July 14, 2020

කොටි යළි නැගිටියි 

ජාතික හෙළ උරුමයේ උරුමයේ පක්ෂ සමුළුවේදී සම්මත් කරගත් යෝජනා මාළාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) හමුවන බවත් එහිදී ජනාධිපතිවරයාගෙන් ඊට සුභවාදී ප‍්‍රතිචාරයක් නොලැබුණොත් රටේ නිහඩ බහුතරය වෙන සිංහලයින්ගේ හඩ වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම් බව බස්නාහිර පලාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසී ය.

බස්නාහිර පලාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ජාතික ඵලදායිතා සම්මානය දිනාගැනීම වෙනුවෙන් ශ‍්‍රාවස්ති මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර තිබේ.

“ඊයේ ජාතික හෙළ උරුමයේ පක්ෂ සමුළුවේදී මම සඳහන් කළා යෝජනා මාළාවක්. අපි පක්ෂ සමුළුවේදී ඒක සම්මත කරගත්තා. මේ යෝජනා මාලාව අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න. ඊයේ මම සඳහන් කළා ජනාධිපතිතුමන්ගෙන් අපිට සුභවාදී ප‍්‍රතිචාරයක් නොලැබුණොත් මේ රටේ නිහඩ බහුතරය වෙන සිංහලයින්ගේ හඩ වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි සූදානම් නැහැ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජයග‍්‍රහණය කරන්න කටයුතු කරන්න. 

අද උදේ ඉඳන්ම නිරන්තරයෙන් දුරකතන ඇමතුම් එනවා ඇයි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා ඔච්චර විරුද්ධ? එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන් නේද? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මීට කලින් ෆෙඩරල් නේද කිව්වේ? සහතික ඇත්ත. අපි 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය වුණේ කොටි ත‍්‍රස්තවාදය යුධමය ලෙස පරාජය කිරීම නෙවෙයි. කොටිත් එක්ක කතා කරලා කොටි ඉල්ලන දෙයක් දීලා ප‍්‍රශ්ණය විසදා ගැනීම. ඒකීය රාජ්‍යය සුරැකීම වෙනුවට රට ෆෙඩරල් නැත්තං සන්ධිය කරන්න  ඕනේ කියලා තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියේ තිබ්බේ. අපේ සන්ධානයේ දැවැන්ත නායකයෙක් වෙන ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන අලෙවි මවුලානා මැතිතුමා මෙතන ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙළ උරුමේ ගිවිසුම අත්සන් කරලා අපිට කිව්වේ මම මේක අත්සන් කරන්නේ මගේ පක්ෂ සාමාජිකත්වයත් අවධානමට තියලයි. ඇයි ඒ වෙනකොට පක්ෂේ නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. එතුමියගේ නිල ප‍්‍රතිපත්තිය වුණේ ෆෙඩරල් රටක්. ඉතින් එහෙම හිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා ඒක වෙනස් කරගන්න හෙළ උරුමෙට පුළුවන් වුණා නම්. ඇයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එහෙම කරන්න බැරි. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉතිහාසය පිළිබඳ එතුමාගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් තිබුණු නිසයි විශ්වාසය ගොඩනැගුනෙ. එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙත් දේශපේ‍්‍රමී නායකයින් ඉන්නවා. අපි ඒක පිළිගන්නවා. ඒ දේශපේ‍්‍රමී නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙලා තිබුණා නම් අපිට එක්සත් ජාතික පක්ෂයට සහය දීම ගැන සලකා බලන්න ඉඩ තිබුණා. අපේ යෝජනාවලිය ගැන එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡාක කරන්න ඉඩ තිබුණා නමුත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ අතීත ක‍්‍රියාකාරකම් පැත්තකින් තිබ්බත් වර්තමාන ක‍්‍රියාකාරකම් ගැනවත් අපිට සතුටු වෙන්න බැහැ. 

අපි දන්නවා එතුමා යුරෝපයට ගිහිල්ලා අද යුරෝපා රටවල් ලවා ලංකාවට ටොකු අන්නන ලංකාවට හිරිහැර කරන දෙමළ බෙදුම්වාදී නායකයන් එක්ක සාකච්ඡා කරා. තාමත් පරණ පුරුදු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අත්හැරලා නැහැ. පරණ කියමනක් තියෙනවා උණ පුරුකේ දැම්මත් බල්ලාගේ වලිගයේ ඇදය යවන්න බැහැ කියලා. සමහරවිට කියනවා ආරේ ගති නෑරේ කියලා. මේ මොන උදාහරණය එතුමට ගැලපෙනවද කියලා මම දන්නේ නැහැ. 

