July 14, 2020

දේශපාලන කල්ලි සමග අපට ගමනක් නැහැ 

බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරදවන විට එයට පිටුපාමින් සතුරුකම් කළ, විදේශ බලවේග මත යැපෙන දේශපාලන කල්ලි සමග තමන්ට ගමනක් නොමැති හෙයින්ද එසේම තම යෝජනා 12 පිළිබඳව සුබවාදී ප‍්‍රතිචාර ලැබී ඇති හෙයින්ද මෙවර ජනාධිපතිවරණයේදී මෙරට ජාතික බලවේග නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ නියත වශයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මුළු ශක්තිය යොදවා කටයුතු කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(19) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘කරුණු කිහිපයක් පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී අපි ඔබගේ අවධානය යොමු කරනවා. පළමුවැන්න තමයි, පසුගිය සිකුරාදා ජනාධිපතිතුමන් සහ ජාතික නිදහස් පෙරමුණ අතර පැවැති සාකච්ඡාව. ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභා මැතිවරණයට පෙරාතුව ආණ්ඩුවේ ගමනේ ඇති ඇතැම් දුබලතා නිවැරදි කර ගැනීම සඳහා සාධනීය මැදිහත්වීමක් කළ බව ඔබ දන්නවා. ඒ අරමුණින් අපි ආණ්ඩුවට යෝජනා 12ක් ඉදිරිපත් කළා. පසුව ඒ යෝජනා 12ට අදාළව ක‍්‍රියාකාරී සැලැස්මක්ද සකසනු ලැබුවා. ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා ලබා දීමට දිනයකට පෙරාතුව එකී ක‍්‍රියාකාරී සැලැස්මට ආණ්ඩුවෙන් ලිඛිත එක`ගතාවයද ලැබුණා. අපේ ක‍්‍රියාකාරී සැලැස්මට ආණ්ඩුවේ එකගතාව ලැබීමෙන් අනතුරුව එකී ක‍්‍රියාකාරී සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිහිපයක්ද පැවැත්වුණා. එම සාකච්ඡුාවලින් වැදගත්ම සාකච්ඡාව තමයි පහුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමන් සමග පැවැත්වුණේ. ඒ සාකච්ඡාවේදී අපට තවදුරටත් තහවුරු වුණා ඉහත ක‍්‍රියාකාරී සැලැස්මෙන් එකග වූ බොහෝ දේවල් ඉටු කිරීම සඳහා ආණ්ඩුව දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව.

මෙහිදී අපි දකිනවා, ඉතා වැදගත් කාරණයක්. 2005දී මේ රටට අවශ්‍ය වෙලා තිබුණු වෙනසට නායකත්වය දෙන්න පුළුවන් වුණෙත් වර්තමානයේ මේ ආණ්ඩුවත් සමග ඉන්න බලවේගවලටයි. 2010න් පසුව මේ රටේ ආර්ථික ගමනේ දැවැන්ත දියුණුවක් සඳහා අවශ්‍ය වූ පියවර ගණනාවක් ගන්න පුළුවන් වුණෙත් වර්තමාන පාලනය සමග සිටින බලවේගයන්වලටයි. ඒ වගේම මේ ගමනේ තිබෙන දුබලතා මග හරවලා, වඩා ජයග‍්‍රාහී අනාගතයක් හදනවා නම් හදන්න පුළුවන් වන්නෙත් මේ ආණ්ඩුවත් සමග සිටින බලවේගවලට බව අපි තදින් විශ්වාස කරනවා.

විරුද්ධ පක්‍ෂය බලාගෙන ඉන්නේ, ආණ්ඩුවේ කුමන හෝ අඩුපාඩුවක්, දුර්වලතාවයක් පෙන්වලා ලබා ගෙන තියෙන ජයග‍්‍රහණත් අහිමි වන දිසාවකට මේ රට ඇදගෙන යන්න. අපි ඒකට කොහෙත්ම අනුබල දෙන්න, උදව් දෙන්න සූදානම් නැහැ. ජාතික බලවේගවලට තිබෙනවා, තමන්ටම ආවේණික වූ පරමාර්ථ හා අරමුණු. මේ රටේ ඓතිහාසිකව සිදු වූ දුබලතා මකලා රට සවිමත් කරමින් පෙරට ගෙන යාමේ සිහිනයක් ජාතික බලවේගවලට තිබෙනවා. ඒ නිසා ජාතික බලවේගයන්ට බැහැ, ත‍්‍රස්තවාදය පරදවන කොට ඒකට පිටුපාලා සතුරුකම් කරපු, විදේශ බලවේග මත යැපෙන දේශපාලන කල්ලිත් එක්ක ගමනක් යන්න.

