May 24, 2019

අමරණිය 'විප්ලවවාදියකුගේ' ජීවන පෙළගැස්ම (දෙවන කොටස)

කෙසේ වුවත් ගුරුවරයාගේ ගුරුහරුකම් මැද විජේවීර වෛද්‍ය විද්‍යාව පසෙකට දමා දේශපාලන විද්‍යාවට මුල් තැන දුන්නේය. වසර හතරක්‌ හිමි හිමින් ගෙවී ගියේය. විජේවීර දේශපාලන දැනුම මුවහත් කරමින් සිටියේය.
 
එවකට කඹුරුපිටිය කොමියුනිස්‌ට්‌ පක්‍ෂ මන්ත්‍රී ඒලියන් නානායක්‌කාර ජයග්‍රහණය කරවීමට පෙරමුණ ගත් අන්දිරිස්‌ විජේවීර (රෝහණ වීජේවීරගේ පියා) එක්‌සත් ජාතික පක්‍ෂ මැරවරයන්ගේ අමානුෂික පහරකෑම්වලට ලක්‌ව රෝගාතුර විය. අත පය වාරු නැතිව යහනකට සිමා වී සිටි අන්දිරිස්‌ විජේවීර මිය යන විට රෝහණ විජේවීර ලුමුම්බා සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුවෙක්‌ වී සිටියේය.
 
තව වසර දෙකකින් වෛද්‍ය උපාධියක්‌ ගෙන ලුමුම්බා විශ්වවිද්‍යාලයට සමුදීමට හීන දුටු විජේවීර පියාගේ අකල් මරණය ආරංචි වීමත් සමග ලංකාවට පැමිණීමට තීරණය කළේය. පියාගේ අවසන් කටයුතු නිම කර දින ගණනක්‌ ගෙවී ගියේය. වෛද්‍ය උපාධිය ලබාගැනීමට විජේවීරට තවත් වසර දෙකක්‌ ඉතිරිව තිබිණි. ඒ වසර දෙකේ අධ්‍යයන කටයුතු අවසන් කර වෛද්‍ය උපාධිය ලබාගැනීම සඳහා විජේවීර රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට යා යුතුම විය. එහෙත් නැවත ලුමුම්බා විශ්වවිද්‍යාලයට යැමට විජේවීරට වීසා ලැබුණේ නැත. කොමියුනිස්‌ට්‌ පක්‍ෂයෙන් විජේවීරට ලබා දී තිබූ ශිෂ්‍යත්වය ද පක්‍ෂ ලේකම් පීටර් කෙනමන්ම තහනම් කළේය. වෛද්‍යවරයෙක්‌ වීම වීජේවීරට සිහිනයක්‌ පමණක්‌ම විය. විජේවීර අලුත් ගමනක්‌ යැමට තීරණය කළේය. ලංකාවේ විප්ලවකාරී දේශපාලන පක්‍ෂ ගැන සොයා බැලුවේය.
 
චීනයේ මාඕ සේතුං ආදර්ශයට ගනිමින් ලංකාවේ චීන පිලේ නායකයා ලෙස කටයුතු කළ එස්‌. සෙම්මුඛදාසන් සමග වීජේවීර අත්වැල් බැඳගත්තේ ඔය අතරතුර කාලයේය. දින සති මාස ගෙවී ගියේය. සෙම්මුඛදාසන්ගේ අඩුපාඩු තේරුම්ගත් විජේවීර චීන පිලෙන් ඉවත් වීමට තීරණය කළේය.....(ඉතිරිය හෙට දිනයේදී )
(එවකට මතුගම, අගලවත්ත, බුලත්සිංහල යන ප්‍රදේශවල ජවිපෙ අණදෙන නායකයා ලෙස කටයුතු කල "මතුගම දයා" සහෝදරයාගේ ලිපියකි)
 
(විජේවීරගේ හඬ පහතින් අසන්න)
Rate this item
(0 votes)