November 17, 2018

අගමැති ඉවත් කිරීමට ජනපතිට බොහෝ ක්‍රම තියෙනවා

අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබදව යම් විශ්ලේෂණයක් සිදුකළයුතු බැවින් මෙම ලිපිය සකස් කළ බව සැළකුව මනාය. මේ සංවාදය මතුවන්නේ දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර ඇති බවත් ඒ අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නොමැති බවත් සිහිපත් කරමිනි. නමුත් ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කළ හැකි මාර්ග එකක් නොව පහක්ම ඇති බවත් ඉන් ක්‍රම දෙකක් සෘජු මාර්ග බවත් ක්‍රම තුනක් වක්‍ර මාර්ග බවත් මෙම ලිපියෙන් පැහැදිලි කරනු කැමැත්තෙමි.

සෘජුවම අගමැතිවරයා ඉවත් කළ හැකි පළමු ක්‍රමය - අමාත්‍ය මණ්ඩලය විසිරවීම මගින් අගමැතිවරයා ඉවත් කිරීම

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය යටතේ වන අතර එම පරිච්ඡේදය වෙන්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය යන මාතෘකාවෙනි. අමාත්‍ය මණ්ඩලය යන මාතෘකාව යටතේ ඇති වගන්ති 12කින් එක් වගන්තියක වන 44 වගන්තියේ ඇති උප වගන්ති 4න් එකක අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ හැක්කේ “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා“ ය යන්න දක්වා තිබේ. එනම් මේ ආකෘතිය තුළ අගමැතිවරයාට වඩා ප්‍රමුඛතාවක් අමාත්‍ය මණ්ඩලයට ලැබී තිබේ. අගමැතිවරයා පවතින්නේ අමාත්‍ය මණ්ඩලය පවතිනතාක් පමණක්ය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තියේ දක්වා ඇති “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් අග්‍රාමාත්‍යවරයා ස්වකීය ධුරය දරන්නේ ය“ යන්න දක්වා තිබීමෙන් පැහැදිලි වේ. එසේම, අමාත්‍ය මණ්ඩලයත් අග්‍රාමාත්‍යවරයාත් එකිනෙකට බැදී පවතින බව 48 වගන්තියේ දැක්වෙන “....අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විටෙක ... අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය“ යන්නෙන් ද තවදුරටත් පැහැදිලි වේ.

එනම් පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නොපවතින අමාත්‍ය මණ්ඩලයක් වන තත්වයක් යටතේ අග්‍රාමාත්‍ය ධුරයට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂාව අහිමි වන බවය. දෙවනුව යම් හෙයකින් හෝ අමාත්‍ය මණ්ඩලය නොපවතින්නේ ද එවිට ද  අග්‍රාමාත්‍ය ධුරයට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂාව අහිමි වන බවය.

මේ පවතින ජාතික ආණ්ඩුව නීතිමය වශයෙන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොපවතින බව දැනටමත් බොහෝ නීති විශාරදයින් විසින් පෙන්වා දී ඇති අතර ඒ අනුව මේ පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නොපවතින අමාත්‍ය මණ්ඩලයක් බව ඒ බොහෝ දෙනා පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  47(5) වගන්තිය පරිශීලනයෙන් මෙය සනාථ වේ. එනම් මේ පවතිනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ පවතින අමාත්‍ය මණ්ඩලයක් නොවන හෙයින් 46(2) වගන්තියේ දක්වා ඇති ව්‍යවස්ථාමය ආරක්ෂාව අගමැතිවරයාට හිමි නොවන බව පැහැදිලිය. 48(2) වගන්තියේ අමාත්‍ය මණ්ඩලය විසිරවිය හැකි ආකාරයක් සදහන් නොවන අතර එහි දැක්වෙනුයේ “අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය“ යන කර්ම කාරක ස්වරූපයෙනි. එනම් එය ඉබේ සිදුවන්නකි. තවද ජනාධිපතිවරයාගේ කාර්යය සහ බලතල ලැයිස්තුව දැක්වෙන 33වන වගන්තියේ (1)(අ) උප වගන්තිය වන්නේ ද “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද ආරක්ෂා කරන බවට ද වගබලාගැනීම ජනාධිපතිවරයාගේ කාර්යය විය යුතු“ බවයි. එනම් අමාත්‍ය මණ්ඩලය පවතිනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නොවන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම ජනාධිපතිවරයාගේ කාර්යයක් බවයි.

