April 19, 2024

මේ කවුද? - මොනවද කරන්නේ ?

2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයේ නාම යෝජනා දීම දැන් අවසන් වී තිබේ. ඒ සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව තිබේ. මේ අය අතර ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂයන්ට අමතරව ප්‍රසිද්ධිය උදෙසා වෙනත් ප්‍රතිලාභ උදෙසා මෙන්ම වෙන වෙන පාර්ශව වල කොන්ත්‍රාත් ඉටු කරන අපේක්ෂකයන්ද වේ. මෙම ලිපියේ ඉදිරිය දිග හැරෙනුයේ එවන් කොන්ත්‍රාත් අපේක්ෂකයෙකු පිළිබඳවය.

මෙවර ජනාධිපතිවරණයට කවුරුත් බලාපොරොත්තු නොවූ අපේක්ෂකයෙකුද වේ. ඒ හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායකය. ඔහු තරග කරන්නේ ජාතික ජනතා ව්‍යාපාරය නම් වූ පක්ෂයෙනි. මෙම පක්ෂයේ හිමිකරු උපන් ගෙයි යූ.එන්.පී කාරයෙකු වන ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරාය. පාර්ලිමේන්තු මැතිවරණ කිහිපයකට එජාපයෙන් ඉදිරිපත් වූවද ඒ සෑම මැතිවරණයකින්ම පරාජය විය. එහෙත් බොහෝ කලක් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරන ලදී. 

ජාතික ජනතා ව්‍යාපාරයට මෙවර ජනාධිපතිවරණය උදෙසා යම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබිණි. මේ නිසා ඔවුන් එළිපිට නොකලත් යටින් විවිධ චරිත දමා ජනාධිපතිවරණ උණුසුමක්‌ රටේ ඇති කිරීමට උත්සාහ ගත්තේය. මේ හැම චරිතයකම පොදු ලක්ෂණයක් විය. ඒ දේශීයත්වය සහ ජාතිකත්වය ගැන කතා කරන චරිත වීමය. මෙම පක්ෂය ඔවුන්ව සමාජගත කිරීමට ද ඉතා සීරුවට කටයුතු කරණ ලදී.

එහි පැහැදිලි අරමුණ වූයේ ජාතිකත්වය සහ දේශීයත්වය මත පදනම්ව ජනාධිපතිවරණයකට එන යම් ප්‍රබල අපේක්ෂකයෙකු ඉලක්ක කර සැලකිය යුතු බලපෑමක් කිරීමය. 

මුලින් නාගානන්ද නම් හාදයෙකු කරළියට පැමිණියේය. නාම යෝජනා දිනය වන විට අතුරුදහන් වූ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලය අසළින් යළිත් මතු විය. ඉන්පසු පල්ලෙවත්ත නම් කෙනෙකු පැමිණියේය. ඊටත් පසු ආචාර්ය කොලොන්නේ නම් කෙනෙකුද කරළියට පැමිණියේය. ඊටත් පසු හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ද කරලියට ආවේය. මේ පිරිස් මෙරට පමණක් නොව විදේශයන් හිදී ද සිය ඉදිරි ජනාධිපතිවරණ ව්‍යාපාර සඳහා පදනමක් දැමීමට උත්සුක විය. අවසානයට හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක දඩිබිඩියේ කරළියට පැමිණියේය.

මහේෂ් සේනානායක ගෝඨාභය රාජපක්ෂ සමඟ ද ඉතා පැහැදිලිවම ගැටළු තිබෙන කෙනෙකි. රාජපක්ෂ පාලන සමයේදී හමුදාවෙන් ඉවත්ව විදේශගතව සිට සිරිසේන - වික්‍රමසිංහ යහපාලන රජය සමයේ යළිත් මෙරටට පැමිණ යුධ හමුදාවේ අන් ජේෂ්ඨයන්ද පසෙකට දමා හමුදපපති විය. 

මෙරට යුධ හමුදාව සතු ඔත්තු සේවාව දක්ෂතම ඔත්තු සේවාවක් සේ සැලකේ. ඒත් අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තමන් දැන ගත්තේ වෙබ් අඩවියකින් යැයි මහේෂ් සේනානායක කීවේ කිසිදු හිරිකිතයකින් හෝ ලැජ්ජාවකින් තොරවය. ඒ කියන්නේ තමන් යටතේ ඔත්තු සේවාවක් ක්‍රියාත්මක වනවා දැයි නොදන්නා කෙනෙක් පරිද්දෙනි. එහෙව් මහේෂ් සේනානායක දැන් පැමිණ සිටින්නේ තමන්ව යුධ හමුදාපති කළ යහපාලනයට කෙලෙහිගුණ සැලකීම වස් ගෝඨාභය රාජපක්ෂට වැටෙන ජන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුවක් කිරීමටය.

ඊට අවශ්‍ය මුල්‍ය සහ සංවිධාන ශක්තිය ඔහුට ලබා දෙන්නේ ඒ.ටී.අරියරත්නයේ සර්වෝදය රාජ්‍ය නොවන සංවිධානය හරහාය. සර්වෝදය නායකයා ඇමරිකානු CIA (මධ්‍යම ඔත්තු සේවාව) සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බව ප්‍රකට කරුණකි.  CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානය වෙනත් රටවල රාජ්‍ය පාලකයින් බිහිකිරීමට හෝ විනාශ කිරීමට පමණක් නොව තම රටේද රාජ්‍ය නායකයා නිර්මාණය කොට ඔහුව මෙහෙයවන ප්‍රබලතම ආයතනය වේ. ඇමරිකාවේ හිටපු ඉතා ජනප්‍රිය ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි සිය සංවිධානයේ මතයට පිටින් යෑම නිසා ඔහුව ජනාධිපති ධුරයේ සිටියදීම ඝාතනය කරනු ලැබුවේ මෙම  CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානයයි. එහෙවු  CIA (මධ්‍යම ඔත්තු සේවාව) එක සමඟ සම්බන්ධතා පවත්වන සර්වෝදය ව්‍යාපාරයට මුදල් ලැබෙන්නේ දේශෝදය ව්‍යාපාරය හරහාය. දේශෝදය සර්වෝදයට අනුබද්ධ ආයතනයකි. සාමාන්‍යයෙන් ඇමරිකාව හා අන් රටවල් ඊට වසරකට රුපියල් කෝටි 10ක් ඉක්මවූ මුදලක් ලබා දෙයි. මෙහේෂ් සේනානායකගේ ජන්ද ව්‍යාපාරය මෙහෙයවන්නේ මේ දේශෝදය ව්‍යාපාරයයි. 

එක්සත් ජාතික පක්ෂිකයෙකුගේ පක්ෂයෙන් ඇමරිකානු  CIA සංවිධානයේ සහයෝගය ලබන දේශීය රාජ්‍ය නොවන සංවිධානයක ආධාරයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහේෂ් සේනානායකගේ භූමිකාව ඉදිරි දින 40 තුළ ජන්ද දායකයන් වන ඔබට දැක බලා ගැනීමට හැකිවනු ඇත. 

(මංජුල බටුගෙදර)

 

Rate this item
(2 votes)
Last modified on Monday, 07 October 2019 13:47