිවිසි සිංහළ රජුය. ඔහුගේ එක් ඥාණාන්විත තීරණයක් වුවේ, පෘතුගි්‍රීසින් සමඟ දිවි ගෙවීම යථාර්ථයක් කොට සිතීමය. ඒත් ලෝක වෙළද බලය සඳහා මුස්ලිම්වරු නසා ආසියාවට කඩා වැදී සිටි පෘතුග්‍රීසින් සැබවින්ම කෲරත්වයෙන් පිරි ජාතියකි. ඒත් ඔවූහු අතර ඇති වැදගත්ම ලකුණ ඉතිහාසකරණයට දක්වා ඇති ඇල්ම බැල්මය. මේ ඇල්ම බැල්ම හන්දා වඩා සැඟවි ගිය තතු බොහොමයක් එළි පෙහෙළි වී ඇත්තේය. තවත් අතකින් තතු ගනණාවක් එළි පෙහෙළි කර ගැනීමටද තව තවත් ගැඹුරට පෘතුගි්‍රීසීන්ව කියවා ගන්නට අපට සිදුවන්නෝය. එත් අප මැලිය. ඒ උන් පරංගි නිසාය. හතුරා හතුරා ලෙස බැහැර කිරීම එදාට අදාල වුවද අදට අදාල වේද. මන්ද ලක් අතීත කථා කලාවේ එක යුගයක ඇත්තම ඇත්ත ඇත්තේ ඔවුන් සතුවය. ඉතින් ඒ ඔවුන් සතු ඇත්තම ඇත්ත අප සතු කර නොගෙන ඇත්තම ඇත්ත ඉතිහාසය සොයාගන්න බැරිය.

 

මේ විදියට නිමිති පෑදෙන විට ඇති ගැටළුව පෘතුගාලය හා ලංකාව අතර නෑකම් නැතුව හතුරු හිතක් ඇත්තේ මන්ද යන්නය. එහෙම හතුරු හිතකින් සිතුවේ එදා වුවද අදට එහෙම හිතන්නනේ මොකටද?. මේවා දේශපාලනයට අදාල වුවද රටක ඉතිහාසය සොයා ගැනීමට මෙන්ම රටක අනාගතය සොයා ගැනීමට හතුරු වන පාරාජිකා සිතුවිලිය. මෙහෙම හිතුනේ තම්මිට බණ්ඩාරගේ ජිවිතය ගැන ඇති වුනු අනුවේදනය නිසාය. “තම්මිට බණ්ඩාර” වු කළි වීදීය බණ්ඩාරගේ සහෝදරයාය. වීදීය බණ්ඩාරත් තම්මිට බණ්ඩාරත් එක සහේ වුන් අයියා මලෝට ජාතක වු දරුවෝය. මේ දෙන්නාගේ අමුතු ජිවිතය හරි අමුතුය. තාත්තලා දෙන්නෙක්ද එක් අම්මා කෙනෙකුටද උරුම කම් කී මේ දෙන්නා ජාතික වීරයන් සේ කෝට්ටේ යුගය ප්‍රතාපවත් කර ඇත්තේය. එත් සිංහළ තතු විත්ති වලින් වීදීය බණ්ඩාර වීරයෙක් වුවද ඔහුගේ අමුතු සහෝදරයා අගු පිලට වැටි ඇති සැටි පෙනේ. වීදීය බණ්ඩාරගේද තම්මිට බණ්ඩාරගේද අමුතු ජිවිතය වගේම ජාතික ව්‍යාපාරයද අමුතුය. පෘතුග්‍රීසින් අන්ද මන්ද කළ මාරක කැරැල්ලක් ලංකාවේ නිර්මාණය කර දෙන්නේ මේ දෙන්නාය. පැරණි යුධ උපක්ක්‍රම වල අතරමංව සිටී කෝට්ටේ රාජධානියට නිසි යුධ මඟ පෙන්වු මේ දෙන්නා යුගල , යුවල තාල තැනුවේය. පුදුමය ඔවුන් දෙන්නාගේ බල තාලයේ තාල තරු ඔකකෝම සහජාත මිතුරන්වු සැටියය. එබැවින් තම්මිටගෙත් වීදීයගෙත් බල වේගය සොයුරු ප්‍රේමය මිත්‍ර ආලය හා ජාතික අරමුණ එකට එකතු කළ අමුතු ජාතික සටනකි. අන් අතකින් පුදුමය දනවන අපුරුම තැන වීදීය බණ්ඩාර අටවන බුවනෙකබාහු දු කුමරිය සමුද්‍රදේවි සරණ කර ගන්නා විටම තම්මිට බණ්ඩාර ඇගේ නැගණිය දෝව කුමරිය සරණ කරගෙන ගෙවන රසාලිප්ත රාග කථාවය. රණ කාමය ගැන ලියන ඉතිහාස කරුවන් රාග කාමය ගැන සඟවා ගෙ ඉන්න කැත පිලිවෙත කුහකය. සිංහළ ඉතිහාසයේ පිතෘ වරයා වු මහානාම මහ තෙරිඳු ඉතිහාස වංශ කථාව පටන් ගන්නේ රාග කාමයෙන්ය. ඒ සිංහත් සුසීමත් රමණ සුව වින්දනය කළ අරුම සිහින රාත්‍රීය මවා පාමින්ය. එත් පසු කාලීනව වන කැත පටු වීම නම් රාගකාමය ඉවත් කොට රණ කාමය විතරක් ඉතිහාස තතු වල ඉතුරු කිරීමය. ඒත් අලකේශ්වර

