May 24, 2019

අමරණිය 'විප්ලවවාදියකුගේ' ජීවන පෙළගැස්ම (තෙවන කොටස)

1966 මැයි මාසේ දිනක අක්‌මීමන කරු සහෝදරයාගේ නිවසට එකතු වූ රෝහණ විජේවීර ඇතුළු දහහතර දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ නව පක්‍ෂයක්‌ ගොඩනැඟීමට සාකච්ඡා කළහ. "ලංකා ලයින්" යෑයි නව නාමයකින් ගොඩනැඟුණු ඒ පිලේ ප්‍රබලයන් ලෙස කටයුතු කළේ රෝහණ විජේවීර, පියතිලක, ලොකු අතුල, සනත් සහ කරූය. මෙලෙස ගොඩනැඟූ පක්‍ෂයේ වැඩ කටයුතු ඔවුහු ඉදිරියට කරගෙන ගියහ. 1970 වර්ෂයේදී හම්බන්තොට දිවුල්ගමුවේදී විජේවීර සහෝදරයා ප්‍රථම වතාවට පොලිස්‌ අත්අඩංගුවට පත් විය. බදුල්ල සිරගෙදරට රැගෙන ගිය රෝහණ විජේවීර සහෝදරයාගේ නැවත පැමිණීම ගැන ඔහුගේ අනෙකුත් සගයන් තුළ මතු වූයේ බියකි. සැකයකි.
 
ලංකා ලයින් පිලට නායකත්වය දුන් විජේවීර සිරගත වුවද ඔහුගේ සෙසු සගයෝ ශක්‌තිමත් වූහ. විජේවීර නිදහස්‌ කරගැනීමට ඔවුන් නොගත් උත්සාහයක්‌ නැත. අවසානයේ ඔවුන් "ජනතා විමුක්‌ති පෙරමුණ" කියන නමින් "රෝහණ විජේවීර වහාම නිදහස්‌ කරමු" යන සටන් පාඨයෙන් ලංකාව පුරා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ද ගෙන ගියේය. රෝහණ වීජේවීර බදුල්ල සිරගෙදරින් නිදහස්‌ විය. එවකට රාජ්‍ය පාලකයා ලෙස කටයුතු කළේ ඩඩ්ලි සේනානායකය. 1970 මැතිවරණයෙන් පසු ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයෝ ඒකමතික තීරණයක්‌ ගත්හ. "කැඳ ගන්නවාද? ඇල්වතුර ගන්නවාද?" අවසානයේ යූ.එන්.පී ය පරදවා සිරිමාවෝ මැතිනියගේ ආණ්‌ඩුවට සහාය දීමට ජවිපෙ තීරණය කළේය.
 
විජේවීර හැර සෙසු නායකයෝ වේදිකාවට ගොඩ වූහ. ලොකු අතුල ද බෙලිඅත්තේදී සමගි පෙරමුණේ වේදිකාවකදී ජනතාව ඇමතුවේය. ඒ මැතිවරණයෙන් මැතිනිය ජයග්‍රහණය කළාය. සමගි පෙරමුණු ආණ්‌ඩුවක්‌ ඇති විය. එහෙත් ජවිපෙ විප්ලවකාරී ක්‍රියා පිළිවෙත නොනැවතිණි. මැතිනියගේ රජය ජවිපෙට දිගටම විප්ලවවාදී වැඩ කරගෙන යැමට ඉඩ දෙයි කියා විජේවීර සිතුවද? එය එසේ නොවීය. ජවිපෙ රැස්‌වීම්වල දේශන පවත්වා වේදිකාවෙන් බිමට බහින කථිකයන් පවා එදා මැතිනියගේ රජය අත්අඩංගුවට ගත්තේය. එවකට අධිකරණ ඇමැති ලෙස කටයුතු කළේ පිලික්‌ප් ඩයස්‌ බණ්‌ඩාරනායකය. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළේ නිහාල් ජයවික්‍රමය. රජයට එරෙහිව නැඟී සිටින ප්‍රධාන හතුරා වන ජනතා විමුක්‌ති පෙරමුණ සමූල ඝාතනය කරන්නැයි එවකට රජයේ ප්‍රධානීහු ආරක්‍ෂක අංශවලට නියෝග කළහ. ජවිපෙ ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට ඒ අනුව ආරක්‍ෂක අංශ විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය. ජවිපෙයට එලව එලවා පහර දුන්නේය. ජවිපෙ විප්ලවවාදී ජීවගුණය රැකගැනීම පිණිස 1971 අප්‍රේල් 05 වැනිදා වැල්ලවත්තෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ පහරදීම අවසානයේ වැල්ලවායෙන් ජවිපෙ පළමු වෙඩි මුරය වාතලයට මුසු කළේය. ඉනිදු නොනැවතුණු ජවිපෙ වැඩි කාලයක්‌ නොගොස්‌ ඇල්පිටිය, හක්‌මන, ඌරගහ, කෑගල්ල පොලිසිවල බලය ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත්තේය. එවකට මතුගම, අගලවත්ත, බුලත්සිංහල යන ප්‍රදේශවල ජවිපෙ අණදෙන නායකයා ලෙස කටයුතු කළේ "මතුගම දයා" හෙවත් මමයි.....(ඉතිරිය හෙට දිනයේදී )
(එවකට මතුගම, අගලවත්ත, බුලත්සිංහල යන ප්‍රදේශවල ජවිපෙ අණදෙන නායකයා ලෙස කටයුතු කල "මතුගම දයා" සහෝදරයාගේ ලිපියකි)
 
(විජේවීරගේ හඬ පහතින් අසන්න)
Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 09:11