September 20, 2019

බමුණු කුලය සහ මෛත්‍රි

මාර්ටින් වික්‍රමසිංහයන් කියන ආකාරයට මෙරට දේශපාලනයේ බමුණු කුලයක් ඇත. එයින් වික්‍රමසිංහ දේශපාලන පන්තියක් අදහස් කළේය. බමුණු කුලය ඉංගී්‍රසීන්ගේ නිර්මාණයක් විය. ඉංගී්‍රසීන්ගේ අධ්‍යාපනයෙන් හා සංස්කෘතියෙන් පෝෂණය වී ඉංගී්‍රසි ආර්ථිකය හා ඉංගී්‍රසි දේශපාලන ව්‍යුහ පදනම් කරගෙන බමුණු කුලය නිර්මාණය විය. පනස් හයේ දේශපාලන පෙරළිය පදනම් කරගෙන වික්‍රමසිංහයන් කල්පනා කළේ ඒ බමුණු කුලය බිඳ වැටුණු බවයි. එහෙත් වර්තමාන දේශපාලන සන්දර්භය දෙස බැලීමේදී පෙනී යන්නේ දේශපාලන බමුණු කුලය තවමත් බිඳ වැටී නැති බවයි.

සුද්දාගෙන් නිදහස ලැබුණු දා පටන් බමුණු කුලය සහ බමුණු නොවන කුලය මෙරට දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් නොනවතින දේශපාලන අරගලයක අද දක්වාම යෙදී සිටී.

සමස්ත ජනගහනයෙන් සියයට විස්සක් පමණ වෙතැයි අනුමාන කළ හැකි මෙකී බමුණු කුලයත්, සියයට අසූවක් පමණ වෙතැයි අනුමාන කළ හැකි බමුණු නොවන කුලයත් විවිධ පක්‍ෂ, පාට, ජාති, ආගම් තුළට ගොනු වී සිටිති. එහෙත් වැඩිදුර කල්පනා කරන්නේ නම්, දේශපාලන බලය සඳහා වූ අරගලය තුළ බමුණු කුලයටත්, බමුණු නොවන කුලයටත් පක්‍ෂ, පාට, ජාති, ආගම් පදනම් වලංගු නැති බව ඒත්තු යා යුතුය.

බමුණු නොවන බලය

මේ රටේ බමුණු කුලය සෑම විට බලයට පැමිණියේ බමුණු නොවන කුලයේ ඡන්දයෙනි. බණ්ඩාරනායක 1956දී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියා ආමන්ත්‍රණය කර පෙළ ගැස්වූයේද, 1977 ජේ.ආර්. ජයවර්ධන විසින් ආර්. ප්‍රේමදාස ඉදිරියට දමා එක්කාසු කර ගත්තේද, විජය කුමාරතුංගට සහ බහුජන දේශපාලන ව්‍යාපාරවලට තුරුල් වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා 1994දී රැලි නැඟුණේද, කුරහන් සාටකයක් සහ උඩු රැවුලක් පැලඳ මහින්ද රාජපක්‍ෂ දිනාගත්තේද ඒ බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයයි.

අනෙක් අතට වේලුපිල්ලේ ප්‍රභාකරන් වටා එකතු වූයේද, දෙමළ බමුණු කුලයේ ටී.එන්.ඒ. සංවිධානයට දේශපාලන බලය ලබා දෙන්නේද මාක්ස්වාදය හොඳින් කියවූ අෂ්රොෆ් පොදු මුස්ලිම් නායකයකු ලෙස මතු කරවූයේද එකී බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයයි. එසේම මෙරට සාම්ප්‍රදායික වාම බලවේගය සහ රෝහණ විජේවීර විසින් ගොනු කරවූයේද එකී බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයි.

අවසානයේ බමුණු නොවන කුලයේ මහින්ද රාජපක්‍ෂ පරද්දන්නට එම කුලයේම මෛත්‍රිපාල සිරිසේන ඉදිරියට දමා රනිල් - චන්ද්‍රිකා - මංගල විසින් යහපාලනයක් වෙනුවෙන් පෙළ ගැස්වූයේද, රනිල් වික්‍රමසිංහට තවමත් රාජ්‍ය නායකයා වෙන්නට ඉඩ නොදෙන්නේද එම බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයයි.

හීලෑ නොවුණු මෛත්‍රි

මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කරන්නට බමුණු කුලයට මෙවර ජාත්‍යන්තර නූතන ලිබර්ල්වාදී බලවේගද සහාය විය. මෛත්‍රිපාල සිරිසේන ඉදිරියට දමා බලයට පැමිණි බමුණු කුලය උත්සාහ දැරුවේ මාස කිහිපයකින් මෛත්‍රි දේශපාලනයෙන් අතුගා දමා බමුණු කුලයේ බල ව්‍යාපෘතිය සාර්ථක කර ගන්නටය. ඒ සඳහා ආකර්ෂණීය දේශපාලන අරමුණක් බමුණු කුලය විසින් ඉදිරියට ගෙනාවේය. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

එහෙත් මෛත්‍රි ජනාධිපති වූ පසු රනිල් - චන්ද්‍රිකා - මංගලගේ බමුණු කුල බල ව්‍යාපෘතිය ව්‍යාකූල කළේය. ඒ මාස කිහිපයකින් දේශපාලනයෙන් අහෝසි වී යන්නට මෛත්‍රිට ඕනෑ නොවීමෙනි. එතැන් සිට රනිල් - චන්ද්‍රිකා - මංගලගේ බමුණු කුලයත්, මෛත්‍රිගේ බමුණු නොවන කුලයත් එකම ආණ්ඩුවක් තුළ හිඳිමින් බමුණු කුලයේ සහ බමුණු නොවන කුලයේ දේශපාලන අරගලය ඉදිරියට ගෙන ගියේය. මෛත්‍රි දැක්කේ එය සංස්කෘතික ප්‍රශ්නයක් ලෙසිනි. එහෙත් සැබැවින්ම එය සංස්කෘතික ප්‍රශ්නය ස්වරූපයක් ගත පන්ති දෙකක් අතර දේශපාලන අරගලයක්ම විය.

