September 16, 2019

"මහින්දට තුන්වරක් බැහැ" - ජවිපෙ කියයි 

"මහින්දට තුන්වරක් බැහැ - නීති විරෝධී ජනාධිපතිවරණ එපා!" යනුවෙන්  ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 

ශ‍්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම දෙවන ධුර කාලය අවසන්වීමට පෙර, එයට වසර හතරක් පිරුණු වහාම ඉක්මන් ජනාධිපතිවරණයකට යෑමට සූදානම් වන බවට ප‍්‍රවෘත්ති පළවෙමින් තිබේ. මෙම ඉක්මන් ජනාධිපතිවරණය අපේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි එහි වගන්ති උල්ලංඝනය කරන එකක් බව පැහැදිලිව පෙනේ. එබැවින් මෙම හදිසි ජනාධිපතිවරණය කුමක් සඳහාද? එය නීත්‍යානුකූලව පැවැත්විය හැකිද? එවැනි නීතිවිරෝධී ජනාධිපතිවරණයක අනාගත ප‍්‍රතිඵලයේ භයානකකම කුමක්ද? එය වැළැක්විය හැක්කේ කෙසේද? යන ඉතාමත් වැදගත් කරුණු මේ රටේ සියලූම ජනතාව වටහාගත යුතු යැයි අපි සිතමු. 

හදිසි ජනාධිපතිවරණය කා සඳහාද?

2010 ජනවාරි මස පැවැත්වූ ජනාධිපතිවරණයෙන් දෙවන ධූර කාලයක් සඳහා තේරී පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සඳහා දිවුරුම් දුන්නේ 2010 නොවැම්බර් මස නිසා ඔහුට එතෙක් සිට වසර 06ක් එනම් 2016 නොවැම්බර් දක්වා බලයේ සිටීමට හැකියාව තිබේ. එසේ තිබියදී දැන් හදිස්සියේ ජනාධිපතිවරණයක් කැඳවනු ලබන්නේ ඇයි? ඒ අන් කිසිවක් සඳහා නොව දිනෙන් දින වැඩිවන ජනතා විරෝධය උග‍්‍රවීමට පෙර තවත් අවුරුදු 06කට තමන් වෙත බලය ලබාගැනීම සඳහාය. එබැවින් මෙම හදිසි ජනාධිපතිවරණය රටේ හෝ ජනතාවගේ වුවමනාවක් වෙනුවෙන් පැවැත්වෙන්නක් නොව තනි පුද්ගලයෙකුගේ බලයට ඇති කෑදරකම නිසා, බලලෝභය නිසා, බලය අහිමි වේ යැයි ඇති අධික බිය නිසා පවත්වනු ලබන්නකි. රටේ මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරමින්, ව්‍යවස්ථා නීති උල්ලංඝනය කරමින්, තම පක්ෂයේ සහ සන්ධානයේ ඇතැමුන්ගේ විරෝධයද නොසලකමින් මේ සූදානම් වන්නේ, ඒකාධිපති පවුල් බලය තව තවත් තහවුරු කර ගැනීමටය. එය රටටත් ජනතාවටත් විශාල අනාගත අනතුරක් වනවා නොඅනුමානය. 

‘18’ සදාචාර සම්පන්නද?

