December 13, 2018

කරළියෙන් එහා: භාරකාර ආණ්ඩුවට මහින්ද අතට ගනී? විගණකාධිපති වාර්තාවත් කූට ලේඛනයක් කරලා

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් මුහුණුවරක් ගත්තේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම, රුපියලේ කඩා වැටීමෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවීම සහ 20 වන සංශෝධනයට කුමක්වේද යන්න පිළිබඳ කාරණා නිසාය. භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කතා බහක් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති කරමින් පුවත් නිර්මාණය කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් හමුවී භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡාවක් කළ බවට මාධ්‍ය වාර්තාවල සඳහන්වී තිබිණ. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම හමුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදී සිදුවූ බවය. එස්.බී. දිසානායකගේ නිවසෙහි එදින රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී ඇත. ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එස්.බී. ගේ නිවසහිදී සාකච්ඡා කළ ද ඊට එස්.බී. සහභාගී නොවුණ බවද බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා සහභාගිවී සිටි බවද ආරංචි මාර්ග සඳහන් කළේය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පැතිර ගිය ආරංචි ප්‍රතික්‍ෂේප කළේය. ඔහු කීවේ සිය නිවෙසෙහි පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී නොවුණු බවය. එහෙත් හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ බවය. කෙසේ වෙතත් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ දේශපාලන කතාබහ නිමාවක් වූ බවක් පෙනෙන්නට නැත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ම පැවැත්වෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව භාරකාර රජයක් පිහිටුවීම සඳහා ඉඩක් නොමැති බවත් ආණ්ඩුවේ අවසන් වසර ගෙවී යද්දී හා රටේ ආර්ථික ගැටලු රැසක් මතුව තිබෙද්දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා භාරකාර ආණ්ඩුවකට කර නොගසනු ඇතැයිද දේශපාලන විචාරකයින් මත පළ කරති.

අගමැතිත් එක්ක යන පිරිසෙ අඩුවක් නෑ

මේ අතර එක්තරා ප්‍රබල ඇමැතිවරයෙක් යම් කරුණක් සිහිපත් කළේ මාධ්‍ය හිතවතුන් පිරිසක් සමඟය. පාර්ලිමේන්තු ගැලරියේදී ඔහු මාධ්‍ය මිතුරන්ට රහසක් කීවේය. “ආණ්ඩුව බලයට පත්වුණ මාස කීපයේදී ජනාධිපතිතුමයි අගමැතිතුමයි නිතර හමුවෙනවා. සාකච්ඡා කරනවා. දුරකතන ඇමතුම් දෙනවා. මට මතකයි ජනාධිපතිතුමා පත්වුණ අලුත අගමැතිතුමා දුන්න උපදෙසක් ඔබතුමා විදේශ සංචාර යනකොට ප්‍රවේශමෙන් තෝරා බේරා ගත්ත වැඩි පිරිසක් ගෙනියන්න එපා. සාමාන්‍ය පරිදි යන්න කිව්වා. ජනාධිපතිතුමාත් ඒක ඉහළින්ම පිළිගත්තා. මට මතකයි මුලදී සාමාන්‍ය පංතියේ ගමන් ගත්තා. කීපදෙනෙක් විතරයි ගියේ. ඒත් දැන් කොහොමද” යැයි එජාප ඇමැතිවරයා සිනාසෙන්නට පටන් ගත්තේය. එවිට මාධ්‍යවේදියකු කීවේ “අගමැතිතුමාත් එක්ක යන පිරිසෙත් අඩුවක් නැහැ” නේද කියාය.

