April 07, 2020

 කරළියෙන් එහා: ගෝඨාගේ කතාවෙන් රතු එළියක් - එජාපයේ අලුත් පක්ෂය හබක්

දේශපාලන කරළියේ කාගේත් අවධානය යොමුවූයේ අද දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල පාර්ලිමේන්තු සැසිවාරයේ රාජාසන කතාව දෙසය. සිය රජයේ ප්‍රතිපත්තිය හා ඉදිරි වැඩපිළිවෙල රට හමුවේ තබන මෙම අවස්ථාව දෙස සියලු දෙනාගේ අවධානය යොමුවූ අතර ජනාධිපතිවරයා සිය දිවුරුම් දුන් දිනයේදී කළ කතාවට හා සමානව රටේ ආරක්ෂාව ගැන සඳහන් කරමින් විශිෂ්ඨ කතාවක් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තු නවසැසිවාරය ආරම්භ කිරීම අද පෙරවරු 10.00ට සිදුකෙරුණා. 

කථානායක කරූ ජයසුරිය මහතා විසින් ජනාධිපතිවරයා පිළිගත් අතර සාම්ප්‍රදායික උත්සව අංගවලින් තොර චාම් උත්සවයක් ඒ වෙනුවෙන් පැවැත්වීම විශේෂත්වයක් වුණි. නව සැසිවාරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටියේය. ජනාධිපතිවරයා සඳහා වෙන්වු විශේෂ ආසනයේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය.

රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුවිය යුතු බවත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟ පාමින් රටේ දේශපාලනය හැසිරවීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 "මා වසර 20ක් රටේ හමුදා නිලධාරියෙකු ලෙසත් වසර 10කට ආසන්න කාලයක් රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙසත් සේවය කළා. මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණේ නැති වුණත් ජනතා සේවය කුමක්ද යන්න මා කුඩා කාලයේ සිටම අත්දැක තිබෙනවා.

මගේ පියාගේ වැඩිමල් සොහොයුරා, ඩී.එම් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ගමන ආරම්භ කළේ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට ආසනය නියෝජනය කරමින්. 1945 දී සිදුවු ඔහුගේ අභාවයෙන් පසු හම්බන්තොට ජනතාව මගේ පියා, ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා ගත්තා. ඉන්පසු ඔහු ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවටත් මහජන ඡන්දයෙන් තේරී පත්වුණා. එතැන් පටත් මේ දක්වා ගිරුවාපත්තුවේ පිටිසර ගම්මානයක් වු මැදමුලන මූලාශ්‍ර කරගත් පරම්පරා 3ක රාජපක්ෂවරු, ඡන්දයෙන් පත්වු මහජන නියෝජිතයන් ලෙස සේවය කොට තිබෙනවා.

මේ කාලය තුළ මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, කථානායකවරයෙක්, විරුද්ධ පක්ෂ නායකයෙක්, අගමැතිවරයෙක් පමණක් නෙවෙයි, ජනාධිපතිවරු දෙදෙනෙක්ම අප ගැන විශ්වාසය තැබු මේ රටේ පොදු මහජනතායව විසින් තෝරා පත්කරගත්තා.

එදා රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වු ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනයේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැළඳ සිටියා. එම සාටකයෙන් ඔහු සංකේතවත් කළේ ගිරුවාපත්තුවේ කුරක්කන් ගොවියන්වයි. මා ඒ සාටකය අඳින්නේ නැති වුවත් මා නියෝජනය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සැමවිටම කැපවු කුරහන් සාටකයෙන් සංකේතවත් කරනා ගැඹුරු දර්ශනයමයි.

එම දර්ශනය ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අන්තර්ගතව තිබෙනවා. මේ අවස්ථාවේදී සෞභාග්‍යයේ දැක්ම, ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරනවා.., මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ මේ රටේ දේශපාලන සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වු දේශපාලන න්‍යාය පත්‍ර ජනතාව ප්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරුවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනතාව ඔප්පු කළා.

මා ආරාධනා කරනවා අදාළ දේශපාලඥයින්ට මේ යථාර්තය තේරුම් ගන්න කියලා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර භේද වපුරවනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැඟීමේ කර්ථව්‍ය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. මට මතකයි මා කුඩා කාලයේ මගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා, මා බොහෝ විට පාර්ලිමේන්තු ගැලරියේ සිට පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් නරඹලා තියෙනවා.

