January 16, 2019

කරළියෙන් එහා: රනිල් අගමැති වූ සැණින් කල සැලසුම ලත් තැනම ලොප් වේ! පොහොට්ටුව අවුලක

දේශපාලන කරළියෙන් එහා තවමත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ ඊලඟට වෙන්නේ කුමක්ද? යන ප්‍රශ්නාර්ථයක් සමඟයි. අගමැතිවරයෙක්, නව කැබිනට් මණ්ඩලයක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති මණ්ඩලයක් පත් කිරීමත් සමග දේශපාලන අර්බුදය නිමා වනු ඇතැයි සිතුවද තවමත් ගිනි පුපුරු ලෙස දේශපාලනය ගිණියම් වී තිබේ. 

රනිල් වික්‍රමසිංහ ඉකුත් ඉරිදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සඳුදා පස්වරුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමට ඔහු පළමුව තීන්දු කර තිබුණ ද එය සාර්ථක වූයේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවේ සහායට එක්වන මන්ත්‍රීවරුන් පිළිබඳව තීන්දුවක් ගැනීමට කාලය අවශ්‍ය හෙයින් සඳුදා කැබිනට් මණ්ඩලය පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණට නොහැකි විය. ඉන්පසුව තීන්දු වූයේ පසු දින එනම් අඟහරුවාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමටය. “අඟහරුවාදා උදේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා. අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු රැස්වීමට යන්නේ අලුත් ඇමැතිවරුන්” යැයි එජාප ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක්ම කීහ. එයද ඉටු වූයේ නැත. “අගමැතිකම දෙන්න බැහැ බැහැ කිය කියා ඉඳලා දවස් පනහක් නාස්ති වුණා. පස්සේ අමාරුවෙන් ගත්තා. දැන් කැබිනට් මණ්ඩලයට ශ්‍රීලනිප ඇමැතිවරුන් ගන්නේ නැති වගක් කියනවා. මෙහෙම ගියොත් ජනාධිපතිවරයා තවත් මාසයක් විතර නාස්ති කරාවි” යැයි එජාපයේම මන්ත්‍රීවරු ඊයේ පෙරේදා චෝදනා කළෝය. “ඇමැති මණ්ඩලය පත් කිරීමත් බාලගිරි දෝෂය වගේ කල්ගියොත් ප්‍රශ්න තව තවත් වැඩි වෙනවා” යැයි ද තවත් පිරිසක් සඳහන් කළහ. කෙසේ වෙතත් ඊට විසඳුමක් ලැබිණ.

