November 21, 2019

කරළියෙන් එහා: ජනපති සටනට ඇල්පිටියෙන් දුන් සංඥාව - සජිත්ගෙන් ජලනිගෙන් ජනපතිට දුරකතන ඇමතුම්

ජනාධිපතිවරණ උණුසුමත් එක්ක පසුගිය සතියේ දේශපාලන කරළියේ උණුසුම උග්‍ර වූයේ කල් ඇදෙමින් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන සංඥාවක් දීමට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලයත් දෙස සියලු දෙනා බලා සිටීමත් නිසාය. කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට හිමිවිය. එහිදී සියලු දෙනාගේ අවධානය යොමුවූයේ එම ඡන්ද ප්‍රතිඵලයත් එහි ප්‍රතිශතයත් දෙසය. ඊයේ පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම ජනාධිපතිවරණයට පෙර පැවැති ජනමතය උරගා බැලීමක් වීම හේතුවෙන් එය රටේ සියලූම පුද්ගලයින්ගේ අවධානයට යොමුවිය. එහිදී  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 56.31% ක් වූ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය හිිමිකර ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 12.7%කි. මෙවර ජනාධිපතිවරණයේදී මෙම පක්ෂ දෙකම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට ගිවිසුම් ගත වී හමාරය. ඒ අනුව එම පක්ෂ 02 එක්ව හිමිකර ගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 28, 645ක් වන අතර එය ප‍්‍රකාශිත වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 69. 01% ක ප‍්‍රතිශතයක් වේ. අවසන් වරට ඉකුත් 2011 වසරේ පැවැති ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 19, 954 ක් හිමිවූ අතර එය ප‍්‍රතිශතයක් ලෙස 58.54%  ක්. ඒ අනුව අවසන්වරට පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම හා සැසඳීමේදී මෙවර එම පක්ෂ 02 වැඩි ඡන්ද 8, 691 ක් ලබාගෙන ඇති අතර ප‍්‍රතිශතයක් ලෙස එම අගය 10.47% ක වැඩිවීමක් සිදුවේ. 2011 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීම හා සැසඳීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව මෙවර ඡන්ද 314 කින් අඩුවී තිබේ. 2011 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී 30.59% ක ඡන්ද ප‍්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර මෙවර එම පක්ෂය හිමිකර ගෙන ඇති ඡන්ද ප‍්‍රතිශතය 24.37% කි. ඒ අනුව එම පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව පසුගිය මැතිවරණයට සාපේක්ෂව සියයට 6.22% කින් අඩුවී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ 2011 වසරේ පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද 1,100 ක් හිමිකර ගත්තේය. එය ප‍්‍රතිශතයක් ලෙස 3.23%ක්. මෙවර ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,435 කි. එය ඡන්ද 1,335 ක වැඩිවීමක් වන අතර ප‍්‍රතිශතයක් ලෙස එම අගය 5.86% ක් වේ. ඒ අනුව ප‍්‍රතිශතයක් ලෙස  2.63% ක වර්ධනයක් අත්කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම ප්‍රශ්න කරමින් පැවරූ නඩුව අධිකරණය විසින් විසිකර දැමීමෙන් පසුව පොහොට්ටුව හා එජාපය පසුගිය සති අන්තයේ දැඩි ලෙස උත්සාහ කළේ ශ්‍රීලනිපයේ සහය තම පක්ෂ වෙත ලබාගැනීමටය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති සිරිසේන මහතාගේ මෙහෙයුමෙන් තරග කොට ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් නිසා ඔවුන්ගේ සහය ජනාධිපතිවරණයේදී තීරණාත්මක විය. ඒ නිසා පසුගිය කාලයේ එජාපය සමඟ විරසකව සිටි ජනාධිපතිවරයාගේ සහාය පොහොට්ටුවට මෙන්ම එජාපයටත් ලබාගැනීමට ප්‍රබල උත්සාහයක් දියත් කර තිබිණි. ජනාධිපතිවරයා සමඟ මේ ගැන මහින්ද බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු පසුගිය දෙසතියේ වාර හත අටක් පමණ සාකච්ඡා කළ අතර බැසිල් රාජපක්ෂ ඊට වඩා වාර ගණනක් මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා ප්‍රතිපත්තියක් ලෙස මහින්දලාට සහාය පළ කළ ද පොහොට්ටුව ලකුණට අකමැති බව දන්වනු ලැබීය. මේ ප්‍රශ්නය පොහොට්ටුවට ලොකු ගැටලුවක් වූයේ මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නිසාය. ජනාධිපතිවරයා මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ආදී පක්ෂයේ ප්‍රබලයින් නිතරම කීවේ පොහොට්ටුවෙන් නම් අපට බැහැ කියායි. නමුත් නිමල් සිරිපාල මන්ත්‍රීවරයා තරයේම කීවේ අප ඒ ගැන රණ්ඩු නොකර නොපමාව මහින්දලා සමඟ සන්ධානගත විය යුතු බවකි.

