April 23, 2024

හෙණ ගහනකොට එළියට දාන පරණ යකඩ

මහා ධාරාණිපාත වැස්ස එක්ක ගිනිසැරේට විදුලිකොටල හෙන ගහන වෙලාවට මොනවාද කරන්න  ඕනේ.

සමහරු කියාවි දොර ජනෙල් වහගෙන ගේ ඇතුළට වෙලා ඉන්න කියල.

ඒත් අපේ ආච්චිලා, සීයලා ඒ කාලේ කළේ හෙන පාත්වෙනකොට පරණ යකඩයක් එළියට විසිකරන එක. ඒ කියන්නේ හෙනේ අපේ ඇඟවල්වලට පාත්නොවී යකඩෙ පැත්තට ඇදිලා යනවා කියලා ලොකු විශ්වාසයක් ඒ අය ළඟ තිබුණා.

ඕක තවමත් පරණ ගෙවල්වල ඉඳහිටලා අහන්න ලැබෙනවා. ඒ උනාට දැං ඒ කතාව වෙන විදියකටත් සිද්ධ වෙන බව පේනවා.

මොකක් හෝ ප‍්‍රශ්නයක් ආවම විශේෂයෙන්ම දේශපාලන ලෝකේ විසදාගත නොහැකි ඒ වගේම අගක් නැති මුලක් නැති ප‍්‍රශ්නයක් ආවහම කරන්නේ අර හෙන ගහනකොට යකඩෙ එළියට දානවා වගේ ඒ හා සමාන කෙනෙක් එළියට විසිකරනවා.

එක්තරා විහිළු සපයන ඒ වගේම ලෝක දෙකක් පටලවා ගත්ත දේශපාලකයෙක් ඔය කථාවම කිව්වේ එයාට ඒ පක්‍ෂයේ නායකයෝ සලකන අන්දම ගැන විස්තර කරන වෙලාවේ. “මාත් හෙන ගහන වෙලාවට එළියට විසිකරන යකඩයක් වගෙයි” කියල එයා ඒ විදියටම කිව්වා.

මේ වගේ දේවල් කිහිපයක්ම මේ ළඟදි සිදුවෙලා තියෙනවා.

අර මහා බැංකු මංකොල්ලේ ගැන මහා ලොකු පරීක්‍ෂණ පවත්වන කොට පක්‍ෂයයි පක්‍ෂයේ ලොක්කොයි ආවතේවකාරයොයි බේරගන්න පරණ යකඩයක් එළියට විසි කළ හැටි කාටත් මතක ඇති.

මේ වගේ දෙයක් ජනාධිපතිවරණයකදීත් සිදුවුණා මතක ඇති. යුද්ධයක් දිනලා තිබුණ වෙලාවක ජනාධිපති කෙනෙක් තෝරන්න හැදුවම ඒකෙ ජය කාටද කියන්න අමුතුවෙන් අවශ්‍ය නෑ නේද? ඒ වෙලාවත් හරියට අකුණු ගහන මහා වැස්සක් තිබිච්ච කාලයක් වගේ තමයි.

ඒ අකුණුවලින් බේරෙන්න නොහැකි නිසා යුද්ධයටම සම්බන්ධ වෙච්ච පරණ යකඩවලින් හදපු තුවක්කු කබලක් එළියට විසි කළා. ඒකෙ ප‍්‍රතිඵලය ගැන අහන්න ඕනේ නෑනේ.

මේ අන්දමට අපේ සිංහල ආච්චි අම්මලා, සීය තාත්තලා කළා වගේ අපේ දේශපාලන නායකයොත් හෙනගහන වෙලාවට පරණ යකඩවලට සමාන කළ හැකි චරිත එළියට විසි කරනවා අර භයානක අකුණු සැර බාල කරගන්න වගේම එමඟින් වැඩක් නැති දේවල් විසිකර දැමීමත් සිදු කරගන්න පුළුවන්නේ.

මෙහෙම කියනකොට අකුණු ගහන වෙලාවට එළියට විසිකරන්න හොඳ පරණ මහාචාර්ය හා ආචාර්ය පිරිසක්ද ඉන්න බව මතක් වෙනවා. ඒ ලෝකෙටත් මේ ලෝකෙටත් වැඩක් නැති මෙලෝ රහක් නැති මේ අයත් අර වැඩක් නැති පරණ යකඩ වගේ එළියට විසිකරනවා නම් මගේ හිතේ මීට වඩා හොඳ දේශපාලන පරිසරයක් ඇතිවෙන්න පුළුවන්.

විජය ආරියරත්න විසිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 May 2018 13:42