මේ සියලූ කරුණු සමග, එදා අරලිය ගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී ඇති වූ එකගතා සහ අවබෝධය මත අපි තීරණය කළා ඉදිරි ජනාධිපතිවරණයේදී නිසැක වශයෙන්ම ජනාධිපතිතුමන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ මුළු ශක්තිය යොදවලා කටයුතු කිරීමට. 2005 ජයග‍්‍රහණයෙන් රටට සාමය ගෙනාවා. 2010 ජයග‍්‍රහණයෙන් රට සංවර්ධනයකට යොමු කළා. ඒ වගේම අපේ රටේ සිදු විය යුතු ව්‍යවස්ථාමය වෙනස්කම්, ආර්ථික ගමනේ සිදු විය යුතු යහපත් වෙනස්කම්, පොදු ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කරන ආකාරයේ වෙනස්කම්, කර්මාන්තවලට ශක්තිය දෙන ආකාරයේ වෙනස්කම් සිදු කරමින්, රටේ ගමනේ අලූත් පරිච්ඡේදයක් ආරම්භ කිරීම තමයි අපි මෙවර ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් අපේක්‍ෂා කරන්නේ.

ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වන්නේ මැතිවරණ කල් දැමීමයි

‘ඉක්මන් ජනාධිපතිවරණයකට යා යුතුද? නැද්ද?’ ආදී වශයෙන් වූ දේශපාලන පක්‍ෂවල මත මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මෙතැනදී අපේ මතයත් කිව යුතුව තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වන්නේ මැතිවරණයක් කලින් තිබීම නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වන්නේ මැතිවරණ කල් දැමීමයි. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා එදා මැතිවරණ කල් දැම්මා. ‘කලගෙඩි - ලාම්පු සෙල්ලම්’ සහිත හොර ජනමතවිචාරණ තිබ්බා. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීයි. දැන් විපක්‍ෂයේ සහ ආණ්ඩු පක්‍ෂයේ සමහරු, මැතිවරණ කලින් තියෙන කොට, මැතිවරණයක් තියන්න ව්‍යවස්ථාවෙන් තිබෙන බාධාව ඉවත් වුණු වහාම මැතිවරණයක් තියන කොට ඒක ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවක් කියලා අර්ථකථනය කරනවා.

මැතිවරණ කලින් තිබීමේ කිසිදු වරදක් නැහැ. අවුරුද්දක්, දෙකක් පරණ වෙලා මහජනයාගේ මතය දැන ගන්නවාට වඩා වහාම දැන ගැනීමට ඉඩ සලසනවා නම් ඒක හොඳයි. නියමිත කාලය ඉක්මගිය පසු මහජන මතය විමසීමයි වරද. ව්‍යවස්ථාවෙහි සඳහන් ප‍්‍රතිපාදන අනුව ජනාධිපතිතුමන්ට රට ජනාධිපතිවරණයකට යොමු කරන්න ලැබෙන පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදීමට අපි එකගයි. නමුත් ඒ ජනාධිපතිවරණය, ‘ව්‍යවස්ථාමය, ආර්ථිකමය, සමාජ හා සංස්කෘතිකමය වශයෙන් මේ රට ඉල්ලා සිටින වෙනස්කම් සිදු කරනු ලබන ජනවරමක් උපදවන ජනාධිපතිවරණයක් බවට පත් කළ යුතුයි’ කියලා අපි විශ්වාස කරනවා, ජාතික නිදහස් පෙරමුණ මේ රටේ ජාතික බලවේගවල ප‍්‍රකාශකයකු හැටියට ඒ වගකීම ඉටු කිරීම සඳහා කැප වෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී රටේ ගමනේ දැවැන්ත වෙනස්කම් කිරීම සඳහා අනුබල දෙන, පණ පොවන ජනවරමක් නිර්මාණය කරන්න ජාතික නිදහස් පෙරමුණ උපරිම වශයෙන් කැපවෙනවා.

අද අපි කොළඹට කැඳවා තිබෙනවා, අපේ පක්‍ෂයේ සියලූ දිස්ත‍්‍රික් නායකයන් හා දිසා සභා සාමාජිකයන්. ඔවුන් අපි එසේ කැඳවූයේ ඉදිරි ජනාධිපතිවරණයේදී අපි ක‍්‍රියා කළ යුතු ආකාරය සාකච්ඡා කරන්න. ඒ වගේම අපි අපේ සියලූ ආසන බලමණ්ඩල කැඳවා ඒවා ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය ආකාරයට සූදානම් කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ ලෙස ප‍්‍රචාරක වැඩසටහන් වෙනම ක‍්‍රියාත්මක කිරීමටත් බලොපොරොත්තු වෙනවා.