අතීතයේ අප දුටු පාර්ලිමේන්තු ඉතාමත් ආදර්ශමත් ස්ථානයක්. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැකගන්නට
මන්ත්‍රීවරුන් හැමවිටම උත්සාහ කළා. ජනතාව එදා පාර්ලිමේන්තුවට ගරු කළා. මහජන නියෝජිතයින්ට ගරු කළා. නමුත් පසුකාලීනව මේ ගෞරවය ක්‍රමයෙන් හීන වීගෙන ගියා.

මෙම පාර්ලිමේන්තුව නැවතත් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක් කරන, ව්‍යවස්ථාදායකයේ වගකීම නිසි ලෙස ඉටු කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත් කළ යුතුයි. ජනතාවට බරක් වී තිබු බදු බර ලිහිල් කිරීම, විනිවිඳභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඉහළ පරිපාලන ක්‍රමවේදයකට මුල පිරීම, අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම වැනි පියවර රැසක් අපි මේ වන විටත් ගෙන තිබෙනවා.ජාතික ආරක්ෂණ යාන්ත්‍රණය නැවතත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තියෙනවා. ජාතික බුද්ධි අංශ ජාලය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කර තිබෙනවා.

අපේ මව්බිම ත්‍රස්තවාදයෙන් අන්තවාදයෙන් පාතාල ක්‍රියාවලින්, සොර බියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරෙන්, සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා.

එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සැබවින්ම ඉටු වෙනවාද ඔවුන් සතුටින් සිටිනවාද යන්න සොයා බැලීමට නවීන ක්‍රමවේදයක් හා දර්ශක භාවිතා කළ යුතුයි. ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අප ගන්නා උත්සාහයට සියලු දෙනාගේම සහාය අපිට අවශ්‍යයි. පසුගිය දිනවල අපි ව්‍යාපාරික ක්ෂේත්‍රයට ලබා දුන් බදු සහනවලින් යම් ප්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලබා දිය යුතුයි. ඒ අනුව බදු අඩු කළ සෑම භාණ්ඩයකම හා සේවාවකම යම් මිල අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට අපි සැළසුම් සකස් කර තිබෙනවා. දූෂණ ක්‍රියාවන්වලට එරෙහිව තරාතිරම් නොබලා අපි නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරනවා.

අධිවේගී මාර්ග පද්ධතිය මෙන්ම මහා මාර්ග පද්ධතිය දියුණු කිරීමේ වැඩ කටයුතු වේගවත් කර රටේ ඕනෑම තැනක සිට තවත් තැනකට පැය කිහිපයක් තුළ ගමන් කිරීමට ගමන් කිරීමට හැකි වාතාවරණයක් ඇතිකිරීම ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා.

දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමත් මේ වැඩපිළිවෙලේ අවශ්‍යතම අංගයක්. කාර්යක්ෂම හා සුවපහසු දුම්රිය සේවාවක් මඟින් අද බරපතළ ගැටලුවක්ව පවතින මාර්ග තදබදයට විසඳුම් සොයන්නට පුළුවන්. විවිධ නීති රීති, බල පත්‍ර තහංචි මඟින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජීවනෝපායන් වු මැණික් කර්මාන්තය, උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, වඩු කර්මාන්තය, හස්ත කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සීමාවන් පනවමින් රටේ සංවර්ධනයට බාධා කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ. වර්තමාන රැකියා වෙළඳපොල අවශ්‍යතාවයන් සඳහා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පුහුණු කිරීමට දැනට හදාරණ පාඨමාලාවලට අදාළව ඔවුන්ට ස්වේච්ඡාවෙන් සහභාගී වී හැකි කෙටි කාලීන අමතර පාඨමාලා හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

අලුත් රැකියා අවස්ථා තරුණ තරුණියන් සඳහා සොයා දීමට විදේශ තානාපති අංශවලට විශේෂ වගකීම් පවරන්නට අපි බලාපොරොත්තු වෙනවා. 1978 සිට 19 වතාවත් සංශෝධනය වි ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතභාවය, ස්වෛරීත්වය, ස්ථාවරභාවය, හා ඒකීයභාවය ආරක්ෂා කිරීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදු විය යුතුමයි. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ද ජනතාවගේ සෘජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා.

