March 24, 2019

මහබැංකු බැදුම්කර වංචාවේ පරීක්ෂණ ප‍්‍රමාද වූ හේතු හෙළිවෙයි

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පෙන්වා දෙති.

මහබැංකු බැදුම්කර ගනුදෙනුවට අදාළ පරික්ෂණ කටයුතුවල වත්මන් ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබද සොයා බැලීමට පසුගිය 21 වනදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර ඇති බවත්, අධිකරණ නියෝග අනුව ඔහු ඉදිරිපත් කරන ලෙස ලංකා රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත්, සිංගප්පුරු රජය මේ වන තෙක් නිසි පියවර ගෙන නොමැති බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණි.

මෙම බැදුම්කර වංචාවට අදාළව දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන්ට මෙතෙක් චෝදනා පත‍්‍ර භාරදී නොමැති බැවින් ඔවුන්ට අදාළ චෝදනා පත‍්‍ර කඩිනමින් භාරදීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. මහබැංකු බැදුම්කර නිකුතුවට අදාළ අක‍්‍රමිකතා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත බොරු සාක්ෂි ලබාදීම පිළිබද චෝදනාවට ලක් වූ චූදිතයන් සහ මෙම පරීක්ෂණවලට අදාළ සාක්ෂි විනාශ කළ චූදිතයන්ට නඩු පැවරීම මේ දක්වා ප‍්‍රමාද වී ඇති අතර, ඔවුන්ට කඩිනමින් නඩු පැවරීමේ වැදගත්කම ද මෙහිදී අනාවරණය කෙරිණි.

මහබැංකු මංකොල්ලයේ වග උත්තරකරුවන්ට අදාළ පරීක්ෂණ අවසන් කර නියමිත කාල රාමුවක් තුළ ඔවුන් වෙත නඩු පැවරීමට කටයුතු කළ යුතු බවට ද තීරණය විය. මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මෙම නඩුවලට අදාළ පනත් සංශෝධනයේ දී පාර්ලිමේන්තුවේ ආංශික කමිටුව මේ සදහා බාධා පුමුණුවා ඇති බවයි.  තව ද මෙම අතිවිශාල මුදල් අක‍්‍රමිකතාවය පිළිබද නිවැරුදි තොරතුරු ලබාගැනීම සදහා ජනාධිපති කොමිසම විසින් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට 2018-01-18 වන දින තීරණය කළ ද මේ වන විට වසරක් ගතව ඇතත්, එය සිදු නොවීම බරපතළ වරදක් හා ප‍්‍රමාදයක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැහැදිළි කළහ.

වගඋත්තරකරුවන් භාවිතා කළ දුරකථනවල හඩ පටවල මෙම පරීක්ෂණ කටයුතුවලට අදාළ වැදගත් කොටස් මකා දමා ඇති බවත්, එම හඩ පට ද විශේෂඥවරුන්ගේ නව තාක්ෂණික පරීක්ෂාව සදහා මෙතෙක් පිටරට යවා නොමැති බවත් හෙළි විය. ඉහත කරුණු අනුව මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළ ව පවත්වනු ලබන පරීක්ෂණ කඩිනම්ව සිදු කිරීමට හැකි නොවන පරිදි අදාළ ආයතනවලට බලපෑම් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මෙම සියලූ කරුණුවලට අනුව මෙම පරීක්ෂණ කඩිනම් කිරීමට සහ නියමිත කාල රාමුවක් තුළ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කිරීමත්, වෝහාරික විගණනය  ප‍්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමත් යන කරුණුවලට ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තිරණය විය. එමෙන් ම ඉදිරියේ දී මසකට වරක් මෙම පරීක්ෂණවල ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි. අදාළ පරීක්ෂණ කටයුතුවල දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, මහ බැංකුව ඇතුළු සියලූ ආයතන අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරනු ඇති බව රටේ ජනතාවගේ විශ්වාසය බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මහබැංකුවේ වැඩබලන අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරිහු මීට එක්ව සිටියහ.

Rate this item
(0 votes)