දිගින් දිගටම වාද විවාද වාග් ප්‍රහාර මත ඇදෙමින් තිබූ ජනපතිවරණයේදී සහය දීමේ  ශ්‍රීලනිපයේ තීන්දුව අවසානයේ කෙලවර වූයේ බහුතර කැමැත්ත මත ගෝඨාභයට සහය දීමේ යෝජනාව සම්මත කරමිනි. නැතහොත් ශ්‍රීලනිපයේ බහුතර මන්ත්‍රීවරුන් පක්ෂය හැර දමා පොහොට්ටුවට යාමට තීරණය කර තිබිණි. මෙහිදී ජනාධිපතිවරයාගේ තීරණය වුයේ ශ්‍රීලනිපයේ වගකීම් වැඩබලන සභාපතිවරයෙකුට පවරා තමන් නිර්පාක්ෂික වීමටය. 

මත ගැටුම් මැද්දේ ශ්‍රීලනිපය තීන්දුව ගත් හැටි

ගෝඨාභයගේ පුරවැසි නඩුවේ තීන්දුවට පෙරදා මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසීමට බැසිල් සමඟ මහින්ද ගියේ පොහොට්ටු ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්නටයි. එහෙත් මෛත්‍රී වචනයක් දුන්නේ නැත. ඔහු නඩු තීන්දුව ලැබෙනතෙක් සිටියා විය හැකිය. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෙසු සියලු කොන්දේසිවලට පොහොට්ටුවේ ප්‍රතිචාරය සාර්ථක විය. අනතුරැව මහින්ද බැසිල් හා ගෝඨා ඒ ගැන සාකච්ඡා කොට නීතිමය ප්‍රශ්නයක් නොමැතිනම් පොහොට්ටුව වෙනුවට පුටුව ලකුණ භාර ගන්නටත් ශ්‍රී ලංකා පොදුජන සන්ධානය යන නමින් ජනාධිපතිවරණය තරග කරන්නටත් සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දීමට තීන්දු කළහ. එහෙත් ගෝඨාභය පොහොට්ටුවෙන් ඇප බැඳ ඇති නිසා ඒ ගැන තිබෙන නීතිමය බාධාවක් තිබෙනවාද යන්නත් සොයා බලන්නට තීන්දු විය. පොහොට්ටුවේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්ට බැසිල් රාජපක්ෂ නියම කළේ නීති උපදෙස් මත පොහොට්ටුව ලකුණ වෙනස් කරන්නටත් පක්ෂ නාමය වෙනස් කරන්නටත් සූදානම් බව ලිඛිතව ජනාධිපතිට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව සාගර සකස් කළ ලිපිය සෙනසුරාදා ශ්‍රී.ල.නි.ප විධායක සභාව රැස් වන්නට පෙර ජනාධිපතිවරයා අතට පත්කරනු ලැබීය. ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කටයුතු පිළිබඳ විශේෂඥ නීති විශාරදයන් ගණනාවක් සමඟත් මැතිවරණ විෂය පිළිබඳ ප්‍රවීණ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් සමඟත් කතා කොට ලකුණ වෙනස් කිරීම ගැන නීති උපදෙස් ගනු ලැබීය. එහෙත් ඒ සියලු දෙනා මහින්දට කීවේ ඇප මුදල් තැන්පත් කළ පසු ලකුණ වෙනස් කළ නොහැකි බවය. එය නාම යෝජනාව ප්‍රතික්ෂේප වන්නට බලපාන ප්‍රධානම හේතුවක් යැයි ද පෙන්වා දෙනු ලැබීය. ඒ බව වහාම මහින්ද විසින් ජනාධිපතිවරයාට දන්වනු ලැබූ අතර ඔහුට ද ඒ ගැන වගකිවයුතු අංශවලින් විමසා බලන ලෙස දැනුම් දුන්නේය. ඒ වනවිට ජනාධිපතිවරයාට ද මෙතැන නීති ප්‍රශ්නයක් ඇති බව දැනී තිබිණි. ඔහු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කළේය. එවිට බොහෝ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කීවේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් තරග කර ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් මහ මැතිවරණය තරග කළ යුතු බවයි. එම එකඟතාව මත ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව සෙනසුරාදා රැස් වී ජනාධිපතිවරයාට මේ සම්බන්ධව අවසන් තීන්දුව ගැනීමේ බලය පවරනු ලැබීය. ජනාධිපතිවරයා ඒ ගැන මහින්ද රාජපක්ෂලාට දැන්වීය. ගිය ඉරිදා දවසේ දහවල් 11.00ට ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේ මාධ්‍ය හමුවක් තබා මේ බව ප්‍රසිද්ධියේ කියන්නට තමන් සූදානම් යැයි ජනාධිපතිවරයා කීය. එහෙත් ඒ වනවිට ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මාධ්‍යයට පක්ෂ තීරණය හෙළිදරව් කර තිබීම ගැන ජනාධිපතිවරයා පසුවූයේ දැඩි කේන්තියෙනි. එම පක්ෂ තීරණය ඇඟවෙන ෆේස්බුක් සටහනක් මහින්ද අමරවීර මහතාගේ ෆේස්බුක් පිටුවේ ද දැක්විණි. 

