March 24, 2019

ඉන්දියානු පකිස්ථානු ශාපය ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද ?

ඉන්දියාව සහ පාකිස්තානය අතර අතීතයේ පටන්ම දේශසිමා  සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටලු පවතින රටවල් දෙකක් ලෙස දැක් විය හැකිය. දෙරටවල් අතර අතීත සබඳතා පිළිබඳ සැලකූ  කල  එහිදී විශේෂයෙන්ම දැකිය හැක්කේ සහයෝගීතාවය සහ සමාදානයෙන් අපගමනය වූ  ගැටලුකාරී සහ යුධමය වාතාවරණයක් පමණි. ප්‍රධාන වශයෙන් රටවල් දෙක අතර අවස්ථා හතරකදී සැලකිය යුතු මට්ටමේ යුද්ධ ගැටුම් 1947,1965,1971, හා 1999 දි පැවතුණි. සැලකිය යුතු මට්ටමේ යුධදමය වාතාවරණයන්  ලෙස එසේ සඳහන් කළත් රටවල් දෙක විසින් පොදුවේ  අයිතිවාසිකම් කියන නිරන්තරයෙන් ප්‍රශ්න සහගත කාශ්මීර දේශ සීමා  සම්බන්ධයෙන් ගැටලු හා  ගැටුම් නිරන්තරයෙන් දේශසීමා ආශ්‍රිතව පැවතීම දෙරට අතර නිරන්තරව දක්නට ලැබෙන්නකි.

එලෙස දෙරට අතර පැවතුනු  ඇතැම් සුළු මට්ටමේ  ගැටුම්කාරී තත්වය අතරින්  නැවත වාරයක් ඉන්දියානු -පකිස්තාන යුද වාතාවරණයක් කරා  මූලාරම්භයක්  යුධ නිමිත්තක් සැකසීමක්  ලෙස අද දින කාශ්මීර් භූමියේ පාකිස්තානු  ගුවන්සීමාව හරහා යෑමට  උත්සාහ   දරුවායයි  යැයි පැවසෙන ඉන්දියානු යුධ ගුවන් යානා දෙකක් වෙත ප්‍රහාර එල්ලකොට   බිම හෙළීමේ සිද්ධිය සමග ඉන්දියානු - පකිස්ථාන දේශපාලනය තුළ පමණක් නොව සමස්ත දකුණු ආසියාතික කලාපයේම උණුසුම්කාරී තත්වයක් පැන නැගීමට හේතු පාධක වී ඇත.

කලාපීය වශයෙන් ගත්කල දකුණු ආසියාතික රටවල් තුල කලාපයේ ප්‍රධාන බලවතා ලෙස ආර්ථික, දේශපාලනික සහ සමාජයීය වශයෙන් ඉන්දියාව බලවත් ලෙස නැගී සිටී. එමෙන්ම දකුණු ආසියාතික කලාපයේ රටවල් වල පවතින අන්තර් ජාතික සබඳතා සහ අනෙකුත් ජාත්‍යන්තර මට්ටමේ සබඳතා කෙරෙහි ඉන්දියාව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව නොරහසකි. එක් අතකට කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්කල කලාපයේ රටකට ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂාව පිලිබදව  තර්ජනයක් පැමිණීම  ඉන්දියාව හා සමස්ත  දකුණු ආසියාව සම්බන්ධයෙන්ම වන  කලාපීය තර්ජනයක් ලෙස ඉන්දියාව සාමාන්‍යයෙන් සලකයි.

 ශ්‍රී ලංකාව ගත් කල දකුණු ආසියාතික  කලාපයේ රටක් ලෙසත් ඉන්දියානු සාගරයේ පිහිටා ඇති  සුවිශේෂී භෞතික පිහිටීම විශේෂයෙන්ම යුධඋපක්‍රම සහ උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් බවක් උසුලයි. එමනිසා  නිසා අසල්වැසි ඉන්දියාව පමණක් නොව චීනය, ඇමරිකාව වැනි රටවල් දුර ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව හා විවිධ සබඳතා ගොඩ ගොඩනැගීමට උත්සහ දරමින් ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම, ඔවුන්ගේ දේශපාලනික සහ යුද සහ උපාය මාර්ගික වශයෙන් පාවිච්චි කිරීම් උදෙසා උත්සහ දරා ඇති බව නොරහසකි.