ඒ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් 29 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමත් සමගය. මෙවර ඇමැතිවරුන් දිව්රුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේ කාමරයක් ඇතුළතය. ඒ ඒ ඇමැතිවරුන් වෙන වෙනම කැඳවා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට සැලසුම් කර තිබුණේ ජනාධිපතිවරයාගේ නියෝගයක් මත යැයි ද පැවසේ. ජනාධිපතිවරයා එසේ කළේ විරෝධය දැක්වීමක් ලෙස යැයි ද ඇතැම්හු කියති.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය සඳුදා රැුස්වුණේ එළඹෙන පාර්ලිමේන්තු දිනයේදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටය. ”පළවෙනියට එන කාරණය තමයි විපක්ෂනායක ධුරය පිළිබඳ කාරණාව.” බිමල් රත්නායක කීය. ”මීට කලින් ආණ්ඩුව එජාපය සහ එජනිස ජාතික ආණ්ඩුවක්. නමුත් දැන් එජනිස පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහය නොදෙන්නේ නම් විපක්ෂ නායක ධුරය ලැබෙන්න ඕන එජනිසටයි.” අනුර දිසානායක කීවේය. ”ඔව්, තනතුරු ගැන ප‍්‍රශ්න එයාල විසඳගත්තාවේ. අපිට නම් වැඩකරන්න තනතුරු ඕන නෑ. අපි අපේ වැඬේ හිරියට කරනවා කියලා ජනතාව දන්නවා” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”නමුත් මෙහෙම ප‍්‍රශ්නයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත නිසා මන්ත‍්‍රීකම ගැන ප‍්‍රශ්නයක් මතුවෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂට විතරක් නෙවෙයි ගොඩක් අය සාමාජිකත්වය ගත්තා පොහොට්ටුවේ” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ”ව්‍යවස්ථාවට අනුව නම් ප‍්‍රශ්නයක් තියෙනවා. වෙන පක්ෂයක සාමාජිකත්වය ගත්තාම මාසයක් ඇතුළත මන්ත‍්‍රී ධුරය අහෝසි වෙනවා. ඒවා ඒ ඒ පක්ෂ අතර ප‍්‍රශ්න. අපි ඒවට මැදිහත් වෙන්න ඕනෑ නැහැ. මේ වෙලාවේ විපක්ෂයේ බහුතරය තිබෙන්නේ එජනිසටයි.” විජිත හේරත් කියා සිටියේය.
රට හොල්ලපු දින 50න් පස්සේ අපේ රටේ හැම දෙනාම විධායක ජනාධිපති ධුරයේ තරම හොඳින් තේරුම් අරගනෙ තියෙනවා. ජනාධිපතිකම නැතිවුණාම රට අස්ථාවර වෙනවා, අරාජික වෙනවා, ජනතාවගේ අයිතිවාසිකම්වලට තර්ජන එනවා කියපු හැමදෙනාටම හොඳ උත්තරයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය උඩට ගන්න ඕනෑ.” අනුර දිසානායක යෝජනා කළේය. ”18වැනිදා පාර්ලිමේන්තු රැුස්වීමෙදි අපි මේ ගැන කල්තැබීමේ විවාදයක් ඉල්ලමු. ඒකෙදි අපේ ස්ථාවරය රටට කියන්න පුළුවන්.” බිමල් රත්නායක කීවේය. ඒ අනුව වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයාගේ යෝජනාවක් ලෙස කල්තැබීමේ විවාදය පිළිබඳ ලිපියක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට තීරණය විය.

ජවිපෙ තමයි හරි වෙලාවට හරි තීන්දුව ගත්තේ..

ඔක්තෝබර් 26වෙනිදා සිදුවූ දේශපාලන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ජවිපෙ ගත් ස්ථාවරය ඉතාම පැහැදිලි නිරවුල් එකක් බව නීති ක්‍ෂේත‍්‍රයේද කතාබහක් ඇති වී තිබේ. ”ජනාධිපති නීතිඥවරු පවා ජවිපෙ ගත්ත තීන්දු තීරණ ඉතාම පැසසුමට ලක් කලාලූ. දුරදිග හිතලා නිවැරදිව ගත්ත තීන්දු බව අධිකරණ තීන්දුවෙන්ම ඔප්පු වුණා කියලා වටගල සහෝදරයාට නීතිඥවරු බොහෝ පිරිසක් කියලා තිබුණා. ඒ වගේම නීතිඥයින් අතරේ ලොකු ඇගයීමක් අපේ පක්ෂයට තියෙනවා.” විජිත හේරත් මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමේදී කියා සිටියේය. ”ඔව්, මටත් කිහිප දෙනෙක් කතා කළා ලෝයර්ස්ලා. කුමන්ත‍්‍රණය සිදුවුන වෙලාවේ ඒක පරද්දන්න පෙළගැහෙන්න කියලා මුළු රටේම පෝස්ටර් ගැහුවේ අපි. ඊට අමතරව පාරේ බැහැලා උද්ඝෝෂණ සංවිධානය කළා. අධිකරණ තීන්දුව දුන්න දවසේ රටේම පෝස්ටර් ගැහුව්වා. මහින්ද ඉල්ලා අස්වුණ දවසේ කොළඹ රැුලියක් කළා. මීට වඩා සැලසුමක් තව කොහෙද? රනිල්ට තිබුණේ අගමැතිකම බේරගන්න සීමාව විතරයි. අපි තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියේ. ඒක තවම ඉවරයක් නැහැ. මේ සටන ඉදිරියටත් ගෙනියන්න ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