කොටි තහනම ඉවත් කිරීමෙන් දෙනු ලබන සංඥාව

මෙහිදී අපි අවධානය යොමු කළ යුතු තවත් පැත්තක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් ගෙවී ගිය වසර 10 - 15ක කාලය තුළ තම රටවල එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කරනු ලැබුවා. එම රටවල් එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කළේ එය ත‍්‍රස්තවාදී සංවිධානයක් බව සැකයකින් තොරව දුටු නිසයි. දිනපතා මුදා හැරෙන ප‍්‍රවෘත්තිවලින් එල්. ටී. ටී. ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් බව ඒ රටවලට තහවුරු වුණු නිසයි.

නමුත් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා යුරෝපා සංගමයේ උපරිම අධිකරණය මගින් යුරෝපා සංගමයට අයත් රටවල් තුළ එල්. ටී. ටී. ඊ. තහනම ඉවත් කරනු ලැබුවා. එමගින් දෙන සංඥාව කුමක්ද? ගෝලීය ද්‍රවිඩ සංසදය නමින් එම්මානුවෙල් පියතුමාගේ නායකත්වයෙන් එල්. ටී. ටී. ඊ. ජාලයක් ලෝකය තුළ ක‍්‍රියාත්මක වෙනවා. ඒ වගේම ‘සංක‍්‍රමණික දෙමළ ඊළාම් රාජ්‍යය’ නමින් සංවිධානයක් තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන රුද්‍රකුමාරන් එය මෙහෙයවනවා. මේ අය එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට මුදල් සොයා දුන් අය, ආයුධ ජාවාරමේ යෙදුණු අය. තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් වැඩ කරන අය. යුරෝපා සංගමය කියන්නේ, රටවල් විශාල ගණනාවක් නියෝජනය වන්නක්. එහි උපරිමාධිකරණය මගින් තමයි, මෙම තීන්දුව ලැබී ඇත්තේ. එම තීන්දුව ඉහත සියලූ රටවලට බලපානවා. මේ තහනම ඉවත් කරන්න බලපෑ හේතුව කුමක්ද? එල්. ටී. ටී. ඊ. සංවිධානය දැන් ‘සිල්’ අරගෙනද? නැහැ. මෙතැන පැහැදිලිව තිබෙනවා, දේශපාලන අරමුණක්.

තවත් පැත්තකින් දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා, ‘එජාප රජයක් යටතේ 13 අකුරටම ක‍්‍රියාත්මක කර ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සලකනවා’ කියා. පසුගියදා මාධ්‍යවල මේ බව පළ වුණා. ඒ වගේම, වර්තමානයේදී සිදු වන්නේ උතුරේ ජනතාවට එක් නීතියකුත් දකුණේ ජනතාවට එක් නීතියකුත් ක‍්‍රියාත්මක වීම බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා තිබුණා. ශ‍්‍රී ලංකාවේ දකුණේ එක නීතියකුත් උතුරේ තව නීතියකුත් තිබුණේ රනිල් වික‍්‍රමසිංහගේ පාලන කාලයේදීයි. යුද ජයග‍්‍රහණයෙන් පසුව එම තත්ත්වය නැති වුණා. යුද ජයග‍්‍රහණයට පෙර කොටි අඩවියේ එක නීතියක් සහ මුදාගත් ප‍්‍රදේශවල එක නීතියක් ලෙස පැවතුණා. නමුත් අද මේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන්නේ කුමක්ද? තමන් බලයට ආවාම 13 අකුරටම ක‍්‍රියාත්මක කරනවා කියන්නේ, පොලිස් බලතල, ඉඩම් බලතල දීලා ඊළ`ගට උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා, නැවත උතුරු නැගෙනහිර පළාත් සභාව හදලා දෙන එක.

අරහෙන් යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරනවා, කියලා කියනවා. මෙහෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා 13 අකුරටම ක‍්‍රියාත්මක කරනවා, කියලා කියනවා. දෙමළ ජාතික සන්ධානයේ සිවාජිලිංගම්ලා කියනවා, තමන් සහාය දෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා දිනපුවාම උතුරේ තියෙන බුදු පිළිම ඔක්කොම ගලවලා දකුණට එවනවා, ඊට පහුවැනිදාම උතුරෙන් හමුදාව යවනවා, කියලා. මේ සියල්ලම දිහා බැලූවාම එතැන තියෙන අන්තර්සම්බන්ධය පැහැදිලියි නේද?