අද දෙමළ බෙදුම්වාදීන් එක්ක එතුමාගේ තියෙන ඇයිහොදැයිය නතර කරන්න තමන් සූදානම් නැහැයි කියලා එතුමා යළි යළිත් පෙන්වලා තියෙනවා. අඩුම ගාණෙ මේ ජනාධිපතිවරණයක් එළිපත්තේ තියාගෙන කොටි සංවිධානයේ නායකයන් එක්ක ඡායාරූප ගන්නකොට මම දන්නේ නැහැ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමත් තරග කරන්නෙත් ජනාධිපතිතුමා ජයග‍්‍රහණය කරවීම වෙනුවෙන්ද කියලා. නැත්තං දෙය්යනේ හම්බුවෙන එක හොරෙන් හම්බු වෙයන්. මේ කොටිත් එක්ක ඡායාරූප අරගෙන ඒවා මාධ්‍යවලට දීලා තිබ්බා. එතුමා හිතන්න ඇති දෙමළ ඡන්ද ගන්න පුළුවන් කියලා. හැබැයි අමතක කරන්න එපා මේ රටේ සියයට හැත්තෑ හතක් තියෙන්නේ සිංහල ඡුන්ද.

ඒ විතරක් නෙවෙයි අහිංසක දෙමළ ජනතාව සාමයට ලැදි දෙමළ ජනතාව මේ රට ආයි ලේ විලක් වෙනවාට කැමති නැහැ. ඒ ජනතාව තමයි වැඩියෙන්ම දුක් වින්දේ ඒ දවස්වල නම දෙමළ වීමම ඇති සැකයට භාජනය වෙන්න. ගෙයක් කුලියට දෙන්නේ නැහැ. රස්සාවකට ගන්නෙ නෑ. හැම තැනම සැකයෙන් බලන්නේ. සිංහල සමාජයත් එක්ක මිත‍්‍රත්වය ගොඩනගාගන්න බැහැ. ඒ සිංහල දෙමළ මිනිහා වෙන් කරලා තිබ්බ ඒ කුරිරු අප‍්‍රසන්න යුගයට එක වඩේ එක, එක කැවුම දෙකට බෙදාගෙන වසර දාස් ගණනක් හිටිය මේ ජාතීන් දෙක වෙන් කළේ කුරිරු යුද්දේ. ඒක යළි වෙනවාට මම හිතන්නේ නැහැ සාමාන්‍ය දෙමළ ජනතාව අතර කිසිම කෙනෙක් කැමති වෙයි කියලා. 

ඒ වගේම අද මේ යුරෝපා සංගමයේ අපි දැක්කා යුරෝපා අධිකරණයෙන් කොටි සංවිධානයට තිබ්බ තහනම ඉවත් කරලා තියෙනවා. යුරෝපා අධිකරණය දේශපාලනිකයි. ස්වාධින අධිකරණ ගැන අපිට බණ කියන යුරෝපීය අධිකරණය දේශපාලනිකයි. යුරෝපයේ යුරෝකේන්ද්‍රීය මතවාදය අනුව තමයි තීන්දු දෙන්නේ. අපි දැක්කා මුස්ලිම් ජනතාවගේ පර්දාව යුරෝපයේ ප‍්‍රශ්ණයක් බවට පත් වෙන්නේ අර 9/11 සිදුවීමෙන් පස්සේ 2001 සැප්තැම්බර් 11 වෙනිදා අල්කයිඩා ප‍්‍රහාරයෙන් පස්සේ තමයි මුස්ලිම් විරෝධය සමාජයේ මතුවෙනකොට තමයි යුරෝපීය අධිකරණයට පර්දාව දාගෙන ඉන්න මුස්ලිම් කාන්තාවන් ගැන සිහිපත් වෙන්නේ. 

