May 24, 2019

ඇමති මර්වින්ගේ අලුත්ම ජල්ලිය (සතියේ දේශපාලනයේ තිරෙන් එහා) 

ජනාධිපතිවරණය ජනවාරි මාසයේ පැවැත්වෙන බවට මේවන විට ඉඟි පළ වී ඇති අතර දේශපාලන ක්ෂේත්‍රයේ ද විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතී. මේ අතර විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් වන කතාබහක්ද යළිත් දේශපාලන කරළියේ ඉහළට මතුවෙමින් තිබේ. ‍

මේ සමගම වමේ පක්ෂද එකතුවී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින අතර ඒ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ තම පක්ෂය පොදු අපේක්ෂකයා ලෙස කුමාර් ගුණරත්නම් නම් කිරීමට සූදානම් බවයි. 

එම වමේ පක්ෂවල සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක් වී තිබේ. පුබුදු ජයගොඩ මහතා පවසන ආකාරයට පොදු අපේක්ෂක කතාබහට ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා කිරීමට නියමිතයි. 

                        සෝභිත හිමියන් වටා කණ්ඩායම් රැසක් 

පොදු අපේක්ෂකයාගේ සටන ගෙන යන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වටා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම විවිධ දේශපාලන කණ්ඩායම් ඒකරාශි වී සිටිති. එක්සත් ජාතික පක්ෂය තනිව තරග කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් නිල තීරණයක් ප්‍රකාශයට පත්කර නැතත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොකර වෙනත් අයකු ඉදිරිපත් කළ යුතු  බවටද මතයක් පවතී. 

එජාපයේ විකල්ප අපේක්ෂකයා කරු ජයසූරිය මහතා බවටද විවිධ ආරංචි පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් මෙවර එජාපය තම පක්ෂයේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව මුලින්ම ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එක්සත් භික්ෂු පෙරමුණේ නායක භික්ෂුන් වහන්සේලා , පසුගිය සතියේ ගොස් මාදුළුවාවේ සෝභිත හිමියන් මුණ ගැසී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. එය මාදුළුවාවේ සෝභිත හිමියන් නියෝජනය කරන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ එක්සත් භික්ෂු පෙරමුණු අතර හමුවක් වුවද එහිදීද ‍පොදු අපේක්ෂකයා  සම්බන්ධයෙන් කතාබහ කර තිබිණි. 

එක්සත් භික්ෂු පෙරමුණේ ප්‍රධානියා වූ ආනන්ද හිමියන්ගේ අදහස වූයේ ‍පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හිමියන් ඉදිරිපත් විය යුතු  බවයි. එක්සත් ජාතික පක්ෂයෙන් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවිය යුතු බව ඒ හිමියන් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග කෙරෙන සංවාදයකින් පසුව බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කර තිබිණ. 

                         ෆොන්සේකාගේ අවසන් තීරණය තවම නෑ 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය සම්බන්ධයෙන්  අවසන්  තීරණයක් ගෙන නොමැත. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන් මේ සම්බන්ධයෙන් නොනිල වශයෙන් සාකච්ඡා කළ නමුත් සහය ලබාදෙන්නේ කාටද යන්න පිළිබඳව ඉදිරියේ සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවය. 

ඔහු පවසන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත් තම පක්ෂය ජනපතිවරණය වර්ජනය කරන බවයි.

                        චන්ද්‍රිකා තරගයට කැමති නෑ 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටද විවිධ ආරාධනා  මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති අතර ඇය පවසා ඇත්තේ “මහින්දත් සමග තරග කරන්න මම කැමැති නැහැ” යනුවෙනි. 

                         ඇමැති මර්වින් කොයිබටද 

මේ අතර මහජන සබඳතා හා මහජන කටයුතු  පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතාද පසුගිය දිනවල ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් මාධ්‍යයට කර තිබිණ. එමෙන්ම සන්ධානයේ ආධාරකරුවන් ගේ පහර කෑමකට ලක් වූ මාධ්‍ය වේදියාගේ දුක සැප සොයා බලන්නටද රෝහලට ගිය මර්වින් සිල්වා අමාත්‍යවරයා ඔහුට රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාග කළේය. රාජපක්ෂවරුන් ජනාධිපතිවරණයකට නොඉල්ලන්නේ නම් රුහුණෙන් ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම කෙනා තමන් බව මර්වින් සිල්වා මහතා ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කළේය. 