රනිල්ගේ ‘අන්ඩර් ද රේඩාර්’ මෙහෙයුම

‘රනිල්ට සහාය දෙන කොටි සමුළුවක් මැලේසියාවේ’ යනුවෙන් මේ හා බැඳුණු තවත් සිදුවීමක් පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කළා. අපිත් මේ පිළිබඳව සොයා බැලූවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඔවුන්ගේ පක්‍ෂ අභ්‍යන්තරයේදී කරපු ප‍්‍රකාශයකුත් මට මෙතැනදී මතක් වෙනවා. එතුමා කියලා තිබුණා, ‘අන්ඩර් ද රේඩාර්’ මෙහෙයුමක් තමන් මේ දවස්වල සිදු කරන බව. ඒ කියන්නේ, රේඩාර්වලට හසු නොවන පරාසයේ ඊට ඉහළින් හෝ පහළින් ගමන් කරමින් කටයුතු කරනවා කියලයි කියන්නේ. හරියට අර කොළඹ ආපු එල්. ටී. ටී. ඊ. ගුවන් යානය වගේ, ‘රේඩාර්වලට’ හසු නොවී ගමන් කරන බවයි මේ කියන්නේ. ඔව්.. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ‘රේඩාර්වලට’ හසු නොවෙන මෙහෙයුමක නිරත වෙලා ඉන්න බව අපිත් දන්නවා. මේ මැලේසියාවේ තිබෙන කොටි සමුළුවත්, මේ ‘අන්ඩර් ද රේඩාර්’ පන්නයේ එකක්. දැන් අපි මැලේසියාවේ කොටි සමුළුව ගැන හෙළිදරව් කළ නිසා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඒකට නොයා ඉන්නත් පුළුවන්.

හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවකු වන චාල්ස් ඥානකෝන්ගේ සහෝදරයා වන ජයන්ත ඥානකෝන් තමයි මේ සමුළුව කැඳවා ඇත්තේ. ඔවුන් මේ සමුළුවට රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ආරාධනා කොට තිබෙනවා. ඔවුන් මේ සමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය දීමට නම් ‘විය යුත්තේ කුමක්ද?’ යන්න පිළිබඳව අවසන් එකගතාවකට පැමිණීමට. දෙමළ ඩයස්පෝරාවේ අද මත දෙකක් තියෙනවා. එක මතයක් තමයි. ‘ඇති කරගන්නා එක`ගතාව හොර රහසේ ඇති කර ගනිමු. ප‍්‍රසිද්ධියේ එකගතාවකට ආවොත් රනිල්ට සිංහල ඡුන්ද නැති වේවි. එතකොට එයා පරදීවි’ කියන මතය. මේ මතයේ, මේ සමුළුවට සහභාගී වන එක කොටි කණ්ඩායමක් ඉන්නවා. ‘එහෙම බැහැ. හොරෙන් ඇතිකරගත් එකගතාවන් කවදාවත් ඉටු වුණේ නැහැ. ඒ නිසා එළිපිට එකගතාවකට එන්න  ඕනෙ. දින 10ක් ඇතුළත උතුරෙන් හමුදාව යවන්න එකග වෙන්න  ඕනෙ. 13 පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරන්න එකග වෙන්න  ඕනෙ’ කියන මතය දරන අනෙක් කණ්ඩායමත් මේ මැලේසියාවේ පැවැත්වෙන කොටි සමුළුවට එනවා. මෙවැනි මත දෙකක් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ තිබෙන නිසයි, ඔවුන් තීන්දු කළේ මැලේසියාවේදී මේ සමුළුව පවත්වලා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඒකට ගෙන්වලා ඔහු සමග එකගතාවක් ඇති කර ගන්න. අද මේ ආකාරයට ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ‘අන්ඩර් ද රේඩාර්’ මෙහෙයුමයි.