අමාත්‍ය මණ්ඩලය විසිරවීමට ජනාධිපතිවරයාට සෘජුව අවස්ථාව සළසා නොමැති නමුත් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට ජනාධිපතිවරයාට පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  50 වගන්තිය  මගින් අවස්ථාව සලසා ඇත. එනම් අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා පත්කිරීමේ බලයයි. එය සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනාධිපතිවරය අත වන අතර 50(2) අනුව ජනාධිපතිවරයාගේ විධානයන්ට යටත්ව අමාත්‍ය මණ්ඩලයේ කාර්යාලය භාරව කටයුතු කිරීම ඔහුට පැවරේ. “පත් කරනු ලබන්නා විසින් ම ඉවත් කරනු ලැබිය හැකිය“ පරිපාලන නීතිමය සිද්ධාන්තය අනුව ලේකම්වරයා ඉවත් කිරීමෙන් හෝ අමාත්‍ය මණ්ඩල කාර්යාලය වසා දැමීමට ලේකම්වරයාට විධාන කිරීමෙන් හෝ ජනාධිපතිවරයාට “අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය“ යන කර්ම කාරක ස්වරූපය තහවුරු කළ හැකි වන්නේ ය. එවිට තවදුරටත් අමාත්‍ය මණ්ඩලය නොපවතින තත්වයක් යටතේ අග්‍රාමාත්‍යවරයා ද නොපවතින්නේ ය. එනම් අග්‍රාමාත්‍ය ධුරය ඉබේ අහෝසි වන්නේ ය.

සෘජුවම අගමැතිවරයා ඉවත් කළ හැකි දෙවන ක්‍රමය - අගමැතිවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තවදුරටත් නොමැති බවට ජනාධිපතිවරයා විසින් තහවුරු කරගෙන අගමැතිවරයා ඉවත් කිරීම

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය යටතේ වන අතර අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ හැක්කේ “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා“ ය යන්න එහි දක්වා තිබේ. යම් හෙයකින් “පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු මේ අගමැතිවරයා නොවන බව ජනාධිපතිවරයාගේ මතය වන අවස්ථාවක“ තවදුරටත් මේ අගමැතිවරයා අගමැති ලෙස තබා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබිය නොහැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තිය අනුව “ඉල්ලා අස්වීමෙන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවීමෙන් හෝ හැර නීත්‍යානුකූල අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල්“ අගමැතිවරයා ස්වකීය ධුරය දරන්නේය යනුවෙන් දක්වා ඇත. තවද 48(1) වගන්තිය අනුව අගමැතිවරයා ධුරය දැරීම නතර වනුයේ “ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ යනුවෙන් දක්වා ඇත.  එනම්  අගමැතිවරයාගේ ධුරය දැරීම නතරවීම “ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ අන්‍යාකාරයකින්“ වුවද වියහැකි බවය. ජනාධිපතිවරයා නම් මියයාමෙන් ධුරය දැරීම නතර වන බව 38(1)(අ) වගන්තියේ දැක්වෙතත් අගමැතිවරයා මියයන බවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපත දක්වා නොමැත. නමුත් ඉංග්‍රිසි පිටපතට අනුව “by death, resignation or otherwise” යනුවෙන් මරණානුස්මෘතිය දක්වා ඇතත් මෙහිදී වලංගු වන්නේ සිංහල පිටපතය යන්න සළකා අපට පිළිගැනීමට සිදුවනුයේ ඒ මියයාම ද සිංහල පිටපතෙහි දක්වා ඇති “අන්‍යාකාරයකින්“ යන්න මගින් ආවරණය වන බවයි. ඒ සමගම ඒ “අන්‍යාකාරයකින්“ යන්න සමග එක පෙලට දක්වා ඇති “ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්“ යන්න ද අගමැතිවරයා ඉවත් කිරීමේ ක්‍රමයක් ලෙස පිළිගත යුතු බවයි.