මේ අතර කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතාට පසුගිය සතියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් දුරකථන ඇමැතුමක් ලැබිණ. කොහොමද ප්‍රසන්න ආසනයේ තත්ත්ව යැයි ජනාධිපතිවරයා විමසීය. ඇමැති මර්වින් සිල්වා මහතාගේ කටයුතු හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව සිටින බව එම සංවාදයේදී ප්‍රසන්න රණවීර මහතා ජනාධිපතිවරයාට කියා සිටියේය. ජනාධිපතිවරයා සමග කෙටි සුහද කතාබහකින් එම දුරකථන සංවාදය නිමාවිය.

දිවංගත අමාත්‍ය ජෙයාරාජ් ප්‍රනාන්දු පුල්‍ලේ මහතාගේ මස්සිනා වූ වැලන්ටයින් ප්‍රනාන්දුපුල්‍ලේ මහතා පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය. මෙම අභාවය සම්බන්ධයෙන් විදෙස් ගත ව සිටි ජනාධිපතිවරයාව දැනුවත් කර තිබුණේ ඔහුගේ කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා විසිනි. 

සෙනසුරාදා රාත්‍රියේ ලංකාවට පැමිණි ජනාධිපතිවරයා ඉරිදා උදෑසන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට කතා කොට තමන් එදින සවස මිල්රෝයි ප්‍රනාන්දු ඇමැතිවරයාගේ උත්සවයකට පැමිණෙන බවත් ඒ අතරතුර මළගෙදරට එන බවත් දන්වා සිටියේය. 

එදින දහවල් 12.30 පමණ මිල්රෝයි සමගම ජනාධිපතිවරයා අවමඟුල් උත්සවයට පැමිණියේය. එහි සිටි ජෙයරාජ් ඇමැතිවරයාගේ දියණිය ඇමතූ ජනාධිපතිවරයා “ කොහොමද දුව වැඩ කටයුතු” යනුවෙන් විමසා සුවදුක් විමසා සිටියේය.

තමන් නීතිය හදාරන බව ඇය ප්‍රකාශ කළ පසු ජනාධිපතිවරයා “කෝ මල්ලි“ යනුවෙන් ඇයගේ සොයුරා පිළිබඳව විමසුවේය. ඔහු එංගලන්තයේ නීතිය හදාරන බව ඇය  පැවැසුවාය. “කවද්ද පුතා ලංකාවට එන්නේ” ජනාධිපතිවරයා සුදර්ශනි ප්‍රනාන්දු පුල්‍ලේ මන්ත්‍රීවරිය ගෙන් විමසුවේය. ‘ලබන අවුරුද්දේ මැයි ලංකාවට එනවා’ ඇය පිළිතුරු දුන්නාය. 

 “එයිද එහේ නතර වෙයිද දන්නේ නැහැ” ජනාධිපතිවරයා සිනහා සෙමින් පැවැසුවේය. “එයා එනවා ජෙයාරාජ් ගේ වැඩ ටික තියෙනවානේ කෙරෙන්න” මන්ත්‍රීවරිය පැවසුවාය. “ඔව් ඔව් අපි අලුත් අයව ඉස්සරහාට ගන්න ඕන” ජනාධිපතිවරයා එය අනුමත කරමින් සඳහන් කළේය.

                                 මහින්දට තුන්වරක් බැහැ

පසුගිය 04 වැනි දා උදේ වන විට ජවිපෙ විසින් රට පුරා ‍පෝස්ටරයක් අලවා තිබිණි. “මහින්දට තුන්වරක් බැහැ, නීති විරෝධී ජනාධිපතිවරණ එපා” එම ‍පෝස්ටරයේ සටන් පාඨ විය. කෙසේ වෙතත් මෙම ‍පෝස්ටරය ඇලවීමෙන් පසුව එම සටන් පාඨයට ආණ්ඩුවේ පිරිස්වල අවධානය දැඩි ලෙස යොමු වී තිබිණි. ආණ්ඩුවට ‘මහින්දට පුළුවන්’ යැයි පවසමින් ‍පෝස්ටර් ඇලවීමටද සම්මන්ත්‍රණ සංවිධානය කිරීමට සිදුවූයේද ඒ අනුවය.