ජනාධිපතිට නීති උපදෙස් දුන්නේ කවුද කියලා තාම හොයනවලූ

පාර්ලිමේන්තුව විසුරුවීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට එරෙහි ශේ්‍්‍රෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසුව නීති ක්‍ෂේත‍්‍රයේ තර්ක විතර්ක පිළිබඳව අවසන් නිගමන සමාජගත වෙමින් තිබේ. ඇතැම් නීතිඥයින් විසින් දේශපාලන වුවමනාව මත ඉදිරිපත් කළ විතර්ක මොනවාද යන්නත් ඇත්ත වුවමනාවෙන් ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කළ තර්ක මොනවාද යන්නත් දැන් දැන් ජනතාවට පසක් වෙමින් තිබේ. මේ අතර නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතිඥ එකමුතුව ලෙස මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කර තිබිණි. මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී, ජනතා නීතිඥ සංගමයේ සභාපති සුනිල් වටගල, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ජනාධිපති නීතිඥ ලාල් විජේනායක ඇතුළු නීතිඥයෝ කණ්ඩායමක් සහභාගි වූහ. මෙහිදී ක්‍ෂේත‍්‍රයේ ඇතැම් කරුණු කාරණා ගැන මාධ්‍ය හමුව ආරම්භ කිරීමට පෙර කතාබහට ලක්විය. ”ජනාධිපතිතුමා කියලා තිබුණා එයා ගත්ත තීන්දු තීරණ සියල්ල නීති උපදෙස් අනුව කළේ කියලා. ඒත් ඒ නීති උපදෙස් දීලා තියෙන්නේ සද්භාවයෙන්ද කියලා ගැටලූවක් තියෙනවා.” යැයි මාධ්‍ය හමුවට ආ නීතිඥයෙකු විහිළුවට මෙන් කියා සිටියේය. ”ඇත්ත තමයි කතාව, මම ඔය කතාව නිසාම ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු කිහිප දෙනෙක්ගෙන් ඇහුවා ඔයාද ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ කියලා. හැම කෙනාම කිව්වේ අපි ඔය වගේ උපදෙස් දෙනවද කියලා. කරන්න දෙයක් නැති නිසා නඩුවට පෙනී ඉන්නවා කියලා.” සුනිල් වටගල කියා සිටියේය. ”ඒ විතරක් නෙවෙයි බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රබලයෙක් මට කිව්වේ ජනාධිපති එහෙම උපදෙස්වලට වැඩ කරන මිනිහෙක් නෙවෙයි කියලා. ඔළුවට එන හැමදේම කරනවලූ. ඉතිං මම ඇහුව්වා රටට වෙලා තියෙන දේ ගැන පොඩි හරි දුකක් නැද්ද කියලා. මොන පිස්සුද කාමරේට වෙලා හිනා වෙවී ඉන්නවා කිව්වා. ඒක තමයි අපේ රටේ ජනාධිපතිගෙ තත්වේ.” සුනිල් වටගල වැඩිදුරටත් කියා සිටියේය.