සම්බන්ධන් චමල්ව නම් කරයි

ව්‍යවස්ථාදායක සභාවේ කාලය ඉකුත්වීමත් සමඟ නැවත සාමාජිකයින් පත්කිරීම කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් කතානායකවරයා විපක්ෂයේ නියෝජිතයා පත්කිරීම පිළිබඳව විපක්ෂ සංවිධායක අනුර දිසානායක දැනුවත් කිරීමට කටයුතු කළේය. පසුව අනුර දිසානායක මන්ත‍්‍රීවරයා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා ජවිපෙ මන්ත‍්‍රීවරයෙකු පත්කිරීමට එකඟතාවය පළ කරන ලදී. ඉන්පසු මේ පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලය තීරණයකින් පසු ඒ සඳහා බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා පත්කිරීමට තීරණය විය. පසුව ඒ පිළිබඳව පසුගිය සඳුදා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර දිසානායක කටයුතු කර තිබිණි. මීට පෙර විපක්ෂයේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේ ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ නියෝජිතයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නම් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර කතානායක, අගමැති සහ විපක්ෂ නායක ඊට නිල බලයෙන් පත්වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමැති මහින්ද සමරසිංහ මහතා මීට පෙර පත් කර තිබිණි. අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කල යුතු අතර එසේ පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය ජයන්ත ධනපාල, සෞදි ආරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපති නීතිඥ ජාවෙඩ් ජුසුප් සහ කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් නම් කර තිබූ අතර ඒ සඳහා අනුමැතියද හිමිව තිබේ. ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය නම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන සමාජිකයින්ගේ නම් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවිය යුතු අතර ජනාධිපතිවරයා විසින් පත්වීම් කරනු ලැබේ.

ජවිපෙ යුරෝපා රටවල විශේෂ සම්මන්ත‍්‍රණ මාලාවක

විදෙස් රටවල් කිහිපයක ශ‍්‍රී ලාංකිකයින්ගේ විශේෂ ආරාධනාවකට අනුව ජවිපෙ නායක අනුර දිසානායක විශේෂ සම්මන්ත‍්‍රණ කිහිපයක් ආමන්ත‍්‍රණය කිරීමට මෙම සති අන්තයේ විදෙස්ගත වීමට නියමිතව තිබේ. ‘රට රකින, රට හදන ජනතාවාදී පාලනයක්’ මැයෙන් ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව විදෙස් රටවලද විද්වත්, වෘත්තික හමු සූදානම් කොට තිබේ. ඒ අනුව ඔක්.14 දින ඔස්ටි‍්‍රයාවේ වියානා නුවරදී, 17වැනිදා ඉතාලියේ වෙරෝනා නගරයේදී, 20 දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේදී, 21වැනි දින ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී මෙම සම්මන්ත‍්‍රණ පැවැත්වීමට නියමිතය. ජවිපෙ විදෙස් කමිටු සහ එතෙර අපි සංවිධානය මෙන්ම එම රටවල ජීවත්වන විද්වත් වෘත්තික සංවිධානවල මෙහෙයවීමෙන් මෙම සම්මන්ත‍්‍රණ පැවැත්වේ. මේ අතර බිමල් රත්නායක මන්ත‍්‍රීවරයාද පාර්ලිමේන්තු සංචාරයක් අතරතුරදී ශ‍්‍රී ලාංකිකයින් හමුවී විශේෂ සාකච්ඡුා සහ සම්මන්ත‍්‍රණ කිහිපයක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරයේදී ඔක්. 21වැනි දින සහ ඊට පසු දින ජර්මනියේ මියුනිච් නගරයේදී මෙම වැඩසටහන් සඳහා මන්ත‍්‍රීවරයා සහභාගිවීමට නියමිතය.