සජිත්ගෙන් ජලනිගෙන් ජනපතිට දුරකතන ඇමතුමක්

මෙම තීරණය ඉරිදාම දැනගත් එ.ජා.ප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත් ජලනි ප්‍රේමදාස මහත්මියත් වාර ගණනාවක් ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයාගේ සහාය තමන්ට ලබා දෙන්නැයි ඉල්ලා සිටියෝය. එහෙත් ජනාධිපතිවරයා ඒ ගැන සජිත්ලාට නිසි පිළිතුරක් දුන්නේ නැත. ඒ සමඟ හිටපු ජනාධිපති චන්ද්‍රිකා ද ජනාධිපති අමතා ශ්‍රී.ල.නි.පයේ සහාය සජිත්ට දිය යුතු යැයි තදින්ම ප්‍රකාශ කළාය. එසේ නොකරන්නේනම් තමන් පක්ෂය තුළ සිටින තමන්ට හිතවත් මන්ත්‍රීන් සමඟ සජිත්ගේ වේදිකාවට නගින බවද කියා තිබිණි. නමුත් ඒ ගැන ජනාධිපතිවරයා තැකීමක් කළේ නැත. තවත් පාර්ශ්ව ගණනාවකින් ද ජනාධිපතිවරයා වෙත මේ ගැන පීඩනය එල්ල කෙරෙමින් පැවතුණි. මේ කලබලය පවතිද්දී එ.ජා.පයේ කබීර් හෂීම් මහතා සහ ජනාධිපතිවරයාට හිතවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ජනාධිපති නිවසට ගියේ අන්තිම උත්සාහය දියත් කරන්නටයි. කබීර්ලා සුහදව පිළිගත් ජනාධිපතිවරයා ටික වේලාවක් ඔවුන් සමඟ කතා කළත් වැඩිපුර කතා කළේ මාතෘකාව වෙනතකට යොමු කෙරෙන දේශපාලන ඕපාදූප ගැන බව අප වෙත වාර්තා විය. මේ නිසා කබීර්ට හා ඔහු සමඟ ගිය රාජ්‍ය ආයතන ප්‍රධානියාට සිදුවූයේ නැවත හිස් අතින් හැරී ඒමටයි. ඒ සමඟ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන ද ජනාධිපතිවරයාගෙන් ශ්‍රී.ල.නි.ප තීන්දුව පමා වීම ගැන ප්‍රශ්න කර තිබිණි. කෙසේ හෝ ඉන් අනතුරුව දින දෙක තුනක්ම බැසිල් රාජපක්ෂ මහතා මහින්ද අමරවීරගේ නිවෙසට ගොස් නිමල් සිරිපාල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කරමින් අනුරාධපුර රැස්වීමට පෙර දෙපක්ෂය සන්ධානගත වීම සඳහා ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළේය. නමුත් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම තුළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් දැඩිව කීවේ පොහොට්ටුව සමඟ ගමනක් නැති බවයි. සෙසු ජ්‍යෙෂ්ඨයන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර ආදීන් පොහොට්ටුවට යායුතු බව තීන්දු කර තිබිණි. මේ ගැන ගිය අඟහරුවාදා සහ බදාදා ලොකු මතගැටුමක් ශ්‍රී.ල.නි.පය තුළ නිර්මාණය වී තිබිණි. කෙසේ හෝ අඟහරුවාදා සන්ධ්‍යාවේ ඇල්පිටිය ඡන්දයේ අවසන් මහා රුලිය සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස මාතර සිට පැමිණියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට ද සහභාගී වීමෙන් අනතුරුවය. එදා දෙපක්ෂයේම ජන රැලි ඇල්පිටියේ පැවැත්වුණ අතර එ.ජා.පයේ ජන රැලිය සඳහා පක්ෂ නායකයන් කිසිවකු හෝ සහභාගී නොවීම කැපි පෙනුණි. ජන සහභාගීත්වය ද ඉතාම දුර්වල විය.

