September 23, 2020

මැතිවරණ ඉතිහාසය වෙනස් කළ 2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145 ක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ඉතා ආසන්න බලයක් තහවුරු කරගැනීමට සමත් විය.

උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන් වෙන්ව තරග කළ එම පෙරමුණේ හවුල්කාර පක්ෂ ලබාගත් මන්ත්‍රී ධුර 5 ද සමග තුනෙන් දෙකක ආණ්ඩුවකට අවශ්‍ය මන්ත්‍රී ධුර සංඛ්‍යාව සම්පූර්ණ වේ.

මන්ත්‍රී ධුර 54 ක් ලබාගනිමින් සමගි ජන බලවේගය මෙවර ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිටින අතර දරුණු පරාජයකට ලක්වූ එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

2020 මහමැතිවරණය සඳහා මෙවර ලියාපදිංචිව සිටි එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 75.89ක ප්‍රතිශතයක් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද හැටඅට ලක්ෂ පනස්තුන්දහස් හයසිය අනූවක් හිමිව තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09 ක්.

සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙරට ඉතිහාසයේ පළමු වරට එක් දේශපාලන පක්ෂයක් හිමිකරගත් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව හිමිකරගැනීමට පොදුජන පෙරමුණ පක්ෂය සමත් වූ අතර ඔවුන් ලබාගත් සමස්ත මන්ත්‍රී ධුර ගණන 145 කි.

ඒ, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 17ක් ද හිමිවීමත් සමගය.

මෙවර උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග නොකළ ද එම පෙරමුණේ හවුල්කාර පාර්ශ්වයක් වන ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂය යාපනය හා වන්නි දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර 02 ක් හිමිකරගත්තේය.

එමෙන්ම, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කළ ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් "ජාතික කොංග්‍රසය" එක් මන්ත්‍රී ධුරයක්ද, යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතාට එක් මන්ත්‍රී ධුරයක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයට "තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල්" පක්ෂයෙන් තරග කළ ශිවනේසන්තුරෙන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක් මන්ත්‍රී ධුරයක්ද දිනාගත්තේය.

මේ අනුව, එම මන්ත්‍රීවරුන් පස්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයට අවශ්‍ය මන්ත්‍රී ධුර 150 සම්පූර්ණ කරගැනීමට අවස්ථාව සැලසේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 18 කම ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගත් අතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුවත් මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 18 කම බලය හිමිවුණේද පොදුජන පෙරමුණටය.

එජාපයේ දරුණුතම කඩාවැටීම

මේ අතර මෙරට පාර්ලිමේන්තුවේ පැරණිම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය සිය 73 වසරක මැතිවරණ ඉතිහාසයේ දරුණුතම පරාජයට මෙවර මුහුණ දුන්නේය.

කිසිදු මැතිවරණ කොට්ඨාසයක් හෝ දිනාගැනීමට අසමත් වූ එක්සත් ජාතික පක්ෂය මෙවර ලබාගත්තේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

ඒ සමගම එහි වැඩිම කාලයක් නායකත්වය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරය අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් 1946 සැප්තැම්බර් මස 06 වන දින බිහි වූ එක්සත් ජාතික පක්ෂය 1947 මුල්ම මහ මැතිවරණයේ දී ආසන 95 න් 42 ක් දිනාගනිමින් පළමුවරට ආණ්ඩු බලය හිමි කරගත්තේය.

අනතුරුව මහ මැතිවරණ 7කදීම ආණ්ඩු බලය දිනූ එක්සත් ජාතික පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරුන් 7දෙනකු සහ ජනාධිපතිවරුන් 3දෙනකු බිහි වී තිබේ.

1956 සහ 1970 වසරවල පැවති මහ මැතිවරණ වලදී පමණක් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගණන 8කට සහ 17කට අඩු වූ නමුත් අඛණ්ඩව වැඩිම වසර ගණනක් එනම් වසර 17 ක් ආණ්ඩු බලය හොබවා තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂයයි.

1977 සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම පක්ෂය 1989 මහ මැතිවරණයේදී ආසන 125 ක් , 1994 දී ආසන 94 ක් ,  2000 දී ආසන 89 ක් , 2001 දී ආසන 109 ක් , 2004 දී ආසන 82 ක් , 2010 දී ආසන 60 ක් සහ 2015 දී ආසන 106 ක් දිනාගත්තේය.

එහෙත් 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක් ආසනයක් හෝ දිනාගැනීමට හැකි නොවූ අතර ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

එම පක්ෂයේ වැඩිම කාලයක් නායකත්වය හෙබ වූ , පස්වරක්ම මෙරට අගමැතිධුරයට පත් වූ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහි දී ඡන්දයෙන් මැතිසබයට තේරීපත්වීමට හෝ අපොහොසත්වීම විශේෂත්වයකි.

ඒ අනුව 2015 මැතිවරණයට ලැබී තිබූ මන්ත්‍රී ධුර 105 ක්ම මෙවර අහිමි කරගත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මහ මැතිවරණයකින් පසු අනෙක් මහ මැතිවරණයේ දී වැඩිම ආසන ගණනක් අහිමි කරගත් පක්ෂය ලෙස ඉතිහාසගත වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 August 2020 10:49

Live