සයිටම් අර්බුදය නැවත වටයකින්

සයිටම් ආයතනයේ සිසුවියක ගොනුකළ නඩුවක් සඳහා අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සහ පාර්ලිමේන්තුව මගින් ලබාදුන් විසඳුම අතර මේ වනවිට ගැටුමක් පැනනැගී තිබේ. මේ සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ සිසු දෙමාපිය සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ පිරිසක් ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් සහ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කොළඹදී හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ. ”නඩු තීන්දුවෙන් පස්සේ නැවතත් අවුලක් ඇතිවෙලා. පාර්ලිමේන්තුවේ විසඳුමයි, නඩුතීන්දුවයි අතර ගැටුමක්. අනෙක් පැත්තෙන් සයිටම් ආයතනයට නීත්‍යානුකූලභාවයක් ලැබෙනවා. ආණ්ඩුව පැත්තෙනුත් මේකට කිසිදු මැදිහත්වීමක් නැහැ.” දෙමාපියෝ සහ සිසුහු පෙන්වා දුන්හ. ” නඩු තීන්දුව දීලා තියෙන්නේ පැවැති තත්වයටත් අලූත් තත්වයට අනුව ක‍්‍රියාත්මක වෙන්න එය බාධාවක් නොවන බවත් කියලා. නමුත් අපහැදිලිතාවයක් තිබෙනවා” විජිත හේරත් කීය. ”ඒ නිසා දෙමාපියන් ලෙස අපි මේකට අධිකරණයෙන් අර්ථකතනයක් දෙන්න කියලා නැවත නඩුවක් ගොනු කරනවා.” දෙමාපිය සංගමයේ නියෝජිතයින් කීය. ”ඒක හොඳයි. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්නයක් දාමු. එතකොට පාර්ලිමේන්තුව විදියට මැදිහත් වෙන්න ක‍්‍රමයක් හදාගන්න පුළුවන්” ලාල්කාන්ත යෝජනා කළේය. ඒ අනුව ජ.වි.පෙ. නායක මගින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ බ‍්‍රහස්පතින්දා දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට තීරණය විය.

විගණකාධිපති වාර්තාවත් කූට ලේඛනයක් කරලා

පාපන්දු සම්මේලනය පිළිබඳව කෝප් කමිටුවේ විමර්ශනයක් අතරතුරදී විගණකාධිපති වාර්තාවට සමාන කූට ලේඛනයක් සකස් කළ නිලධාරියෙක් පිළිබඳව හෙළිදරව් විය. කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විමර්ශනය පැවැත්විණි. ”මම කෝප් කමිටුවේ වසර ගණනාවක් හිටියා. නමුත් මේ වගේ කූට ලේඛන ප‍්‍රශ්නයක් කෝප් කමිටුවේ විමර්ශනය කරලා නැහැ” සභාපතිවරයා කියා සිටියේය. පාපාන්දු සම්මේලනයේ මුදල් කළමනාකරු විසින් රුපියල් මිලියන 25ක වංචාවකට අදාළව විමර්ශනයකට කැඳවා තිබිණි. පාපාන්දු විනිසුරුවරුන් සඳහා ගෙවීමට තිබූ රුපියල් මිලියන 25ක මුදලක් තමන්ගේ ගිණුමට බැර කරගෙන තිබීම මුදල් කළමනාරුට එරෙහිව තිබුණු චෝදනාව සම්බන්ධයෙන් 2016 විගණකාධිපති වාර්තාවේ තොරතුරු අන්තර්ගත වී තිබේ. කෙසේ වෙතත් ඉහත කී නිලධාරියා කෝප් විමර්ශනයට පැමිණීමට පෙර විගණකාධිපති වාර්තාවට සමාන වාර්තාවක් සකස් කොට අනෙකුත් පාර්ශ්ව වෙත වාර්තාව ලබාදී දී තිබේ. කෙසේ වෙතත් විගණකාධිපතිවරයා විසින් මෙම වාර්තාව පරීක්ෂා කිරීමේදී එය තම දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාව නොවන බවත් එය ඊට සමාන කූඨ ලේඛනයක් බවත් හඳුනාගෙන තිබේ.
මේ අතර පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දුට මුදල් අක‍්‍රමිකතා සම්බන්යෙන් 2016 කෝප් කමිටු නිර්දේශ අනුව නඩුවක් ගොනු කරනු ලැබ තිබේ. එම නඩුව මේ වනවිට විභාග කිරීම ආරම්භ කොට ඇත. නමුත් පුදුම සහගත කරුණ වී ඇත්තේ පාපන්දු සම්මේලනයේ වත්මන් බලධාරීන් හිටපු සභාපතිවරයාට එරෙහිව තිබෙන චෝදනා සහ විගණකාධිපති වාර්තා සාවද්‍ය යැයි කියමින් ඔහු ආරක්ෂා කිරීමේ පිළිවෙතකට අවතීර්ණ වී තිබීමයි. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර මේ පිළිබඳව නීතිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමට තීරණය විය.