ඒ වගේම අද ලංකාවට රිදවන්න දඩුවම් කරන්න යුරෝපෙට උවමනාවක් තියෙනවා. සමහරු මේක විදේශ ප‍්‍රතිපත්තියේ වරද කිව්වාට මම දකින්නේ වෙනත් විදිහකට 2009 අපි හැමෝම දන්නවා ලංකාවට ආවා ප‍්‍රංශයේ විදේශ ඇමැති කුෂ්නන් සහ එංගලන්තයේ විදේශ ඇමැති මිලිබෑණ්ඞ්. මේ දෙන්නා ජෝඩු දාලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා වහාම සටන් විරාමයක් ලබා දෙන්න කොටි කොටි නායකයො බේරගන්න. අපිට ඒ වෙනකොට තොරතුරු ලැබිලා තිබ්බා කොටි නායකයින්ව නැවකින් ජර්මනියට ගෙනයෑමේ සැළසුමක් තියෙනවයි කියලා. ඒ නිසා ඒ සටන් විරාමය ලබාදෙන්න අපි ප‍්‍රතික්ෂේප කළා. මිත‍්‍රවරුණි මේ ලොකයෙන් 2/3ක් බෙදාගෙන පාලනය කරපු රටවල් දෙක තමයි ප‍්‍රංශයයි බි‍්‍රතාන්‍යයයි කියන්නේ. මේ දෙකේ විදේශ ඇමැතිවරු දෙන්නා ඒකාබද්ධව රටකට යනවයි කියන්නේ සාමාන්‍ය රටවල් දහයක රාජ්‍ය නායකයො ගිය තරමට බලසම්පන්නයි. අපේ පරණ ලොක්කො තමයි ඒගොල්ලෝ. ඒගොල්ලො එහෙම ඇවිල්ලා අපෙන් කරපු ඉල්ලීමට ඉඩ දුන්නේ නැති නිසා තමයි යුරෝපය අපිත් එක්ක තරහා වෙලා ඉන්නේ. යුරෝපය අපිට රිදවන්නයි කොටි තහනම ඉවත් කරන්නේ. හැබැයි අමතක කරන්න එපා මේ තුළින් යුරෝපා සංගමයේ දෙබිඩි පිළිවෙත එළියට ඇවිල්ලා තියෙනවා.  එක පැත්තකින් ත‍්‍රස්ත විරෝධි ලෝක සංග‍්‍රාමය කියලා සිරියාවේ, ලිබියාවේ, ඉරාකේ, ඇෆ්ගනිස්ථානෙ බෝම්බ දාලා සාමාන්‍ය මිනිස්සු මරලා අපි ත‍්‍රස්තවාදයට විරුද්ධයි ත‍්‍රස්තවාදීන් එක්ක ඉන්න  ඕනේ කෙනෙකුට විරුද්ධව සටන් කරනවයි කියලා. අනික් පැත්තෙන් ලංකාවේ ඉන්න ත‍්‍රස්තවාදීන් රැුකගනිමින් ඔවුන්ට ආවරණය සපයමින් ඒ අය පෝෂණය කිරීමේ වැඩපිළිවෙළක ඉන්නවා. ඒ නිසා යුරෝපයේ ත‍්‍රස්තවාදයට විරුද්ධ වීම බොරුවක් බව යුරෝපයේ ත‍්‍රස්තවාදී විරෝධි සටන මුලාවක් බවට අද ඔවුන් විසින්ම ඔප්පු කරලා තියෙනවා. එක අනතුරක් තිබෙනවා අපි තේරුම්ගත යුතුයි. එදා ලංකාවේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය ඇති කරේ ඉන්දියාවයි. බෙදුම්වාදී විෂබීජය ඔළුවට දැම්මේ ඉන්දියාව. පුහුණුවීම් කරේ ඉන්දියාව. ආයුධ දීලා සටන් කරන්න ලංකාවට එව්වේ ඉන්දියාව. හෙට මේ දේ යුරෝපය හරහා වීමේ අවධානමක් දැන් තියෙනවා. ඒ නිසා ත‍්‍රස්තවාදය පරාජය කළායි කියලා කැවුම් කිරිබත් කමින් රතිඤ්ඤා පත්තු කරමින් සතුටින් හිටිය කාලය අමතක කරලා කොයි මොහොතේ කොතනක හෝ බෝම්බයක් පත්තුවිය හැකියි කියන අවධානමෙන්, විමර්ෂණයෙන්, සිහිකල්පනාවෙන් ඉන්න  ඕනේ කාලයක් දැන් උදා වෙලා තියෙනවා කියන දේ තමයි අපි යුරෝපීය අධිකරණ තීන්දුවෙන් තේරුම් ගන්න  ඕනේ. ඒ නිසා අපේ සැණකෙළි දැන් හමාරයි. අපේ මධුසමය දැන් ඉවරයි. නැවතත් අපි ත‍්‍රස්තවාදයත් එක්ක ගැටෙන්න  ඕනේ යුගයකට අපිව තල්ලූකරමින් පවතිනවා. අපි කොටි ත‍්‍රස්තවාදයට මුහුණ දුන්නා වගේම යුරෝපීය ත‍්‍රස්තවාදයටත් මුහුණ දෙන්න ලෑස්තියි කියන පණිවිඩය අපි මේ බලවේගවලට ලබා දිය යුතුයි කියන එක සිහිපත් කරන්න කැමතියි.“ යැයි හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)