වත්මන් ජනාධිපතිවරයා තුන්වන ධුර කාලයක් සඳහා ඉක්මන් ඡුන්දයක් පවත්වන්නට යන්නේ, 2010 සැප්තැම්බරයේ සම්මත කර ගත් 18වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුවය. එහෙත් එම ව්‍යවස්ථා සංශෝධනය සදාචාරසම්පන්න වූවක් නොවේ. 2010 ජනවාරි මස පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසු 2010 මාර්තු මාසයේ පැවැත්වූ මහමැතිවරණයේදී රාජපක්ෂ ජනාධිපතිවරයා තම සන්ධානයට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ඉල්ලා සිටියද ජනතාව විසින් එවැනි 2/3කේ බලයක් දුන්නේ නැත. එබැවින් එ.ජ.නි.ස. ආණ්ඩුවට ජනතා වරමකින් ලැබුණු 2/3ක බලයක් නැත. එහෙත් ආණ්ඩුව සන්ධානයට විරුද්ධව දුන් ඡුන්දවලින් පත්වූ එජාප මන්ත‍්‍රීවරු පිරිසක් මුදලට හා විවිධ අල්ලස් දී ආණ්ඩුවට එක්කරගෙන 2/3ක බලයක් හදාගත්තේය. ජනාධිපතිවරයා 18වැනි සංශෝධනය සම්මත කර ගනු ලැබුවේ අල්ලස් දී ලබාගත් එම 2/3ක බලය මගිනි. එය ජනතාවගේ මතය නියෝජනය කරන 2/3ක් නොවන නිසා 18වැනි සංශෝධනය සදාචාරවිරෝධී වේ. 

මහින්දට තුන්වරක් බැරි ඇයි?

එලෙස සදාචාර විරෝධී ලෙස සම්මත කරගත් 18වැනි සංශෝධනය යටතේ මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් පැවත්වීමට සූදානම් වුවත් 18වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පවා වත්මන් ව්‍යවස්ථාවට අනුව ඔහුට තුන්වරක් ජනාධිපති ධුරයට පත්විය නොහැකි අතර ඔහුගේ දෙවන ධුර කාලයේ වසර හයම ගත නොකර වසර හතරකින් පසු ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කිරීමටද නොහැක. 

ලංකාවේ නීති විශාරදයින් මේ පිළිබඳව ප‍්‍රබල මූලික තර්ක දෙකක් මතුකර තිබේ. එම තර්ක දෙක මෙසේය. 

01. 1978දී ජයවර්ධන මහතා විසින් සම්මත කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (2) ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ. ‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරාපත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසු එම ධුරයට ජනතාව විසින් තෝරාපත්කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය’ යනුවෙනි. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 (ඇ) ව්‍යවස්ථාවේ ‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාපත්කරගෙන තිබීම’ නැවත ඡුන්දය ඉල්ලීමට නුසුදුසුකමක් සේ දක්වා තිබේ. 

මේ අනුව 2010 ජනවාරි මස 26වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා දෙවන ධූර කාලයක් සඳහා තේරී පත්වූ වහාම ඔහු නැවත ඡුන්දය  ඉල්ලීමට නුසුදුසු අයෙකු වී තිබේ. ඉන් මාස 08කට පසු එනම් 2010 සැප්තැම්බර් මස 09වැනි දින 18වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාවේ ඉහත වගන්ති දෙක ඉවත් කළද ඒ වනවිටත් මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් ඡුන්දය ඉල්ලීමට හෝ තේරීපත්වීමට නුසුදුසු පුද්ගලයෙක් වී අවසන්ය. ලංකාවේ අර්ථකථන ආඥා පනතේ 6(3) වගන්තිය අනුව නීතියක් ඉවත්කිරීම කි‍්‍රයාත්මක වන්නේ, අනාගතයට මිස අතීතයට නොවේ. එබැවින් 2010 සැප්තැම්බරයේ ගෙනා 18වැනි සංශෝධනය සම්මත කළද එම වසරේ ජනවාරියේ සිට මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් ඡුන්දය ඉල්ලීමට හෝ ජනාධිපති ධූරයට තේරී පත්වීමට නුසුදුසු පුද්ගලයෙක්ව සිටින නිසාත් සම්මතකරගත් නීතියක් අතීතයට බලනොපාන බැවින් ඔහුගේ නුසුදුසුකම ඉවත් නොවී පවතින නිසාත් ඔහුට ව්‍යවස්ථානුකූලව නැවත වරක් තරඟ වැදිය නොහැකි බව ඉතා පැහැදිලිය. 