එක්තරා අතකට ලෝක මහා බලවතුන් ලෙස සැලකෙන ඇමෙරිකාව රුසියාව චීනය වැනි රටවල් අතර පවතින සීතල යුද්ධයක්, ආසියානු කලාපයේ මෑතකාලීන ඉන්දියානු පිබිදීමක් පිළිබඳ විශේෂයෙන් චීනය වැනි රටවල් වපර ඇසකින් බැලීම මේ සන්දර්භය තුළ  ප්‍රධානතම කාරණයක් වී ඇත.

එවන්වූ පසුබිමකදී යම්කිසි  ආකාරයකින් ඉන්දියාව සහ  පාකිස්තානය අතර තත්කාලීනව පවතින ගැටලුකාරී තත්වය  නැවත වාරයක් යුද්ධයක් කරා එළඹුණහොත් , එය එක් අතකට පාකිස්ථානය වෙනුවෙන් සහයෝගය  දීමට සදහා රාජ්‍යයන් එකතු වීමක් දක්නට ලැබිය හැකි වන අතර අනෙක් අතට එහිදී ලැබෙන යුධමය පිඩනයට  මුහුණ දීමක් වශයෙන් ඉන්දියාවද තම බලය වර්ධනය කරගැනීමටත්, තම ආරක්ෂාව කලාපයේ  මායිම් තුළ තරකර ගැනීමටත් උත්සහ  ගැනීමක් අපේක්ෂා කළ හැක. අනෙක් අතට ඉන්දියාවට  විරුද්ධව අනෙකුත් රාජ්‍යයන් එක්කාසු වීමක් සිදුවුවහොත් එහිදී ඉන්දියාවට යාබද දූපත් විශේෂයෙන් ලංකාවට  උතුරු  ප්‍රදේශවල පවතින ලංකාවට අයත් දූපත් සහ ශ්‍රී ලංකාවේ වරායන් මෙන්ම ගුවන් තොටුපළවල් ද ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීම සිදුවීය හැකිය. මෙන්ම මාලදිවයින් දූපත් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

කරුණු කාරණා කෙසේ වුවත් ජාත්‍යන්තර වශයෙන් පවතින ජාත්‍යන්තර නීතියත්, රටවල් වලට උරුම වී ඇති ස්වාධිපති බලය යන කරුණු කාරණා තුළ සහ ජාත්‍යන්තර වශයෙන් අත්සන් තබා ඇති ප්‍රතිපත්ති සහ ප්‍රඥප්ති සහ ගිවිසුම් වලින් බැහැරව කිසිදු රටකට කටයුතු කළ නොහැකිය. එනමුදු වර්තමානයේ රට රටවල් අතර පවතින ගැටුම් වල දී සහ දේශ සීමා ප්‍රශ්නවලදී රටවල් විසින් ජාත්‍යන්තර නීතිය කඩ කොට කටයුතු කරන අවස්ථා බොහෝ සෙයින් දැකගත හැක.

එබැවින් ශ්‍රී ලංකාව තිස් වසරක ශාපලත් කුරිරු යුද්ධය අවසාන කොට සංවර්ධනය කරා පියමනින අවස්ථාවේදී, ඉන්දීය පකිස්තානු ගැටුමට රටක් වශයෙන්  සම්බන්ධ නොවී, කලාපීය වශයෙන් භෞමික සාමාජිකත්වයක් ලැබූ පමණින් වෙනත් රාජ්‍යයන් අතර පවතින ගැටලුවල ශාපයේ වින්දිතයන් බවට පත්වීමට ඉඩ නොතබා නිසි බලධාරීන් විසින් ජාත්‍යන්තර සංවිධාන දැනුවත්කොට ශ්‍රී ලංකාව කෙරෙහි අවශ්‍ය වන ආරක්ෂාව සහ රැකවරණය සහ ස්වාධීනත්වය ප්‍රකාශ කොට  නිසි ඉදිරි කටයුතු අවස්ථානුකූලව ගැනීම වැදගත් බව මෙහිදී දැක්විය හැක.

සමාජ විශ්ලේෂක ,

නීතිවේදී තුෂාර රණසිංහ

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 February 2019 15:39