හදුන්නෙත්තිගෙ කතාවෙන් කෙටි කතාවක්

වරාය අධිකාරියේ සමුපකාර සමිතියේ පාලනය සිදුකරන්නේ ජවිපෙට අනුබද්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසිනි. එමගින් පසුගියදා වරාය අධිකාරියේ සේවකයින්ගේ පහවසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානොත්සවයක් සංවිධානය කර තිබිණි. එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිය. ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තෑගි ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා දරුවන් අමතා ඉතා වැදගත් කතාවක් කළේය. ”ඉන්දියාවේ අබ්දුල් කලාම් මහතා එරට සාමාන්‍ය පවුලක සාමාජිකයෙක්. එතුමා රටේ ඉහළම තනතුර වන ජනාධිපති තනතුර දක්වා ආවා. හොඳින් අධ්‍යාපනය ලබා ඉන් රටට සහ ජනතවගේ සුබසිද්ධියට සේවයක් කළා. මේ ලෝකය වෙනස් කළ සෑම පුද්ගලයෙක්ම හොඳින් අධ්‍යාපනය ලබූ අය. අධ්‍යාපනය හොඳින් ලැබූවකු යමක් කිරීමට ප‍්‍රථමව ඒ පිළිබඳව දෙවරක් සිතනවා. පාසල් සිසුන් වූ ඔබත් යමක් කිරීමට පෙර දෙවරක් සිතන්නේ නම් වැරැුදි සිදුවෙනවා අඩුයි. අධ්‍යාපනයෙන් පෝෂණය වූ විට තමාට පමණක් නොව අසල්වැසියාටද අයහපතක් සිදු කරන්නේ නැහැ. ඒ නිසායි මිනිසකු පළමුව අධ්‍යාපනයෙන් සන්නද්ධ විය යුතු බවට ලෝක මතයක් තිබෙන්නේ. නූගත් සහ අධ්‍යාපනයෙන් හික්මවීමක් නොලද පිරිසට පාර්ලිමේන්තුවේ දොර වැසුණේ නම් පාර්ලිමේන්තුවේ පසුගියදා සිදුවූ අයහපත් සිදුවීම් සිදුවෙන්නේ නැහැ.” හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කියා සිටියේය. උත්සවය අවසන් වූ පසුව එක් මවක් වරාය වෘත්තීය සමිතියේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ වෙත පැමිණ ඉල්ලීමක් කළාය. ”මේ මගේ දුව. දුව කෙටි කතා ලියනවා. දුව කැමතියිලූ මන්ත‍්‍රීතුමාගෙ කතාව ගැන කෙටි කතාවක් ලියන්න. එහෙම කළාට කමක් නැද්ද කියලා දුව අහනවා.” මව ඉතා ඕනෑකමින් විමසා සිටියාය. ”හොඳ අදහසක්. අපෙන් මොනවද ¥වට කෙරෙන්න ඕනෑ. හොඳ දේවල්වලට අපි ඕනෑම උදව්වක් කරනවා.” දුවට සුභපතමින් චන්ද්‍රසිරි මහගමගේ කියා සිටියේය.

දුමින්දගෙන් ජනපතිට දුක්ගැනවිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී රැස්වූයේය. දේශපාලන අර්බුදය යම් සන්ධිස්ථානයකට පැමිණ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයට පත් වූ පසුව රැස්වූ ප්‍රථම මධ්‍යම කාරක සභා රැස්වීම ද එය වීම විශේෂත්වයකි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව උණුසුම් ස්වරූපයක් ගත්තේය. වෙනදා මෙන් ජනාධිපතිවරයාත්, මධ්‍යම කාරක සභිකයනුත් අතර සුහදතාවයක් දකින්නට තිබුණේ නැත. මධ්‍යම කාරක සභාව අතරමැදදී දයාසිරි ජයසේකර අදහස් දක්වන්නට පටන් ගත්තේය. ඔහු සභාව ඇවිස්සෙන සුළු යෝජනාවක් ඉදිරිපත් කළේය. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට ගියා. එහෙම යන්න බැහැ. ඔවුන්ට එරෙහිව විනය පියවරක් ගන්න ඕනේ” දයාසිරි තරමක් තද ස්වරූපයෙන් ප්‍රකාශ කළේය. දයාසිරිගේ කතාව දුමින්ද දිසානායකට සහ මහින්ද සමරසිංහට දිරෙව්වේ නැත. “කොහොමද එහෙම කියන්නේ. අපට ඒ වගේ දෙයක් කරන්න බැහැ. එහෙම නම් පොහොට්ටුවට ගියපු අයටත් එරෙහිව විනය පියවර ගන්න ඕනේ” යැයි දුමින්ද දිසානායක කීවේය. මහින්ද සමරසිංහ ද දුමින්දගේ සහායට පැමිණියේය. මධ්‍යම කාරක සභිකයින් විවිධ අදහස් පළකරද්දී විටෙක එය ගාලගෝට්ටියක තත්ත්වයට පත්වූයේය. අවසානයේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළේය. “අපේ පක්ෂයෙන් ආණ්ඩුවට ගියපු කාටවත් මම ඇමැතිකම් දෙන්නේ නැහැ” ජනාධිපතිවරයා කීවේය. දුමින්ද දිසානායක තවදුරටත් අදහස් දක්වමින් සිය දුක්ගැනවිල්ල ද කීවේය.