පළමු වටයෙන්ම අනුර දිනුම්

පසුගිය 07වැනි දින රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව කාර්යබහුල වූයේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම එදිනට යෙදී තිබුණු බැවිනි. ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත්වූ ජාතික ජන බල ව්‍යාපාරය වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබිණි. දේශපාලන පක්ෂ හා සංවිධාන 30කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත එම සංවිධානය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ ලියාපදිංචි නොවන දේශපාලන පක්ෂ කාණ්ඩය යටතේය. එබැවින් නාම යෝජනා පිළිගැනීමෙන් පසු ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂකයින් සමග මැතිවරණ කොමිසම විසින් ලබා දෙන ඡන්ද ලකුණු තෝරා ගැනීමේ අවස්ථාවට සම්බන්ධ වන්නට අනුර දිසානායකට සිදුවිය. මෙහිදී ජාතික ජන බල ව්‍යාපාරය තමන්ගේ ඡුන්ද ලකුණ ලෙස තෝරා ගැනීමට කල් ඇතිවම තීරණය කර තිබුණේ මාලිමාවය. මැතිවරණ සලකුණ ලෙස මෙය ලබා දෙන ඉල්ලා මැතිවරණ කොමිසමට මීට පෙර ලිපියකින්ද ඉල්ලා තිබූ බැවින් මේ පිළිබඳව ඔත්තු බලමින් සිටි ඇතැමුන් දැන සිටින්නට ඇත.

ජාතික නිදහස් පෙරමුණේ විමල්ගේ ගෝලයෙකු වන සමන්සිරි හේරත් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටි අතර ඔහු ඡන්ද ලකුණු තේරීමේදී අනුර දිසානායක විසින් තෝරාගත් මාලිමාව සලකුණ තමන්ට අවශ්‍යයැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දන්වා සිටියේය. සභාපතිවරයා එකඟතාවයෙන් වෙනත් සලකුණක් ලබා ගත හැකිදැයි විමසා සිටියද ඔහු එයම ඉල්ලා සිටියේ අනුරට මෙය අවශ්‍ය බව පූර්වයෙන් දැන සිටි නිසා විය යුතුය. කෙසේ වුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන්ගේ ඊළඟ පියවරට ගියේ දෙදෙනා අතර තුණ්ඩු දමා තෝරාගැනීමට අවස්ථාව ලබා දෙමිනි. මේසය මත තිබූ තුණ්ඩු දෙකින් එකක් සමන්සිරි වහා අතට ගත්තේය. එහෙත් එහි වූයේ බින්දුවය. අනුර දිසානායක සහෝදරයාට ඉතිරි වූ තුණ්ඩුව දිගහැරි සභාපතිවරයා එහි එක ලකුණ පෙන්වා මාලිමාව අනුර කුමාර දිසානායකට හිමි වූ බව ප‍්‍රකාශයට පත් කළේය.