ඉලක්කම්වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තාකළ හැකි වුවද පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක්, හා ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින්ම විසඳා ගත යුතුයි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යාන්තර වෙළඳ ගණුදෙනුවලදී කිසිදු විදෙස් රටක් හමුවේ දණින් නොවැටෙන රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන ඕනෑම රටක් සමඟ සම තත්ත්වයෙන් ගණුදෙනු කරන දේශිය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික වගකීම භාර ගන්නට මා සමඟ එක්වන මෙන් ඔබ සියලු දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා."යැයි කාගේත් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා සිය රාජාසන කතාව අවසන් කළේය.

1947 වර්ෂයේ සිට මේ දක්වා පනස්වාරයකට අධික අවස්ථා ගණනකදී පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබේ. 1978 වසරින් පසුව පමණක් පාර්ලිමේන්තු සැසිවාර 25 ක් පමණ පවත්වා තිබේ. පළමුවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය 1947 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින පැවැත්වීය. එය උත්සවශ්‍රීයෙන් පැවැති අතර ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් එහි මූලාසනය හෙබවීය.

මුවර් ආණ්ඩුකාරවරයා එදින රාජාසන කතාව කළේය. රාජාසන කතාව යනු නව සැසිවාරයක ආරම්භ කරන අවස්ථාවේ සිදුකරන ප්‍රධාන කතාවය. ලංකාව නිදහස ලැබීමට පෙර ආණ්ඩුකාරවරයා රාජාසන කතාව පවත්වා තිබෙන අතර නිදහස ලැබීමෙන් පසුව තත්ත්වය වෙනස් විය. ඉන්පසුව ආග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා මුලාසනය හෙබවීය.

තවද ආණ්ඩුකාර තනතුර වෙනස්වී ආග්‍රාණ්ඩුකාර තනතුර ස්ථාපිත වූ පසුව ආග්‍රාණ්ඩුකාරවරු රාජසන කතාව පැවැත්වූහ. සර් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයා සහ පසුව 1964 වසරේදී විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයා රාජාසන කතා පවත්වා තිබේ.

මේ අතර දෙවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය විවෘතකර ඇත්තේ දෙවන එළිසබත් රැජිණ විසිනි. 1954 වසරේ අප්‍රේල් මස 12 වැනිදින මහ රැජිණ උත්සවාකාරයෙන් ආරම්භ කර රජාසන කතාව සිදුකළ බව ද සඳහන් වේ.

පසුකාලීනව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාර උත්සවයකින් තොරව ආරම්භකර ඇති අවස්ථා ද තිබේ. 1978 නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ නව සභා සැසිවාරය ආරම්භයේදී රජාසන කතාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය ආරම්භ කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් එය සුවිශේෂී තත්ත්වයක් බවත් යහපාලන ආණ්ඩුව උදම් ඇනුවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇගමැති රනිල් වික්‍රමසිංහ 19 වැනි සංශෝධනය සම්මත කර ගත්හ. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ව්‍යවස්ථා සභාවට බලතල පැවරීම, ජනාධිපතිවරයා සතු විධායක බලතල කොටසක් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේත්තුවට පැවරීම 19 වැනි සංශෝධනයේ ධනාත්මත කරුණු ලෙස යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළහ. ඊට අමතරව තවත් පිරිසක් ද එය අනුමත කළහ. එහෙත් වර්තමාන ආණුඩුව 19 වැනි සංශෝධනය ගැන දක්වන්නේ වෙනත් අදහසකි.

විපක්ෂ නායකකම සජිත්

මේ අතර රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී  ධූරය සඳහා වරුණ ප්‍රියන්ත මහතා කතානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ අද(03) දිවුරුම් දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධනයේ හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසාගේ පුරප්පාඩුව සඳහා ප්‍රියන්ත මහතා දිවුරුම් දී තිබේ. දිවුරුම් දීමෙන් පසු  ඒ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත්තේය.