යුද්ධය කතු තුමාද පරංගි ඉතිහාස කරුවන් ද නිසා තම්මිට වීදීය දෙන්නාගේ අමුතු ආල කථාව ශේෂ වී ඇත්තේය. පෘතුග්‍රීසි අන්ද මන්ද කළ යුධ ප්‍රහාර වටයකට රට රැගෙන ආ මේ අමුතු ඉලන්දාරින් ඒ යුගයේ සමාජ කථාවකි. මන්ද වැලිගම මතුගම යාපනයේ මෙන්ම මඩකලපුව හන්තානේ මෙන්ම කූරුණෑගල මාතලේද එකවිටම සටනට කැදවන මේ දෙන්නා ඒ සඳහා භාවිතා කර ඇත්තේ ගැටවර බලවේගයකි. මේ ගැටවර බලවේග ප්‍රහාරයක් දී සැඟවී යයි. ඔවුන් ආවේ කොයි සිටදැයි කොහේ සැඟවුනාදැයි කවුරුත් නොදනි. ඒ නිසා “රොමානියෝ අලග්මේදා ජාගො” මේ ගැන ලියා තබා ඇත්තේ තම්මිටව අල්ලා වීදීය නතර කළ යුතුය. නැත්තම් වීදීය අල්ලා තම්මිටව නතර කළ යුතු බවය. එත් ඒ දෙන්නා හැර වෙන කවුරුත් ගැන ලියන්නට රොමානියෝ අපොසත් වි ඇත්තේය. එ මේ සොයුරන් දෙදෙනා හෙවත් බුවනෙකබාහුගේ ඇවැස්ස බෑනා වරු දෙන්නා තැනු අදීසී බලවේග නිසාය. ඇත්තටම තම්මිටගේ හා වීදීයගේ නැගිටීම් අටවන බුවනෙකබාහුට සතුරා සමඟ කේවල් කිරීමේ බලය තනා දුන්නේය. කොහොමින් හරි බාල සූරීය මහ සේනාධිපති නමින් කෝට්ටේ යුගයේ හදුන්වා ඇත්තේ මේ තම්මිටය. එත් තම්මිටත් බාල සූරීයත් එක් අයකු බව දැන සිටියේ අල්පයකි. පෘතුග්‍රීසින් අගත් මුලත් සොයා ගත්තේය. එ කාලේ රට හැම තැනම බොරු නායකයන් ද ඇතිවෙමින් තිබුනේය. මේ අතර සමුද්‍රදේවිය පුතෙකු බිහි කළ අතර එ වීදීය බණ්ඩාර පුත්‍ර ධර්මපාලය. ඒ අනුව ධර්මපාල වසඟයට ගෙන වීදීය බණ්ඩාර කෙලවර කිරීමද එ ඔස්සේ තම්මිට අවසන් කිරීමද උපය වී ඇත්තේය. එත් පුදුම වැඬේ සියල්ල අවුල් වන්නේ තම්මිටව පැලෑන ගල් ලෙනේ වැඩ සිටී තොටගමුවේ රාහුල මහා තෙරඳුගෙන් සමුගෙන කුරුණෑගල යාමත් සමඟය. තම්මිටව කුරුණෑගල දේවමැද්දේදී  පරංගීන්ට අත්පත් වන්නේ තොටගමුවේ මහ තෙරඳුගේ රාජ රහස්ද සමඟය. තම්මිට බණ්ඩාර ගෝවට රැගෙන යන්නේ මේ සමඟය. ඒත් එතනින් එහා සියල්ල දන්නේ පෘතුගාලයය. තම්මිට බණ්ඩාර පෘතුගාලෙට රැගෙන ගියේ තොටගමුවේ මහ තෙරිඳු සමඟම දැයි විමසිමට වටි. එත් වර්ෂ අනුමානයන් අනුව එය තේරුම් ගැනීමත් අසීරුය. එනමුත් අදත් ගෝවේ ඇති ශ්‍රී දේහය ගැන ඇති සැකය මේ සියල්ල මුල මැද අග දක්වා සේවිමට බල කර ඇත්තේය. කොහොම නමුත් තම්මිට බණ්ඩාර ගැන පෘතුගිසි තබන වාර්ථාව නම් ඔහු යලි ලංකාවට රැගෙන පැමිණි බවය. ඒ වන විට ඔහු තම්මිට බණ්ඩාර නොව “පැරන්සීස්කො බරෙන්තො” නමින් කිතුනු ආගමේ බෞතිස්ම ලැබ  සිටියේය. ඒත් කථාව වඩාත් අපුරු වන්නේ එදා ඔහු සමඟ ලංකාවට තවත් කිතුනුවකු පා තැබීමය. ඒ පීලිප් බරෙන්තු නමින් බෞතිස්ම ලැබ වුන් “කොනප්පු බණ්ඩාරය”. මෙ කොනප්පු බණ්ඩාර උඩරටට රජ කිරුල රැගෙන මහනුවර යුගය බිහි කල පළමු විමලධර්මසූරීයය. ඒත් තම්මිටට වු දේ කිසිවෙක් නොදනී. මේ ගැන හරියටම දැනගත හැක්කේ පෘතුග්‍රීසින් හරි මැදින් කියවාගෙනය.    

සුජිත් අක්කරවත්ත

Rate this item
(0 votes)