මෙම අරගලය කූටප්‍රාප්ත වූයේ ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස මෛත්‍රි විසින් පිළිගැනීමත් සමඟය. එම කූටප්‍රාප්තිය මාස දෙකකට සීමා වුවත්, එය මෙරට දේශපාලනය නැවත තීරණාත්මක සංධිස්ථානයකට ගෙන ආවේය. ඒ ඔක්තෝබර් 26 වැනිදා සිද්ධියෙන් මෛත්‍රි - මහින්ද එකතුවීම හරහා මේ රට දේශපාලනය නැවත බමුණු කුලය හා බමුණු නොවන කුලය ලෙස එහි ස්වාභාවික බෙදුම් ලක්‍ෂ්‍යය පදනම්ව බෙදී යෑමයි.

එහෙත් ඔක්තෝබර් 26දා පෙරළිය පරද්දන්නට බමුණු කුලයට ජාත්‍යන්තර නූතන ලිබරල්වාදී බලවේග ආධාර උපකාර කළේය. එම සහාය බමුණු නොවන කුලයට ලැබුණේ නැත. එයට එක් හේතුවක් වන්නේ ජාත්‍යන්තර නූතන ලිබරල්වාදී බලවේගය මෙරට තුළ නියෝජනය කරන්නේ රනිල් - චන්ද්‍රිකා - මංගලගේ බමුණු කුලය මිස මෛත්‍රි - මහින්දගේ බමුණු නොවන කුලය නොවීමයි. එහෙත් මෛත්‍රි - මහින්දට එරෙහි සටන බමුණු කුලය සහ බමුණු නොවන කුලය අතර සටනක් බව නොපෙන්වීමට බමුණු කුලයත්, නූතන ලිබරල්වාදී බලවේගත්, පරෙස්සම් වූහ.

ඒ වෙනුවට ඔවුන් එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අරගලයක් බවට පෙන්වීය. ඒ නිසාම බමුණු කුලයේ එම සටනට බමුණු නොවන කුලයෙන් බිහිව ආ චම්පික රණවකලා, අනුර කුමාර දිසානායකලා පවා සම්මාදම් වූහ. බමුණු කුලය විසින් බමුණු කුලයේ පැවැත්ම ආරක්‍ෂා කිරීම උදෙසා ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවම චම්පිකලාටත්, අනුරලාටත් බමුණු නොවන කුලයට එරෙහිව නැඟිටින්නට වලංගු හේතු නිර්මාණය කර දුන්නේය.

බමුණන්ට එරෙහිව මෛත්‍රි

යහපාලනය මෛත්‍රි ඉදිරියට දමා බලයට පැමිණ දැන් වසර හතරක් ගතවී ඇත. එය පස්වැනි වසරටත් එළැඹෙන්නේ මෙරට දේශපාලනය නැවත බමුණු කුලය සහ බමුණු නොවන කුලය අතර පැහැදිලි බෙදීමක් ලකුණු කරමිනි. එකී වෙනස කෘත්‍රිම ලෙස සමනය කරන ජාතික ආණ්ඩුවලට මේ රටේ දේශපාලන පැවැත්මක් නැත.

එහෙත් තවමත් 2015 ජනවාරි 8 දේශපාලන න්‍යාය පත්‍රය හරහා බමුණු කුලයට කොටු වුණු චම්පිකලාත්, අනුරලාත් මෙරට දේශපාලනයේ පන්ති සටන පිළිබඳ සවිඤාණිකත්වයට පැමිණ නැත. එයට රාජපක්‍ෂලාගෙ ඇතැම් අතීත කියුම්, කෙරුම් බාධාවක් බව ඔවුන් සිතන බවක් පෙනේ. එබැවින් බමුණු කුලයට එරෙහි සටනට චම්පිකලා, අනුරලා එකතු වන්නට නම් බමුණු කුලයේ සහ බමුණු නොවන කුලය අතර දේශපාලන අරගලය පුද්ගල සාධකවලට වඩා තීරණාත්මක බව ඔවුන්ට වැටහී යා යුතුව තිබේ.

ඒ අනුව බලන විට 2019 වර්ෂය දිග හැරෙන්නේ යහපාලනයේ පස්වැනි වසර ලෙස පමණක් නොවේ. බමුණු කුලයට එරෙහිව බමුණු නොවන කුලය විසින් දියත් කරන දේශපාලන අරගලයේ තීරණාත්මක වසරක් ලෙසයි.
එම සටනින් නූතන ලිබරල්වාදී ජාත්‍යන්තර බලවේගවල සහායෙන් රනිල් - චන්ද්‍රිකා - මංගල නායකත්වය දෙන බමුණු කුලය ජය ගනීද නොඑසේ නම් රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රි නායකත්වය දෙන බමුණු නොවන කුලය ජය ගනීද යන්න 2019 වර්ෂයේදී විසඳෙන එක් ප්‍රශ්නයකි. අනෙක් ප්‍රශ්නය චම්පිකලා සහ අනුරලා බමුණු කුලයට කත් අදිමින් බමුණු නොවන කුලයට එරෙහිව යන ලුම්පන්වරුන් වේද? නොඑසේ නම් ඔවුන් තමන්ගේ පන්තිය පිළිබඳ පන්ති සවිඥානිකත්වයට පැමිණේද යන්නයි.

දිනේෂ් ‍දොඩම්ගොඩ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 January 2019 13:41