ජනාධිපතිවරණයකදී හෝ වෙනත් මැතිවරණවලදී දෙමළ ඡන්ද, මුස්ලිම් ඡුන්ද, සිංහල ඡන්ද ගන්න යැයි කියමින් මේ දිනාගත්තු ජයග‍්‍රහණ බිලි දෙන එක`ගතාවන් කවර හෝ අපේක්‍ෂකයකු හදා ගන්නවා නම්, ඉතාමත් අවදානම් සහගත පාවාදීමකට ඔහු සූදානම් බවයි ඉන් ගම්‍ය වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා, වික‍්‍රමසිංහ මහත්තයා අරගෙන යන ඒ ‘අන්ඩර් ද රේඩාර්’ මෙහෙයුම, ‘රේඩාර්වලට හසුනොවී’ ඒ කොටි සමග ඇතිකර ගනු ලබන එකගතාව, යුරෝපයේ ගිහිල්ලා ඇතිකර ගත් එකගතාව, මැලේසියාවේදී ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන නව එකගතාව යන මේවා පිළිබඳව ඔහු රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුයි කියලා.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා, ජනාධිපතිවරණයට එනවා නම් අපි එතුමාට අවධාරණය කොට කියනවා, ‘කරුණාකරලා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවාද? නැද්ද? කියා නැවත රට හමුවේ ඉතා පැහැදිලිව කියන ලෙසට. ඒ විතරක් නොවෙයි, උතුර හා නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමත් ඒකට අයිතියි. පොලිස් බලතල, ඉඩම් බලතල ලබා දීමත් එයට අයිතියි. ඒ නිසා මේ පිළිබඳව විස්තරාත්මකව ජනතාව හමුවේ ප‍්‍රකාශයක් කරන්න. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී ප‍්‍රතිපත්තිය පිළිගන්නවාද? නැද්ද? කියා කියන්න. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා, ජනාධිපතිතුමන්ට බොරුවට නිවේදන එව්වාට ‘අපි උසාවියට පොරොන්දු වෙලා තියෙනවා. වෙනම රාජ්‍යයක් ඉල්ලන්නෙ නැහැ. ඉල්ලන්නෙ සහසන්ධීය රාජ්‍යයක්’ කියලා, ඔවුන් කිසිසේත්ම බෙදුම්වාදී ප‍්‍රතිපත්තිය අතහැරලා නැහැ. ‘දෙමළ ඊළම’ ඉල්ලූවේ කොටිනේ. එදත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයේ සිටි අය ඉල්ලූවේ, ‘අපට ෆෙඩරල්, කන්ෆෙඩරේෂන්  ඕනෙ’ කියලයි. කන්ෆෙඩරේෂන් කියන්නේ තව එක පියවරකින් ‘දෙමළ ඊළම’ තමයි. ඒ නිසා මේ බොරු ‘වචන මාට්ටු’ දාන්න එපා අපට. ‘දෙමළ ඊළම’ අතහැරලා ‘කන්ෆෙඩරේෂන්’ ඉල්ලූවාම ‘දෙමළ ඊළම අතහැරියා’ වෙන්නේ නැහැ. එතැන තියෙන්නේ බෙදුම්වාදය. ඒකීය රාජ්‍යයට පටහැනිව අකුරක් හෝ සංකල්පගත කරලා ඉදිරිපත් කරනවා නම් එතැන තියෙන්නේ බෙදුම්වාදය. ජනාධිපතිතුමා පැවසුවේ, ‘බෙදුම්වාදයත් අත හරින්න  ඕනෙ. දෙමළ ඊළමත් අත හරින්න  ඕනෙ’ කියලයි. ඒ දෙමළ ජාතික සන්ධානයේ ‘නග්න බෙදුම්වාදී මතය’ තවදුරටත් පිළිගන්නවාද? ඒකට අතීතයේ වගේ අනුබල දෙනවාද? ඒ නිසා අපි මේ ප‍්‍රශ්න සියල්ලට ඉතා පැහැදිලි පිළිතුරු ඉල්ලනවා, විරුද්ධ පක්‍ෂයෙන්.

අපට තිබෙනවා අභියෝගයක් ජාතියට නව ජයග‍්‍රහණ දිනා දීමේ. ඒ වගේම තවත් අභියෝගයක් තිබෙනවා, දිනාගත් ජයග‍්‍රහණ අහිමි කිරීම සඳහා දරන ප‍්‍රයත්නය පරාජයට පත් කිරීමේ. මේ වගකීම් දෙකම අපි අතේ තිබෙනවා. නව ජයග‍්‍රහණ ජාතියට දිනා දෙන ගමන්, ලේ හලලා දිවි පුදලා මේ රටේ ගම්බද අම්මා, තාත්තාගේ දරුවෝ දිනා ගත් ජයග‍්‍රහණ රැුක දීම අපේ වගකීම.

මේ වගකීම අපි ජාතික බලවේගයන්ගේ ප‍්‍රකාශකයකු විදියට නිසැක ලෙසම ඉටු කරන බව අවධාරණය කරනවා’’

 

Rate this item
(0 votes)