02. අනෙක් කාරණය මහින්ද රාජපක්ෂ මහතාට තම දෙවන ධුර කාලයේ වසර හයක කාලය අවසන් වීමට පෙර වසර 04කට පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි වීමයි. 

ජයවර්ධන මහතා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙනා තුන්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 31වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළේය. එහි මෙලෙස සඳහන් කළේය. (3අ) (අ) (ස) මේ පරිච්ෙඡ්දයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැණිව කුමක් සඳහන්ව ඇතද ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරාපත්කර ගැනීමෙන් ධූරය දැරීම පිණිස ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය තම ප‍්‍රථම ධුර කාලය ආරම්භ වී අවුරුදු 04ක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කරනු ලැබිය හැක්කේය’ යනුවෙනි. මේ අනුව ජනාධිපතිවරයෙකුට තම ප‍්‍රථම ධූර කාලයෙන් වසර හතරක් ගෙවුණු පසු තවත් ධුර කාලයක් සඳහා ජනතා කැමැත්ත විමසීමට ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ ලැබෙයි. 2010දී ගෙනා 18වැනි සංශෝධනය මගින් මෙම ඉහත ව්‍යවස්ථාවේ ‘ප‍්‍රථම ධූරකාලය’ යන්න ඉවත් කර ‘වත්මන් ධූර කාලය’ යනුවෙන් වෙනස් කළේය. 

එහෙත් එම තුන්වන සංශෝධනයේ ඊට පසුව ඇති (ඈ) ජේදයේ සඳහන් වන්නේ ඉහත ආකාරයට පවත්වන ජනාධිපතිවරණයකින් තේරී පත්වන තැනැත්තා එවකට ධුරය දරන ජනාධිපතිවරයාම නම් ඔහු තම දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමෙන් ආරම්භ වූ අවුරුදු 06ක කාලයක් ධුරය දැරිය යුතු බවය. 18වැනි සංශෝධනයෙන් එම වගන්තිය සංශෝධනය කර නැත. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාට තම දෙවන ධුර කාලයේ වසර හතරකින් තවත් ඡුන්දයකට යා නොහැකි අතර ඔහු සිය ධුර කාලයේ වසර හයම ගත කළ යුතුය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවන ධූරය කාලය සඳහා දිවුරුම් දෙනු ලැබුවේ 2010 නොවැම්බරයේ වන නිසා 2016 නොවැම්බර් දක්වා ඔහු විසින් ධුරය දැරිය යුතු වන අතර ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාව තුළ ඔහුට ඉඩක් නැත්තේය. 

හදිසි ජනාධිපතිවරණය නීතිවිරෝධී වීම

මේ අනුව ඉතාම හොඳින් පැහැදිලි වන්නේ පටු අරමුණු වෙනුවෙන් බලලෝභය සඳහා කලබලෙන් කඩිමුඩියේ සකස් කොට සම්මත කරගත් 18වැනි සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපතිවීමට හෝ ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාල නීතිමය ඉඩකඩ ලැබී නොමැති බවය. ඒ අනුව සිය දෙවන ධුරය කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් එම ජනාධිපතිවරණය නීතිවිරෝධී වන අතර මෙයින් පසු කුමන හෝ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නොහැකි බැවින්, ඔහු දැනටමත් ඊට නුසුදුස්සෙක් වී ඇති බැවින්, එසේ ඉදිරිපත් වුවහොත් එයද නීතිවිරෝධී වෙයි. 

ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ කුමකටද?