“ආණ්ඩුවට හොඳටම වැදිලා වගේ අපේ සටන් පාඨය. හොඳටම බයවෙලා ඉන්නේ. අපිට කියනවා මහින්ද එනවට බයේ තමයි අපි ‍පෝස්ටර් ගහන්නේ කියලා.” මේ සම්බන්ධයෙන් කතාබහක් මතුවූ වෙලාවේ සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. “අපේ ප්‍රශ්නය තියෙන්නේ රටේ මූලික නීතියට පටහැනිව මහින්ද කටයුතු කරන එක ගැනයි. නැතිව මහින්ද ජනාධිපතිවරණයට එනවද නැද්ද කියන එක ‍නෙවෙයි. රටක් වුණාම නීතියක් තියෙන්න ඕනෑ. මහින්දටත් මහින්ද වටේ ඉන්න කණ්ඩායමටත් නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය අදාළ නැහැ.” ටිල්වින් සිලවා කියා සිටියේය. 

“මහින්ද 2005දීත් 2010දීත් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්න පණිවුඩයක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය අහෝසි කරනවා කියපු ‍පොරොන්දුව. නමුත් එකත් කඩකරලා තියෙන්නේ. දැනටමත් මහින්ද බොරුකාරයෙක්”. හඳුන්නෙත්ති මතක් කර දුන්නේය. “ඒ අතරේ මහින්දගේ අවධානය දිනාගන්න ඇමැතියෝ අලුත් අලුත් වැඩවලට බැහැලා. ටී.වී. වැඩසටහන් කරනවා. ආණ්ඩුවේ පත්තරවල මහින්දට පුළුවන් කියලා හෙඩිම් දානවා. බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති මාධ්‍ය එක්ක ගිහින් අපේ ‍පෝස්ටර් ගලවලා ෆොටෝ එක පත්තරේ දාගත්තා.” විජිත හේරත් කීවේය.

 “අපේ සම්මන්ත්‍රණ රටපුරා යනකොට ජනතාව තේරුම් ගනියි ඇත්ත මොකක්ද කියලා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය ආරක්ෂා කරන්න ජනතාව වුවමනාවෙන් ඉන්නවා. 

                                අමාත්‍යවරුන්ගේ ගණන 41 දක්වා ඉහළට 

මේ අතර හදිසියේම තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත් කළේ පසුගිය 09 වැනි දායි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී. රාධකි‍්‍රෂ්නන් මහතා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත්කොට තිබිණි. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණන 41 දක්වා ඉහළ ගියේය. 

                                ඉන්දියානු ආරක්ෂක ලේකම් ලංකාවට

මේ අතරතුර ඉන්දියානු ආරක්ෂක ලේකම් ආර්.කේ. මතූර් මහතා 10 වැනිදා උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. එහිදී දෙරටේ යුද හමුදා අංශ අතර පුහුණු කිරීම් වැඩිදියුණු කිරීම පිළිබඳ ව වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. ඉන්දියාවේ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ පුහුණුවීමේ අත්දැකීම් මනාව සිදු වී ඇති බව මතූර් මහතා මෙහිදී ජනාධිපතිවරයාට දන්වා සිටි අතර ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගැනීමට කැමැති බොහෝ දේ අපටත් තිබෙනවා යැයි ජනාධිපතිවරයාට පැවසීය.

ඉන්දියානු මුහුදු පතුල ට්‍රෝලනය කිරීම හේතුවෙන් විනාශ වීම, ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් මුහුණපාන ගැටලු පිළිබඳ ව ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වා ඇති අතර සාගර පරිසරයට සිදුවන හානිය විශාල බවත් ශ්‍රී ලංකාවේ ට්‍රෝලනය කිරීම තහනම් කොට ඇති බවත් මතූර් මහතා වෙත දැන්වා තිබේ. මුහුදු පතුල ට්‍රෝලනය කිරීමේ කටයුතු දිගින් දිගටම සිදු කළ හොත් ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් ධීවර සම්පත් මුළුමනින් ම අහිමිවනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා එය වඩා බලපානු ඇත්තේ උතුරේ දෙමළ ධීවරයන්ට බවත් අවධාරණය කළේය. 

දෙරට අතර පැවැත්වෙන ආරක්ෂාව ආශ්‍රිත විවිධ කතිකාවත් තුළින් තවදුරටත් පවතින සබඳතා ශක්තිමත් වනු ඇති බවට ජනාධිපතිවරයා සහ ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයා එකඟතාවකට පැමිණියේය. 

Rate this item
(0 votes)