කැබිනට් ප්‍රකාශවරුන්ට අමතරව රජයේ ප්‍රකාශකයන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා  ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා  අද (03)  දැනුම් දුන්නේය. දහවල් 1 ට රැස්වූ පාර්ලිමේන්තු සැසියේදී  කතානායකවරයා  මෙම  පත්කිරීම  සිදු කළේය.

ජනපති මන්ත්‍රීන්ට දුන් උපදේශය

පසුගියදා කොළඹදී පළාත්පාලන නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්විණ. කොළඹ ජනාධිපති මන්දිරයක පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා පළාත්පාලන නියොජිතයින් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සුදානම් කර තිබිණ. ජනාධිපතිවරයා පළාත්පාලන නියෝජිතයන්ගේ මේසයෙන් මේසයට ගොස්  ඔවුන්ට කතා කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක්. එම සංශෝධනය ඉවත් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින්. ඒ නිසා ඉදිරි මහමැතිවරණය ඉතා වැදගත්. ගම්වලට ගිහින් මේ බව ජනතාවට අවබෝධ කර දිය යුතුයි. මීළඟ මහ මැතිවරණයෙන් අපි තුනෙන් දෙකක බලයක් ලබා ගන්න ඕනේ. යැයි ජනාධිපතිවරයා පළාත්පාලන නියෝජිතයන් හමුවේ කීවේය.

ව්‍යවස්ථා වෙනසට විජයදාස අත තබයි

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම සඳහා යෝජනාවක් ඉදිරිපත්කිරීමට සුදානම් වෙයි. ඔහු පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් ලෙස නව පනත් කෙටුම් පත් දෙකක් සකස් කර ඇති අතර ඒවා මේ වන විට රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන සංශෝධන හඳුන්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සහ විසිදෙවන සංශෝධන වශයෙනි.

එම සංශෝධන හරහා විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැවත බලතල ලබාදීමටය. ඒ අනුව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යධුරයත් තවත් අමාත්‍යධුර දැරීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවද එම යෝජනාවේ සඳහන්වේ. මීට අමතරව රාජ්‍ය ඇමතිවරුන්, කැබිනට් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව හතළිහේ සිටි තිහ දක්වා අඩුකළ යුතු බවද එහි සඳහන් වේ.

මීට අමතරව අග්‍රවිනිශ්චයකාරවරයා, අභියාචනාධිකරණ සභාපතිවරයාද අනෙකුත් විනිසුරුවන්ද පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය අනවශ්‍ය බවත් එහි බලය ජනාධිපතිවරයාට පැවරීමටත් විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ සඳහන්වේ.

මීට අමතරව ස්වාධීන කොමිෂන් සභාවල සමාජිකයින් ඉවත් කිරීමේ බලයද ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර ජනාධිපතිවරයා වෙත පැවරීමට මන්ත්‍රීවරයා යෝජනා කර තිබේ.

1978 දී ජනාධිපති ජයවර්ධන මහතා විසින් හඳුන්වා දෙන ලද සමානුපාත මැතිවරණ ක්‍රමය යටතේ කිසියම් පක්‍ෂයක් දිස්ත්‍රික්කයේ මැතිවරණයකදී භාවිත වූ සමස්ත ජන සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 12 ක ප්‍රතිශතයක් මන්ත්‍රීවරයකුගේ තේරී පත්වීම සඳහා ලබා ගත යුතුය. එහෙත් එය ප්‍රේමදාස ජානාධිපතිවරයා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක අෂ්රෆ් මහතාගේ ඉල්ලීම පරිදි එය සියයට 5 දක්වා බැස්සුවේය. එය වර්තමානයේ ද ක්‍රියාත්මකය.