අනුරගේ ගමේ කතාව අහන්න අම්මත් ඇවිත්

තංගල්ලේදී හා බේරුවලදී ජනතා ජන රැලි පවත්වා තිබුණද නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ පළමු රැලිය යෙදී තිබුණේ පසුගිය 08වැනි දින තඹුත්තේගම නගරයේදීය. එහි විශේෂත්වය වූයේ තඹුත්තේම ඔහුගේ ළමා විය ගත වූ ගම් පළාත වීමය. ”මට මගේ ගම කියන්නෙ දේශපාලනයේ අමිහිරි අත්දැකීම් වගේම උකහා ගත යුතු අත්දැකීම් රැසක් ඉතිරි කරපු ගමක්. ඒ අත්දැකීම් දුන්න මේ ගමට අපි ආවෙ එක්දහස් නමසිය හැත්තෑ දෙකේ, මාසෙකට රුපියල් විස්සක කුලියකට මැටි ගෙදරකට. එතැන සිට දශක ගණනාවක් මේ ප‍්‍රදේශයේ සෑම ගමකම, සෑම පාරකම අපි ඇවිදල තියෙනවා. ඒ පරම්පරාවන් මුහුණ දුන්නු අත්දැකීම් අපි ඇති තරම් අත්දැක තියෙනව. අපේ ගම්වල මිනිස්සු මිය ගියේ කොහොමද, අපේ දරුවන්ට අත්වුණු ඉරණම මොකක්ද කියන එක අපි දන්නවා. කවුද ඒ ජීවිතය අපිට උරුම කර දුන්නෙ?” අනර දිසානායක තම කතාව අතරතුර පැවසීය.

මේ අතර රැලියේ ඉදිරිපෙළ අසුනකට බර දී සිටි වියපත් මවක් කෙරෙහි බොහෝ මාධ්‍යවේදීන්ගේ කැමරා ඇස යොමු වී තිබිණි. ඒ, අනුර දිසානායකගේ ළමා විය සම්බන්ධ අත්දැකීම්ද සහිත කතාවට සාවධානව කන්දී සිටි සීලවතී මහත්මියයි. අනුර දිසානායකගේ මවය. මේ රැස්වීමේ අසුන් ගෙන සිටි මවගේ ඡායාරූප රැසක් මුහුණු පොතේ සංසරණය වී තිබුණේ පරිශීලකයින්ගේ හැඟීම් බර සටහන්ද සහිතවය. මෙම රැස්වීම සඳහා පැමිණි අතිවිශාල ජනතාව අතර අනුර දිසානායකගේ වැඩිමහල් සහෝදරිය, ඥාතීන්, ළමා වියේ මිතුරු මිතුරියන් මෙන්ම ගම්වාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ. තවත් විශේෂත්වයක් වූයේ අනුර දිසානායක සහෝදරයාට පාසලේ උගන්වා තිබූ ගුරුවරයෙකු රැස්වීම් වේදිකාවේ අසුන්ගෙන සිටීමය. ඔහු ඒ පිළිබඳ මතකය අවදි කළේ මෙසේය. ”අසූ දෙකේ ජනාධිපතිවරණෙදි මෙතැන රැස්වීමක් තිබුණා. මමත් පොඩි කාලෙදි ඒ රැස්වීම බලන්න ආවා. ඒ රැස්වීමෙ මුලසුනේ හිටියෙ අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය ගුරුතුමා වුණු පෙරේරා සර්. ඔහු අදත් මේ වේදිකාවෙ ඉන්නවා.”

