September 16, 2019

ඊළඟ ජනාධිපතිට 19ය අදාල නැත

මේ දිනවල කොළඹ මැද පංතික බුද්ධිමතුන්ගේ තර්කය වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඊළඟට තෝරා පත් කෙරෙන ජනාධිපතිගේ සිට විධායක බලතල සියල්ල ඉවත්කර ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයෙන් තෝරා පත් කෙරෙන්නේ නාමමාත්‍රික ජනාධිපතිවරයෙකු බවය. මින් පසු පත් කෙරෙන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරයද ඇතුළු කිසිදු අමාත්‍ය ධූරයක් ඉසිළිය නොහැකි බවත් අගමැතිගේ එකඟත්වයෙන් තොර ඇමති මණ්ඩලය පත් කිරීමත් වෙනස් කිරීමත් කළ නොහැකි බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක්ද නැති බවත් එනිසාම ඊළඟ ජනාධිපති “විලියම් ගොපල්ලව” කෙනෙකු වන බවය. ඒ සඳහා අතිශය විශාල මුදලක් වැය කිරීමේ ප්‍රයෝජනයක් නැතැයිද මේ එළැඹෙන ජනාධිපතිවරණය එනිසා වර්ජනය කළ යුතු යැයිද ඇතැමුන්ගේ අදහස ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්ති අනුව නම් එය එසේ ය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වලංගු වන්නේ රටේ ජනතාව එය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන තාක් කල් පමණි. එසේ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතාව සෘජුව සහභාගි වන්නේ නම් පමණි. එය තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි ජනතා පිළිගැනීමක් තියේ නම් පමණි.

අපේ රටේ නිදහස සමග මේ තෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය. ඒ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විටින් විට ජනතාවගේ කිසිදු විරෝධයකින් තොරව ආණ්ඩු විසින් උල්ලංඝණය කර ඇත. පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව ලෙස හැඳින්වෙන්නේ එය සෝල්බරි සාමිගේ මැදිහත්වීමෙන් ලියැවුනු හෙයිනි. එහි 29 වන වගන්තිය සුවිශේෂි වගන්තියක් ලෙස ඇතුළු කරනු ලැබූයේ සුළුතර කාණ්ඩවල අයිතිවාසිකම් සුරැකීමට හා ඔවුන්ට අගතියක්වීම වළකා ලීමටය. එහෙත් නිදහස ලැබ පළමු වසරේදීම වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසිකම හා ඡන්ද බලය අහෝසි කෙරුණි. ඊට එරෙහිව සිවඥාණසුන්දරම් නැමැත්තෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර කෝඩාකන් පිල්ලේ නැමැත්තෙකු ප්‍රිවි කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එහෙත් එමගින් 29 වන වගන්තිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු නොවින.

දෙවන වරට 29 වන වගන්තිය උල්ලංඝණ කෙරෙන්නේ 1956 දී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ රාජ්‍ය භාෂා පනත සම්මත කිරීමෙනි. එයට එරෙහිව රජයේ සේවකයෙකු වූ කෝඩීස්වරන් කොළඹ දිසා අධිකරණයෙහි සිවිල් නඩුවක් පැවරූවේය. එම රාජ්‍ය භාෂා පනත විසින් ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි විනිසුරු ඕ. එල් ද ක්‍රෙස්ට තීන්දු කළේය. එම තීන්දුවට එරෙහිව ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. එහි තීරණය වූයේ රජයේ සේවකයෙකුට රැකියා කොන්දේසි සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු පැවරිය නොහැකි බවය. කෝඩීස්වරන් එම තීන්දුවට එරෙහිව නැවත ප්‍රිවි කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනතේ ව්‍යවස්ථානුකූල බව විමසා නොමැති හෙයින් එය නැවත විමසිය යුතු යැයි 1969 දී ප්‍රිවි කවුන්සලය තීන්දු කළේය. එහෙත් 1970 බලයට පැමිණි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් 1971 අංක 44 දරණ පනතින් ප්‍රිවි කවුන්සලයේ අභියාචන තීන්දු සියල්ල බල රහිත කළේය. ඒ අනුව කෝඩීස්වරන්ගේ නඩුවද අහෝසි විය.

පළමු ජනරජ ව්‍යවස්ථාව 1972 දී කෙටුම්පත් කර සම්මත කරගනු ලැබුවේ කිසිදු දෙමළ නියෝජනයක් නොමැතිවය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී දෙමළ ජනතාවට හවුල් වන්නට තිබූ අයිතිය අහෝසි කෙරුවකි.