“මගේ තාත්තාට රාජපක්ෂ ආණ්ඩුවෙන් නොයෙකුත් කෙණහිලිකම් වුණා. මම මීට ඉහත අවස්ථා ගණනාවකදී මේ දේවල් විස්තර සහිතව ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිතුමා තීන්දු තීරණ කිහිපයක්ම පසුගිය දිනවල ගත්තා. ඒ කිසිම අවස්ථාවක අපට මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමින් මේ වගේ තීන්දුවක් ගන්න බවක්වත් අපි දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම, ඔහු ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වගේ දේවල් අපි දන්නෙත් ඒවා වුණාට පස්සේ. අපි ඒ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන්” යැයි දුමින්ද දිසානායක ජනාධිපතිවරයාට වක්‍රව චෝදනාවක් කළේය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩකටයුතු පිළිබඳව ද මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. ලබන ජනවාරි මාසයේදී දිවයිනම ආවරණය වන පරිදි සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීම, පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම, බිම් මට්ටමේ ශාඛා සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම ආදී කටයුතු ගැන ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෝ සාකච්ඡා කළහ.

පොහොට්ටුවේ අර්බුදය උත්සන්න වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය ද මේ වන විට තරමක් උත්සන්න වෙමින් තිබෙන බව වාර්තා වේ. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් මහින්ද රාජපක්ෂ මහත්තයා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අගමැති ධුරය බාරගන්නවාට කැමැති වුණේ නැහැ. ඔහුට අගමැති ධුරය බාරගන්නා ලෙස බල කළේ වෙනත් සුළු දේශපාලන පක්ෂවල නායකයින්. මේ නිසා පොදුජන පෙරමුණේ පිරිස් මත ගැටුමක් හදාගෙන තිබෙනවා” යැයි පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ප්‍රතිසංවිධානය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවය. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කිරීමේ අරමුණින් එම පක්ෂය ද ලබන ජනවාරියේ සිට පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර දේශපාලන අරගලය ජයගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ද යම් ප්‍රවර්ධනයක් ලබා තිබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රකාශ කරති. “අපි ගෝල්ෆේස් එක සෙනඟින් පිරෙව්වා. අපට සමහරු අභියෝග කළා. අපි අභියෝගය බාර ගත්තා” යැයි මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි. මහලේකම්වරයා සඳහන් කරන්නේ ලබන වසරේ ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්ෂය ද ප්‍රවර්ධනය කිරීම ආරම්භ කරන බවය. ඉදිරියේදී මැතිවරණ සියල්ල ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බව ද ඒ සඳහා වැඩපිළිවෙළක් පවතින බව ද අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එජාපයට ඉදිරියේදී අලුත් සංවිධායකවරුන් පිරිසක් පත් කිරීමට නායකත්වය තීන්දු කර තිබෙන බවද එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පෙරමුණ මුලදී තීරණය කර තිබුණේ නැවතත් මුලින් තිබුණු ආකාරයේ ජාතික ආණ්ඩුවක් හැදීමටය. ජාතික ආණ්ඩුවක් හැදීමට නම් දේශපාලන පක්‍ෂ දෙකක් අතර ලිඛිත ගිවිසුමක් තිබිය යුතුය.  රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සාකච්ඡා කර තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ජාතික ආණ්ඩුවක් හැදීමටය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කළේය. ඔවුන්ගේද ඡන්ද සලකුණ වූයේ අලියාය. එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ “ගස” ලකුණ යටතේ එක් මන්ත්‍රීවරයෙක් මඩකළපුවට තරග කළේය. ඔහු අලි සහීර් මව්ලානාය. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකම මන්ත්‍රීවරයාය.