අනුර, ඩිව් කාලෝ සමරුවේ

ජනාධිපතිවරණය හේතුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායකගේ කාලසටහන අතිශය කාර්ය බහුල වී තිබේ. එහෙත් ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය විසින් පසුගිය 09වැනි දින සූදානම් කර තිබූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමරුවේ දේශනයක් පැවැත්වීමට ඔහු වේලාව වෙන් කරගෙන තිබිණි. මේ අවස්ථාවේ ආරාධිතයින් අතරට සෙසු දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබ තිබුණේ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකරටය. අසූ හතර හැවිරිදි ඩිව් ගුණසේකර වේදිකාවට ගොඩවෙද්දී අනුර දිසානායක ඔහු නොවැටෙන ලෙසට අල්ලා ගෙන ගොඩකර වීම අතිශය හැඟීම් බර අවස්ථාවක් විය. ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරයේ නායකයෙකු වත්මන් වමේ ව්‍යාපාරයේ නායකයකු සමඟ එකට ඇවිදීම ලංකාවේ වමේ අනාගත වගකීම අනුරට පැවරීමක් බඳුයැයි කෙනෙකුට සිතෙන්නට ඇත.

”මම අනුර සහෝදරයගේ කරේ එල්ලිලා වේදිකාවට ආවෙ. මගෙ වම් ඇහැ පේනේනෙ නැහැ. මගෙ යාළුවෙක් කිවුවා, ‘මචෝ වැටෙන්න එපා. ඔය වයසට වැටුණොත් අවුරුද්දක් ඇඳේ’ කියලා.” ඩිව් කතාව අතරතුර තමන්ගේ වියපත් බව පිළිබඳව කීවේ අවංකවය. ” මීට සතියකට පෙර ජෝතිෂ්‍ය සඳහා සංස්කෘතික අමාත්‍යංශයේ කොටසක් වෙන් කරන බවට එක ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙක් පොරොන්දු වී තිබුණා. අද ප‍්‍රධාන ධාරාවේ සමහර දේශපාලන පක්ෂවල මිත්‍යාව දේශපාලන දුෂ්ටිවාදයක් වී හමාරයි. මිත්‍යාව දැන් දේශපාලනයටද උඩින් තියන සංස්කෘතියක හැඩය ගෙන තියනවා. එනිසා එම සංස්කෘතියට එරෙහි සංස්කෘතියක් වෙනුවෙන් අපි අරගල කළ යුතුව තියනවා. අද මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් කරගත යුතුයි. ඒ ස`දහා මිත්‍යාවට එරෙහිව මැදිහත්වන අය සහ දේශපාලනය අතර සංවාදයක් අන්තර් සම්බන්ධයක් ඇති කළ යුතුයි. අපේ ව්‍යාපාරය මිත්‍යාවට එරෙහිව නොනවතින අරගලයක් කරන බවට අපි සහතික වෙනවා.” අනුර කුමාර දිසානායක පැවසීය.          