දෙවන ජනරජ ව්‍යවස්ථාවද 1978 දී සම්මත කෙරුණේ කිසිදු ජනතා අනුමැතියකින් තොරවය. එහි ජනතාව වෙනුවෙන් යැයි ලියා ඇති සියලුම අයිතිවාසිකම් කිසිදු සමාජ විරෝධයකින් තොරව උල්ලංඝණය කෙරෙන්නේය. විශේෂයෙන් නිදහස් වෙළඳ කලාප හා කාර්මික උද්‍යාන 14 ක සහ ඉන් පිටත ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා සියල්ලේම මෙන් ලක්ෂ 04 ක් පමණ සේවක සේවිකාවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මූලික අයිතිවාසිකම් ලෙස අනු ව්‍යවස්ථා අංක 14(1)(ඈ) යටතේ ඇති වෘත්තීය සමිති සංවිධානය කිරීම හා එහි සාමාජිකත්වය ලබා ගැනීම ආයෝජන මණ්ඩලයේ පරිපාලන කටයුතු හරහා සහ පසුගාමී හාම්පුතුන්ගේ අශීලාචාරකම් මත මුලුමනින්ම වාගේ අහෝසිකර ඇත.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අංක 12(2) යටතේ වාර්ගික, ආගමික, ලිංගික්වය, කුලය, වයස, හෝ වෙනත් කිසිදු වෙනස්කමක් නොතකා සහතික කර ඇති “සමානාත්මතාව” තමන්ට සහතික කර ඇතැයි අද මුස්ලිම් ජනතාවට කිව හැකිද? කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි සම්බන්ධව එය කෙතරම් වලංගුද? අයිතිවාසිකම් ඉල්ලා උතුරේ උපවාස කරන, විරෝධතා පවත්වන දෙමළ ජනතාව “සමානයින්” ලෙස සැළකෙන්නේද? 

“පරමාධිපත්‍ය” ජනතාව සතු හා කිසිදු අයුරකින් ජනතාවගෙන් වෙන්කළ නොහැකි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු පරිච්ඡේදයේ 03 වන අනු ව්‍යවස්ථාවෙහි සඳහන් වන්නකි. පරමාධිපත්‍ය සහතික කෙරෙන්නේ සර්වජන ඡන්දයද ඇතුලත්වය. එහෙත් කිසිදු ජනතා විරෝධයක් නොමැතිව ස්වාධීන මැතිවරණ කොමිසමද හවුල්ව අවුරුදු 02 ට වැඩි කාලයක් පළාත් සභා සඳහා තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට ඇති අයිතිය ආණ්ඩුව උල්ලංඝණය කර ඇත. 

මේ සියල්ල විස්තර කරන්නට හේතු වූයේ අධ්‍යයන සාකච්ඡාවන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වගන්ති විග්‍රහ කෙරෙන පරිදි සජීවි සමාජයක භාවිත නොවන බව කීමටය. එනිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැනවෙන සීමා වලංගු වන්නේ ඒවා ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට ජනතාව ඉල්ලා සිටින්නේ නම් පමණි. අවාසනාවකට මෙවර ජනාධිපතිවරණය සඳහා සිංහල බෞද්ධ අන්තවාදී ඉල්ලීම් ජනප්‍රිය ඉල්ලීම් බවට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පත්ව ඇත. ඒ අනුව හැම දේශපාලන සන්ධානයක්ම ශක්තිමත් සිංහල බෞද්ධ ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිටින්නේය. ඒ ජනාධිපති තෝරා පත් කෙරෙන්නේ නාමමාත්‍රික ජනාධිපතිවරයෙකු ලෙස දිවුරුම්දීමට නොවේ. එබැවින් මෙවර ජනාධිපතිවරණය පැවැත් වෙන්නේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් අභියෝග කරමින් ය.

එවගේම තේරුම්ගත යුත්තේ නව ජනාධිපති දිවුරුම් දුන් විගස මේ පාර්ලිමේන්තුවේ අද පවතින සංයුතිය එළෙසින් නොපවතින බවය. අති දූෂිත දේශපාලන සංස්කෘතියක නව ජනාධිපති වටා සියල්ලන් රොක් වනු ඇත. ජනාධිපතිවරණයේ සිට තෙමසක් ඇතුළත පාර්ලිමේන්තුවද විසුරුවා හැරෙන්නේය. ඔහුට අවශ්‍ය වුවහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා අලුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් හවුල්වීම නියතයකි.

එසේ නොවුනත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාට ය. ඔහු අමාත්‍ය මණ්ඩල රැස්වීම්හි මුලසුනද දරන්නේය. එවැනි පසුබිමක, ඔහුට අවශ්‍ය හිටපු හමුදා නිලධාරීන් හෝ සමීපතම ඥාතීන් හා හිතවතුන් අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත් කළහොත් කැබිනට් ඇමතිවරුන් නාමමාත්‍රික වරප්‍රසාදලාභීන් බවට පත්වනු ඇත. එබැවින් ඉදිරි ජනාධිපතිවරණය පත්වනු ඇත්තේ තවත් “විලියම් ගොපල්ලව” කෙනෙකු පත් කිරීමට නොව, යළි විධායක බලය අතට ගන්නා ජනාධිපතිවරයෙකු පත් කිරීමටය.  

(කුසල් පෙරේරා)

Rate this item
(0 votes)
Last modified on Monday, 09 September 2019 11:52

Related items