රුපියලේ අගය වැඩිකරන්න යෝජනා කිහිපයක්

රුපියල වේගයෙන් පහල යාමත් සමඟ ආර්ථිකය කඩා වැටීමට ලක්වීම පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත්වන විට අර්බුදය දරුණු මට්ටමකට ලක්ව තිබිණි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ ආනයන අපනයන මත පදනම්ව රුපියලේ අගය නිදහසේ තීන්දුවීමට ඉඩ හැරීමය. රුපියල දිගින් දිගටම බාල්දුවෙන තත්ත්වයක් තුළ වුවද මාස කිහිපයක් යනතුරුත් ආණ්ඩුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රුපියල පාලනය කිරීමට මැදිහත් වුනේ නැත. ආර්ථික විශ්ලේෂකයන් ආණ්ඩුවට කරුණු කීවද රුපියල කෘතීම ලෙස පාලනය කිරීමේ යෝජනාව ආණ්ඩුව හිතාමතාම මඟ හැරියේය. කෙසේ වෙතත් ආර්ථික අර්බුදය එන්න එන්නම දරුණුවන තත්ත්වයක් හමුවේ ඉකුත් සතියේදී ශ්‍රී ලකා මහ බැංකුව යම් මැදිහත්වීමක් කළේය. ඒ විදේශ සංචිත මුදාහැරීමෙනි.