මංගල රැලියෙන් පසු ගෝඨා සිංගප්පූරුවට

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල ප්‍රචාරක රැලිය පසුගිය බදාදා අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයෙන් ආරම්භ විය. එයට පෙරදා අනුරාධපුරයට ගිය ගෝඨාභය සහ මහින්ද ශ්‍රී මහ බෝධිය හා රුවන්වැලි සෑය වැඳ පුදාගෙන ආගමික කටයුතුවල නිරත වූහ. පසුදා උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් ද කැටුව සාම දූත මෙහෙවරක නිරත විය. ඒ අනුව ගෝඨාභය එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිස ගියේ ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ නිවසටයි. ගෝඨාභයලා එහි යනවිට දුමින්ද සිය හිතවත් පාක්ෂිකයන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකට සිය නිවසට ඇරුයුම් කර තිබිණි. කවදත් ගෝඨා සමඟ හිතවත් දුමින්ද ගෝඨාභය උණුසුම් ලෙස පිළිගත්තේය. එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිස සමඟ ද සුහදව කතා කරමින් තේ පැන් සංග්‍රහයකට ද එක්විය. ගෝඨාභය එහිදී දුමින්දට ස්තූති කළේ තම පක්ෂයට සහාය දීමට නොපැකිල ඉදිරිපත් වීම ගැනයි. සෙසු මැති ඇමැතිහු ද ඒ ගැන දුමින්දට ස්තූති කළහ. අනතුරුව එහි පැමිණ සිටි සියලු දෙනා ඇමතූ දුමින්ද දිසානායක මහතා කීවේ තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප.ය මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සහතික කරනු වස් උපරිම සහය දෙන බවයි. ඒ සඳහා ඔහු සිය පාක්ෂික හිතවතුන්ගේ සහාය ද ඉල්ලා සිටියේය. මෙම හමුව පැවති දා සවස සල්ගාදු පිටියේ පැවති ගෝඨාභයගේ මංගල රැලියට දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක මහත්වරු ද එක්වූහ. විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සල්ගාදු පිටියේ පැවති ජන රැලිය අමතා කතා කළ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු තමන්ගේ මූලික ප්‍රතිපත්ති විස්තර කළෝය. මංගල ජන රැලිය හමාර කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එදින සවස වහාම විශේෂ ගුවන් යානයකින් කොළඹට පැමිණියේ රාත්‍රියේ යෙදී තිබුණු සිංගප්පූරු ගමනට සූදානම් වීම පිණිසය. තමන්ට මෙයට මාස දෙකකට පෙර කළ හෘද සැත්කම සම්බන්ධ පරීක්ෂණයක් සඳහා ගෝඨා සිංගප්පූරුව බලා පිටත්වූයේ දින තුනක් එහි රැඳී සිටීමට අධිකරණයෙන් ද අවසරය ලබාගනිමිනි. ඔහු සිංගප්පූරුවේ වෛද්‍ය සිවනාදන්ගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දුන් බ්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධාන ගිවිසුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් කෙරිණි. මෙම අවස්ථාව ශ්‍රී.ල.නි.ප සංවිධායකයන් හා ජ්‍යෙෂ්ඨයෝ රැසක්ම එක්වූහ. ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් ලේකම් දයාසිරි ජයසේකර මහතාත් පොහොට්ටුව වෙනුවෙන් එහි ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාත් ගිවිසුමට අත්සන් කළහ. ගිවිසුම අත්සන් කිරීමට නියමිත වූ දිනයට පෙරදා පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ගේ මව හදිසියේ මරණයට පත්වූවාය. නීතීඥ සාගර ගිවිසුම් අත්සන් කරන්නට ආවේ මවගේ දේහය සිය නිවසේ තිබියදී වීම විශේෂයකි.

ගෝඨාට සහය දෙන්න මෛත්‍රී කියයි

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය හිතවතුන්ටත් දේශපාලන කාර්ය මණ්ඩලයටත් උපදෙස් දී තිබුණේ පොහොට්ටුවට සහාය ලබා දෙන ලෙසයි. ඒ සමඟ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස ඔහුට සමීපව ක්‍රියා කළ නීතීඥ ශිරාල් ලක්තිලක සිය පදවියෙන් ඉල්ලා අස්වූයේ එ.ජා.පෙ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට අදහස් කරන බව කියමිනි. පසුගිය කාලයේ වතුකරයේ ජනතාව තොණ්ඩමන් මහතා සමඟ පොහොට්ටුව හා සම්බන්ධව සිටියත් ඔහු තවමත් මෙවර පොහොට්ටුවට සහය පළකර නැත. එනිසා ඉදිරි මැතිවරණ සඳහා නව තරුණ නායකත්වයක් වතුකරයේ නිර්මාණය කිරීම පොහොට්ටුව සැලසුම් කර තිබේ. දැනටමත් වතුකරයේ සමාජ සේවක කටයුතු රැසක් කරන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාට දැනටමත් ඒ සඳහා ආරාධනා කර ඇත. මුරලි සහ ඔහුගේ බිරිඳගේ මෙහෙයවීමෙන් පසුගියදා වතුකර තරුණ සංවිධාන නියෝජිත පිරිසක් කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයට කැඳවා විශේෂ සම්මන්ත්‍රණයක්ද පැවැත්වීය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ පොහොට්ටුව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු වතුකර තරුණ සමාජයට තම පාලනයක් යටතේ දියත් කරන්නට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ විස්තර කළේය. ඉදිරි කාලයේදී තවත් ප්‍රකට ක්‍රිකට් තරු ගණනාවක් වතුකරයට සම්බන්ධ කිරීම පොහොට්ටුවේ සැලසුම බව කියැවේ.