එම ප්‍රතිශතය හේතුවෙන් සුළු දේශපාලන පක්‍ෂවලට යම් සහනයක් හිමි වූ බව පිරිසකගේ අදහසය. එහෙත් තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ එම සියයට පහේ ප්‍රතිශතය හේතුවෙන් සුළු දේශපාලන පක්‍ෂ කේවල කිරීමේ අත්‍යවශ්‍ය අසාධාරණ බලයක් ලබාගත් බවය. ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් ආසන 110 ක් ගත්තත් ආණ්ඩුවක් පිහිටුවන්න සුළු දේශපාලන පක්‍ෂයක මන්ත්‍රීවරුන් පස් හයදෙනකුගේ සහය ගන්න වෙනවා. මේ සුළුපක්‍ෂ මහපක්‍ෂයට කේවල කරනවා. සහාය අරගෙන ආණ්ඩුව පිහිටවූ පසුව ප්‍රශ්න රැසක් ඇති වෙනවා. ඒ නිසා සියයට පහේ ප්‍රතිශතය සියයට 12.5 දක්වා වැඩිකළ යුතුයි. මුලදී තිබ්බෙත් ඒ ප්‍රතිශතයම තමයි. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒ සංශෝධනය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි. විජයදාස රාජපක්‍ෂ සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුවේ අවශ්‍යතාව මත ද යන්න සැක සහිත බව එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන්ගේ අදහස වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන විසි එක්වන සංශෝධනය සහ විසිදෙවැනි සංශෝධනය මේ වන විට රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබෙන අතර සති දෙකක කාලයක් ඇතුළත ඕනෑම පුරවැසියකුට එම යෝජනාවලට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරිය හැකිය.

එජාපයේ අලුත් පක්ෂය හබක්

එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් පිල අලුත් දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කිරීමේ අදහස තාවකාලිකව අතහැර දමා තිබේ. මහමැතිවරණයක් අතළඟ තියාගෙන අලුත් පක්‍ෂ හද හදා ඉන්න බැහැ. ඒකට දැන් කාලයක් නැහැ. අපට අවශ්‍ය හැම කොටසක්ම එකතු කරගෙන මහමැතිවරණයට මුහුණ දෙන්න. තනතුරු අපේක්‍ෂාකරගෙන කරන දෙයක් නෙමෙයි මේක යැයි සජිත් ප්‍රේමදාස විපක්‍ෂනායකවරයා සඳහන් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව ගැටලුව හා අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් රනිල් සජිත් අතර සාකච්ඡා වට කීපයක් පැවැත්විණ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් සජිත් අතර තවත් සාකච්ඡාවක් අද හෙටම පැවැත්වීමට නියමිත බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම විදේශ සංචාරය සඳහා තෝරාගත්තේ ඉන්දියාවය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව ජනාධිපති ගෝඨාභය ඉන්දියාවේ දින දෙකක සංචාරයක නිරත වූයේය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මීලඟ විදේශ සංචාරය ලබන මාසයේ සිදුවනු ඇතැයි පැවසේ. ජනාධිපතිවරයාට ආරාධනා කර ඇත්තේ චීන රජයයි. ඒ අනුව ජනාධිපතිවරයා චීන ජනපති ෂී-ජින්පින් හමුවීමට නියමිත අතර එහිදී දෙරටටම පලදායි සාකච්ඡා සිදුවනු ඇතැයි පැවසේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් කාලයේ අවස්ථා දෙකකදී මෙරටට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට ශ්‍රී ලංකා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද පැවසේ.

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නවක අපේක්‍ෂකයන් පිරිසක් ඉදිරිපත් කිරීමට සුදානම් වෙයි. කොළඹ ගම්පහ සහ කළුතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකටම මෙවර නවක අපේක්‍ෂකයන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඉකුත් දින කීපය පුරාම ආරංචි පැතිර ගියේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිත බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහු කළුතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කිරීමට එරෙහිව එම දිස්ත්‍රික්කයෙන් විරෝධතා මතුව ඇතැයි ද එම පක්‍ෂ අරංචි මාර්ග කියයි. ඒ අනුව තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කිරීම කෙරෙහිද ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් තම තමන්ගේ දිස්ත්‍රික්කවලට නවක අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට විරෝධය දක්වමින් සිටින බවද පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පසුව ඇමරිකාව බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිතුත්වීමෙන් පසුව බැසිල් රාජපක්‍ෂ ඇමරිකාව බලා පිටත්ව ගිය ද නැවත දිවයිනට පැමිණෙන දිනයක් ගැන සඳහන් වූයේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ ආරංචි  මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ක්‍ෂ හිටපු ඇමතිවරයා මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බවය.

 

Rate this item
(0 votes)