අගමැතිගේ සැලසුම් ලප් තැනම ලොප්වෙයි

එක් මන්ත්‍රීවරයකු පමණක් සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුමකින් අනතුරුව “එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩුව” නමින් ආණ්ඩුවක් පිහිටුවීම අගමැතිවරයාගේ අදහස වී තිබුණද එය සාර්ථක වූයේ නැත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය උපරිම තිස් දෙනෙකුට සීමා විය යුතුය. යම් අවස්ථාවක ජාතික ආණ්ඩුවක් හදන්නේ නම් පමණක් කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 45 දක්වා වැඩිකර ගත හැකිය. අගමැති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වී තිබුණේ ජාතික ආණ්ඩුවකටත් වඩා ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමය. එසේ නොවුණහොත් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන්  ආණ්ඩුව තුළ රඳවා ගැනීම අසීරුවන බව අගමැතිවරයා දැන සිටියේය. ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතා කනින් කොනින් පැතිර යද්දී අනුර කුමාර දිසානායක ඊට ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේය. “දහනව  වැනි සංශෝධනයට වසන්වෙලා ඒකෙන් රිංගන්න ඉඩදෙන්න බැහැ. මේ හදන්නේ කැබිනට් එක ලොකු කර ගන්න. මේ වේලාවේ ජාතික ආණ්ඩුවක් හදන එක සදාචාරාත්මක නැහැ” ආදී වශයෙන් අනුර දිසානායක දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේය. කෙසේ වෙතත් අවසානයේදී ජාතික ආණ්ඩු සංකල්පයද ලත් තැනම ලොප් වූයේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අවසානයේ තීන්දු කළේ තිස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටය. යහපාලන ආණ්ඩුව පැවති සමයේදී එක්සත් ජාතික පෙරමුණට කැබිනට් ඇමැති ධුර තිස් දෙකක් තිබිණ. එජාපයෙන් තීන්දුකර තිබුණේ මෙවර රවි කරුණානායකට සහ රංගෙ බණ්ඩාරට කැබිනට් ඇමැති ධුර ලබාදීමටය. එසේ වුවහොත් ඇමැති ධුර සංඛ්‍යාව 34 දක්වා වැඩිවෙන අතර අගමැතිවරයා කීවේ සිය කැමැත්තෙන් කාට හෝ ඇමැති ධුර බාර නොගෙන සිටිය හැකි බවය. එහෙත් කිසිවෙකුත් ඊට එකඟ වූයේ නැත. එවිට මලික් සමරවික්‍රම කීවේ “අගමැතිතුමනි මම අයින් වෙන්නම්” කියාය. මලික් එසේ කී විට ඔහුගේ සහායට තවත් කෙනෙක් ඉදිරිපත්  වූයේය. ඒ මනෝ ගනේෂන්ය. මනෝ කීවේ “මමත් බාර නොගෙන ඉන්නම්”  කියාය. එසේ  කීවද මනෝ ගනේෂන් ඇමැතිකමක් අපේක්‍ෂා කරමින් සිටින බව ද ඔහුට හිතවත් දේශපාලනඥයෙක් කීවේය.  අවසානයේදී මනෝ ගනේෂන්ට තිබූ ඇමැතිධුරයට අමතරව හින්දු ආගමික කටයුතුද එක්කර තිබිණ. මලික්ටද ඇමැති ධුරයක් හිමිවිය. අගමැතිවරයා යෝජනා කර තිබුණ ද රංගෙ බණ්ඩාරට සහ සරත් ෆොන්සේකාට ඇමැති ධුර හිමිවූයේ නැත. ඔවුන්ට ඇමැති ධුර ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණ.