සජිත්ගේ කාර්යාලයේ වැඩ ජලනි යටතට

එජාපයේ ඡන්ද සටන වොක්ෂෝල් වීදිය කාර්යාලයේ සිට මෙහෙයවීමට තීන්දු කළ අතර ඒ සඳහා සංවිධායක මණ්ඩලයක් ද පත්කර ගැනිණි. ජලනි ප්‍රේමදාස මහත්මිය ද ඊට උදව් දීම සඳහා සහභාගී වන බව වාර්තා වේ. තිස්ස අත්තනායක, ඉම්තියාස් බකීර් මාකර් පූර්ණකාලීනව එහි සිට මෙහෙයුම් සැලසුම් කරන අතර සජිත් ප්‍රේමදාස මහතා ජන රැලි 140ක් පමණ ඇමතීමට සැලසුම් කර තිබේ. ඒ අතර නාම යෝජනාවෙන් පසු ඔහු මහනුවරට ගොස් මල්වතු අස්ගිරි හා රාමඤ්ඤ මහ නායක හිමිවරුන් මුණගැසී ආශිර්වාද ලබාගත්තේය. එහිදී මාධ්‍යවේදීහු සජිත්ගේ කටින් පසුගියදා පිටවූ ‘ශ්‍රී මුඛ’ කතාව ගැන ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් සජිත් සඳහන් කළේ තමන් ද පෘතග්ජනයෙක් නිසා වැරදීම් සිදුවන්නට ඉඩ ඇති බවය. ඒවා ඉදිරියට හදාගන්නා බවත් මාධ්‍යයට ඒවා විවේචනයට පවා ඉඩ ඇති වගත් සජිත් සඳහන් කළේය. ඒ අතර දෙමළ ජාතික සන්ධානය ද දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම ගැනයි. නමුත් ඔවුන් තවමත් නිල වශයෙන් සිය තීරණය රටට කියා නැත.

 මධුමාධව ඉල්ලන් කයි

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ස්වකීය ඡන්ද සටන ආරම්භ කළේ ශ්‍රී ලංකා පදනමේදී මාධ්‍ය අමතමිනි. තම දේශපාලන ව්‍යාපාරය ජනාධිපතිවරණයම ඉලක්ක කොට ගත්තක් නොව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගත් එකක් බව ඔහු සඳහන් කළේය. පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ධූරය දැරූ නායක මධුමාධව අරවින්ද මහතාට ඔහු දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවිය. ඊට හේතු වූයේ ඔහු විසින් කරන ලදැයි පැවසෙන මුස්ලිම් ජාතියට එරෙහි ප්‍රකාශයක් හේතුවෙනි. මධුමාධවගේ ප්‍රකාශය සමාජ ජාලා මාධ්‍යයේ පළවූ විට ඊට එරෙහිව විරෝධතා රැසක්ම ඉදිරිපත් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද සමහරු මේ ගැන පැමිණිලි කළහ. එවිට මහින්ද කළේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අමතා මේ ගැන පක්ෂය තුළින් යමක් කළ යුතු යැයි උපදෙස් දීමය. එසේ නොකළොත් මුස්ලිම්වරුන්ගේ සුහදතාව නැතිවිය හැකි යැයි මහින්ද උදයට පෙන්වා දීමටත් පෙරම උදය මේ ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තීන්දුවක් ගන්නට සැලසුම් කර තිබිණි. ඒ සඳහා මධුමාධව ද එක්වූ අතර එහිදී ඇති කරගත් එකඟතාව අනුව මධුමාධව අරවින්ද පිවිතුරු හෙළ උරැමයේ නියෝජ්‍ය නායක පදවියෙන් මෙන්ම සියලු තනතුරුවලින් ඉවත් විය. අනතුරුව තමන් මුස්ලිම්වරුන්ට එරෙහිව කළ ප්‍රකාශය ගැන කනගාටුව පළකළේය.

 

 

 

 

Rate this item
(2 votes)
Last modified on Sunday, 13 October 2019 00:18