නමුත් මේ ධුරයෙන් බවත්කිරීම සිදුකළ හැක්කේ කාටද? කෙසේද? යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී යළි අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තියේ ප්‍රතිලෝමය “පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු මේ අගමැතිවරයා නොවන බව ජනාධිපතිවරයාගේ මතය වන අවස්ථාවක“ තවදුරටත් මේ අගමැතිවරයා අගමැති ලෙස තබා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබිය නොහැකි බව සිහියට නගාගත යුතු වේ. එනම් ඒ ඉවත්කිරීම සිදුකළ හැක්කේ ජනාධිපතිවරයාට ය. ඒ ජනාධිපතිවරයාගේ මතය වෙනස්වන අවස්ථාව වනුයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113ක් ඒ බව ප්‍රකාශ කර සිටින අවස්ථාවයි. ඒ ප්‍රකාශය එක් එක් මන්ත්‍රීවරයා දිවුරුම් ප්‍රකාශ මගින් හෝ සාමුහිකව අත්සන් කරන ලිපියක් මගින් හෝ ජනාධිපතිවරයාට දන්වා සිටිය හැකිය. එවිට වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(1) වගන්තියේ එන “අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්කරනු ලැබීම“ යන තත්වය ඇති කිරීමට මැදිහත්ව 33 වගන්තියෙන් තමාට පැවරී ඇති පළමු කාර්යය ඉටු කිරීමට පියවර ගත යුතුය. එසේ නොවුනහොත් 38(2)(අ)(i) යටතේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ඇති බව ජනාධිපතිවරයා අමතක නොකළ යුතුය.

අනෙක් අතට ඒ දැනුම්දීමට අනුව ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය උල්ලංඝනය කළා වන්නේ ය. ඒ වගන්තියේ කිසි තැනක ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් කාලය පිළිබද සීමාවන් පනවා නැත. එනම් සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අගමැති ලෙස පවත්වාගැනීමේ වගකීම 33 වගන්තියෙන් තමාට පැවරී ඇති බව ජනාධිපතිවරයා සිහියේ තබාගත යුතුය. එසේ නොකරන්නේ නම් එවිට එය ද 38(2)(අ)(i) යටතේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මන්ත්‍රීවරයෙකුට ඇති අවස්ථාවක් බවට පත්වන බව ජනාධිපතිවරයා අමතක නොකළ යුතුය.

අගමැතිවරයා ඉවත් කළ හැකි පළමු වක්‍ර ක්‍රමය - අගමැතිවරයාගේ පත්වීමේ ඇති නීතිවිරෝධිභාවය  යළි සකස්කිරීම මගින් මේ අගමැතිවරයාගේ අගමැතිධුරය අවලංගු සහ බලරහිත කිරීම

මෙ අගමැතිවරයා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම දිවුරුම් දී නොතිබුනු බව බොහෝ දෙනා නිරීක්ෂණය නොකළ තත්වයකි. එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දුන්නේ නව අගමැතිවරය හමුවේ බවට අදාල ලේඛණ පරීක්ෂා කිරීමෙන් තහවුරු කර ගත හැක. එනම් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් කළේ මන්ත්‍රීවරුන් 196ක් පමණක් පත්ව තිබූ තත්වයක් යටතේ ය. එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කිරීමේ හැකියාවක් නැත. මන්ද සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව පතව නොමැති තත්වයක් යටතේ එහි උපරිම විශ්වාසය ඇත්තේ කාටදැයි නිර්ණය කිරීම කළ නොහැකි බැවිනි. තවද 113ක් එජාපයට හිමිව තිබුනේ ද නැති බැවිනි. එනම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය අනුව කටයුතු කර නොමැති අතර ජනාධිපතිවරයාට එරෙහිව මේ කරුණ සම්බන්ධයෙන් දෝෂාභියෝගයක් ගෙන ඒමට පෙර මේ තත්වය නිවැරදි කිරීමට ඔහුට අවස්ථාව ඇති බැවිනි. එනම් ඔහු විසින් කරුණු වරදවා වටහා ගැනීමෙන් හෝ සද්භාවයෙන් විශ්වාස කරමින් හෝ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වරද නිවැරදි කරගනිමින් මේ අගමැතිවරයාගේ පත්වීම අතීතයට බල නොපාන පරිදි (අග විනිසුරු මොහාන් සිල්වාගේ පත්වීම අවලංගු සහ බල රහිත කළ ආකාරයටම) අවලංගු සහ බලරහිත කිරීමෙනි.