සජිත් - රවී සීතල යුද්ධය යළිත්

 මේ අතර ඇමැති ධුර ලබාදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යෝජනාවක් කළේය. “හොරු ආයෙත් ගත්තොත් ප්‍රශ්න මතුවෙනවා. දූෂණ වංචාවලට සම්බන්ධ අයට ඇමැතිකම් දෙන්න එපා. එහෙම වුණොත් අපට මේ ගමන යන්න වෙන්නේ නැහැ” යැයි සජිත් කී කතාවට සභාවෙන් ප්‍රතිචාරයක් හිමි වූයේය. සජිත් අදහස් දක්වද්දී තවත් එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙක්  රහසින් අදහස් හුවමාරු කරගත්හ. “සජිත් ඔය ගහන්නේ රවිට. රවි සජිත් අතර සීතල ගැටුම තාමත් තියෙනවා” යැයි එම මන්ත්‍රීවරු කීහ. කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් අතර රවි කරුණානායකට කැබිනට් ඇමැති ධුරයක් හිමිවිය. තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ රවි කරුණානායක අග්‍රාමාත්‍යවරයා හමුවී තමාට නැවත මුදල් ඇමැතිකම ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබූ බවය. එහෙත් අග්‍රාමාත්‍යවරයා රවිගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබුණේය. ලැබුණු ඇමැති ධුරය පිළිබඳව රවි කරුණානායක සතුටට පත්ව නැත. ‘රවි ඉල්ලුවේ මුදල් ඇමැතිකම. ඒක නොලැබුණු නිසා ඔහු සෑහීමට පත්ව නැහැ. විදුලිබල ඇමැතිකම මට දුන්නට මම ඒක ගත්තේ නැතැයි රවි මට කිව්වා’ යැයි හිතවතකු පවසා තිබිණ.

මේ අතර මංගල සමරවීර මුලදී මුදල් ඇමැති ධුරය බාර ගත්තේ එතරම් කැමැත්තකින් නොවන බව සඳහන් වී තිබිණ. එහෙත් මංගල සමරවීර පසුව මුදල් ඇමැති ධුරයේ කටයුතු කැමැත්තකින් කරගෙන ගියේය. කෙසේ වෙතත් මංගලට මෙවරත් මුදල් ඇමැති ධුරය හිමිවිය. පොලිසිය අයත් වන නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයෙක් පත්වූයේ නැත. එම විෂය ජනාධිපතිවරයා යටතේ තබාගෙන තිබේ. 

මැතිසබේ තවත් දේශපාලන අවුලක්

කැබිනට් අමාත්‍යවරුන් පත් කර ඔවුනට අයත් විෂයන් බෙදා දුන්නද අවශ්‍ය ආකාරයට ආයතන බෙදා වෙන් කිරීමේ බලතල ජනාධිපතිවරයා සතුය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කිසියම් ඇමැතිවරයකුට යම් ආයතනයක් පවරා නොදී සිටීමේ හැකියාවද පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති. මීට අමතරව ජනාධිපතිවරයාට දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍යාංශ දෙකක් පමණක්  පවරාගත හැකිය. වර්තමාන ජනාධිපතිවරයාට පමණක් බල පැවැත්වෙන පරිදි ආරක්‍ෂක අමාත්‍ය ධුරයත් මහවැලි අමාත්‍ය ධුරයත් ජනාධිපති බාරයේය. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වර්තමාන ජනාධිපතිවරයාගෙන් පසුව ධුරයට පත්වන ජනාධිපතිවරයාට ලබාගත හැක්කේ ආරක්‍ෂක අමාත්‍ය ධුරය පමණි. මේ අතර ඒ ඒ අමාත්‍යවරුන්ගේ විෂයන් හා අයත්වන ආයතන සඳහන් ගැසට් නිවේදනය අද හෙටම පිටවනු ඇතැයි පැවසේ.

ඇමති ධුර අවුලෙන් පසුව තවත් ගැටලුවකට මුහුණදීමට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සිදුවී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන දේශපාලන අවුලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ඇති බවත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවටත් තර්ක කරමින් දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටියි. දෙමළ ජාතික සන්ධානයේ සහායට එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් එකතු වී සිටී. මේ අතර ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කර ඇත්තේ විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවීම සාධාරණ බවය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව තුළ තවත් දේශපාලන ආරවුලක් දුරදිග නොයවා සමනය කරගැනීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කටයුතු නොකළහොත් ඒ ප්‍රශ්නයද අධිකරණයට යෑමේ වැඩි ඉඩක් පවතින බවට ද දේශපාලන විචාරකයෝ මත පළකරති.  

Rate this item
(4 votes)
Last modified on Monday, 24 December 2018 01:06