තත්වය මෙසේ තිබියදී ව්‍යවස්ථාව නොසලකා එය උල්ලංඝනය කරමින් වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපති ධුරයට පත්වීම සඳහා හදිසි ඡුන්දයක් ප‍්‍රකාශ කරන්නේ නම් එය ඉතාම අහිතකර වේ. මෙය රටේ අනාගත පූර්වාදර්ශයක් වුවහොත් එය ඉතා භයානකය. ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ රටේ හෝ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට නොව රටත් ජනතාවත් පරදුවට තබා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම බලය තවත් දිගු කර ගැනීමටය. එවැනි බලයක් නිසැක ලෙසම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී බලයක් වේ; ඒකාධිපති පවුල් බලයක් වේ. එවැන්නක් රටේ අනාගතයට ඉතාම හානිකර නිසා මෙම තත්වය හොඳින් හඳුනාගෙන එය පැරදවිය යුතුය. 

ඉතා පැහැදිලි මෙම නීතිමය තර්කයට මුහුණ දෙනවා වෙනුවට ජනාධිපතිවරයා වෙනුවෙන් කතාකරන අය ‘මහින්දට මේතරම් බය ඇයි’ දැයි අසන්නට පටන්ගෙන තිබේ. රටේ පාලකයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම බලය දිගුකර ගැනීමට කටයුතු කරන්නේ නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන ජනයා ඊට බියවිය යුතුය. ව්‍යවස්ථාව, නීති නොසලකන ඒකාධිපතියන් බිහිවන බව පෙනෙන විට ජනතාව ඊට බිය විය යුතුය. නිහ`ඩව නොසිට එම අනතුර පැරදවිය යුතුය. සැබවින්ම ජනමතයද නොසලකා නීති උල්ලංඝනය කිරීම ගැන ජනාධිපතිවරයාත් ඔහුගේ සහචරයනුත් ලැජ්ජාවට පත්විය යුතුය. 

අපේ වගකීම

මහින්ද රාජපක්ෂ මහතා හිතුවක්කාරී ලෙස අත්තනෝමතික ලෙස, සන්ධානයේම සමහර පක්ෂවල විරෝධය නොසලකා, ශ‍්‍රීලනිපයේ මහලේකම්වරයා විසින් ලිපියකින් ඉක්මන් ජනාධිපතිවරණයක අවශ්‍යතාවය ප‍්‍රශ්නකර තිබියදී එයද නොසලකා, නීති ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ නීතිමය විග‍්‍රහයන් නොසලකා, තම බලලෝභය වෙනුවෙන්, බලයට ඇති කෑදරකම වෙනුවෙන් හදිසි ජනාධිපතිවරණයකට යන්නේ නම් එය වහා පරාජය කළ යුතුය. ඊට ඉඩදිය යුතු නැත. 

රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් දේශපාලන සදාචාරය නොසලකමින් ඒකාධිපති ගමනකට සැරසෙන ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය පරාජය කළ යුතුය. ඒ අනුව දැන් කළ යුත්තේ පැවැත්වීමට සූදානම් වන ජනාධිපතිවරණය නිහ`ඩව භාරගෙන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාවිරෝධී, නීතිවිරෝධී ප‍්‍රයත්නයට දායකවීම නොව ඊට එරෙහිවීමය. ඊට අභියෝග කොට එය පරාජයට පත්කිරීමය. ඒ සඳහා ජනතාව දැනුවත් කරමින් ජනමතයක් හැදීමත් ජනබලයක් ගොඩනැගීමත් කළ යුතුය. ජනමතය හා ජනබලය ගොඩනගන අතරම අධිකරණය තුළ නෛතිකව මෙයට අභියෝග කළ යුතුය. ජනාධිපතිවරයා  ඒ සියල්ල නොසලකා කටයුතු කරන්නේ නම් ඔහු පරාජය කිරීමටද ජනතාව පෙළගැස්විය යුතුය. 

ජ.වි.පෙ. මේ මොහොතේ කටයුතු කරන්නේ ඒ සඳහාය. එබැවින් නීතිවිරෝධී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ උත්සහය පරාජය කිරීම සඳහා පෙරට එන ලෙසත් ඒ සඳහා දායකවන ලෙසත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.“ යැයි අද (15) නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.  

Rate this item
(0 votes)
DLB Desktop