අගමැතිවරයා ඉවත් කළ හැකි දෙවන වක්‍ර ක්‍රමය - අගමැතිවරයා විසින් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරන තත්වයට ඔහුව පත්කිරීම

මේ සදහා ජනාධිපතිවරයාට පසුගිය දිනවල තමා හොදින් අධ්‍යයනය කළ කොමිෂන් වාර්තා උපයෝගී කරගත හැකිය. එම වාර්තාවන්හි සදහන් කරුණු ලෙස ජනාධිපතිවරයා විසින්ම ඉස්මතු කරන ලද කරුණු ද කෝප් වාර්තාවෙන් හෙළිදරවු වූ කරුණු ද විගණන වාර්තාවන්ගෙන් හෙළිදරවු වූ කරුනු ද මහබැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණයන්ගෙන් හෙළිදරවු වී ඇති කරුණු ද යන සියල්ල සළකා බැලූ විට නිසි පරීක්ෂණයක් ආරම්භ කරන්නේ නම් අගමැතිවරයා චූදිතයකු වීම වැළැක්විය හැකි නොවන බව නීති ක්ෂේත්‍රයේ සහ පොදු සමාජයේ මතයයි. ඒ චෝනාවෙන් නිදහස් වීම සදහා අගමැතිවරයාට අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. ඒ සදහා අගමැතිවරයාට එරෙහි පරීක්ෂණ ඉතා ඉක්මනින් ආරම්භ කළ යුතුය. එවිට තම නිර්දෝෂ්භාවයට අදාල කරුණු ඉදිරිපත් කිරීමට අගමැතිවරයාට අවස්ථාව සැලසෙන බැවිනි.

මෙහිදී පරීක්ෂන අවසන් වන තුරු පරීක්ෂණවලට සහාය දීමේ අරමුණික් අගමැතිවරයා විසින් තම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් යම් හෙයකින් එසේ ඉවත් නොවන්නේ නම් ඒ සදහා වන පෙළඹවීම ජනාධිපතිවරයාට කළ හැකි බවත් පැහැදිලිය. ජනාධිපතිවරයා කියූ ආකාරයටම “තරාතිරම නොබලා“ දඩුවම් ලබාදෙන්නට නම් මේ පියවර ගතයුතු අතර එහිදී ලැබෙන ධුරයෙන් ඉවත්වීමේ ලිපිය භාරගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව සැළසෙනු ඇත.

අගමැතිවරයා ඉවත් කළ හැකි තුන්වන වක්‍ර ක්‍රමය - අගමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම අවසන් කිරීම මගින් අගමැති ධුරයේ කටයුතු කළ නොහැකි තත්වයට පත් කිරීම

මේ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81(1) වගන්තිය උපයෝගී කර ගත හැකිය. එම වගන්තියට අනුව “විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනලද ...... කොමිෂන් සභාවක් විසින්, යම් කිසි තැනැත්තෙකු .... ප්‍රජා අශක්නුතාවන්ට යටත් කළ යුතු යයි නිර්දේශ කරනු ලබන අවස්ථාවක ... ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් ඔහු පාර්ලිමේන්තුවෙන් නෙරපීම ද කළ හැක්කේය“ යනුවෙන් සදහන් වේ. බටලන්ද කොමිෂන්සභා වාර්තාවේ 163 පිටුවේ මෙවැනි නිර්දේශයක් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සදහන් කර ඇති බව ජනාධිපතිතුමන් නොදන්නවා නොවේ.  මේ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය බව 81(1) වගන්තියේ සදහන් වේ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 October 2018 15:57