වත්මන් ආණ්ඩුව රුපියලේ අර්බුදය සම්බන්ධයෙන් තෙල් සංස්ථා වෘත්තීය සමිති විසින් ඉදිරි ක‍්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සාකච්ඡා කෙරෙමින් තිබේ. මේ අතර මේ පිළිබඳව ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී, ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ජවිපෙ නායකයින් දැනුවත් කළේය. ”ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න අර්ජුන කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කරගෙන. මෙකෙන් වෙන්නේ රටේ ඩොලර් උල්පත් ටික වෙන රටවලට පවරාදීමක්. අපිට මේ තෙල් ටැංකි භාවිතා කරලා විශාල ඩොලර් ආදායමක් ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි රුපියල බාල්දු වෙන එක නවත්වලා ජනතාවට අඩු මුදලට ඉන්ධන දෙන්නත් පුුළුවන්. මේ ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතුයි.” අශෝක රංවල විජිත හේරත්ට දුරකතනයෙන් දැනුම් දුන්නේය. ඉන්පසුව මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වීමට ජවිපෙ තීරණය කළේය. ”රටේ ජනතාවත් ජාතික සම්පත් කියලා හිතන්නේ අතීතයේ ඉදිකරපු, දාගැබ්, පන්සල්, වැව් වගේ දේවල් විතරයි. නමුත් අපේ ජාතික සම්පතක් වුණු ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි ගැන අවධානයක් නැහැ. දරුවන්ට ඒ සම්පත් ගැන කියලා දෙන්නේ නැහැ. මේ තෙල් ටැංකි අපේ රටට ඩොලර් ගේන උල්පත්. ඒත් මෛත‍්‍රී රනිල් ඒ සම්පත් විකුණනවා. රුපියල කඩා වැටිලා කියලා මුදල් ඇමති අදෝනා කියනවා. ඩොලර් නැති එක තමයි ප‍්‍රශ්නේ. නමුත් අපිට තෙල් ටැංකි පාවිච්චි කරලා ඩොලර් හොයන්න පුළුවන්. ඒ වගේම ආනයන ආදේශක කර්මාන්ත කඩිනම් පටන් ගන්න ඕනෑ. ඩොලර්වලින් විතරක් නෙවෙයි යුරෝ, යෙන්, යුවාන් වගේ මුදල් ඒකකවලින් ගනුදෙනු කරන්න අපි අවධානය යොමු කරන්න ඕනෑ.” බිමල් රත්නායක මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැර තිබීමත්, ඉන්ධන මිලෙහි ඉහළ යාම යන කරුණු හමුවේ ජනතාව මත දිනෙන් දිනම පැටවෙමින් තිබෙන ජීවන වියදම ඉහළ යාමේ ගැටලුවට විසඳුමක් සොයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා දැඩි ලෙසම අවධානයක් යොමු කර තිබේ. ඒ සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අනුගමනය කරමින් සිටින ප්‍රවේශය වන ජීවන වියදම ඉහළ යාමට ඉඩ හැර රුපියලට නිදහසේ පාවීමට අවස්ථාව සළසා දී තිබීම, සම්බන්ධයෙන් ජනපතිවරයා අමනාපයෙන් සිටි බවට වාර්තා වේ. පසුගිය සතියේ රැස්වූ ජනාධිපතිවරයා ප්‍රධානීත්වය දරන ජාතික ආර්ථික කවුන්සියලේ හමුවක් කැඳවීමට ජනපති සිරිසේන මහතා කටයුතු කළ අතර, ඔහුගේ ඉල්ලීම පරිදි පාර්ශවකරුවෝ රැසක් එයට එක්ව සිටියහ. සමරවීර මහතාත්, විශ්ව විද්‍යාලයන්හි ආර්ථික විද්‍යාව විෂයේ උගතුන්, ව්‍යාපාර සභාවල නියෝජිතයන් සහ මහ බැංකුවේ නිලධාරීහුද ඔවුන් අතර වූහ.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා කරුණු පැහැදිලි කරමින් රුපියල ශක්තිමත් කිරීම සදහා විදේශ සංචිතවලින් ඩොලර් මිලියන 180 ක් වෙළදපලට මුදා හැරීමට පියවර ගත් බව පැවසුවේය. පෙර අවස්ථාවකදී, මුදල් අමාත්‍ය සමරවීර මහතා අවධාරණය කර කියා සිටියේ රුපියල ශක්තිමත් කිරීමට යැයි විදෙස් සංචිත යොදා ගැනීම කිසිසේත්ම නොකළ යුතු බවය. මේ වන විට විදෙස් සංචිතවල වටිනාකම ඩොලර් බිලියන 7.2 ක් බවද නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයක් දෙපළක් වූ හැරී ජයවර්ධන සහ මොහාන් පතිරගේ මහත්වරු අදහස් දක්වමින් ව්‍යාපාරිකයන් ලෙස ඔවුන්ට මුහුණදෙන්නට සිදුව තිබෙන තත්ත්වය විස්තර කර ඇත. මෙම අවස්ථාවට සහභාගීව සිටි අමාත්‍ය මහින්ද සමරසිංහ පසුව මාධ්‍ය අමතමින්, උද්ගතව තිබෙන තත්ත්වය ජනපතිවරයාගේ දැඩි අවධානයට ලක්ව තිබෙන බවත් ඒ නිසාම සියලු කරුණු ඉතාම සැළකිලිමත්ව අධ්‍යනය කෙරෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයක් ඇති කිරීම - රැකියා උත්පාදනය සහ සංවර්ධන ව්‍යායාමය, නමින් වූ වැඩසටහනකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ජනපති සිරිසේන මහතා සමත් විය. 2019 සිට 2021 වසර දක්වා වසරකට රුපියල් බිලියන 50 බැගින් මෙම වැඩසටහනට වෙන් කිරීම සදහාද අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි විය. ජාතික ආර්ථික සභාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත. සිය කැබිනට් පත්‍රිකාවෙන් වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය විස්තර කර තිබෙන ජනාධිපතිවරයා, ගෙවීමට සිදුව තිබෙන ණය ප්‍රමාණය, සාපේක්ෂව අඩු මට්ටමකින් සිදුවන ආර්ථික වර්ධනය, ඉහළ යන ජීවන වියදම, ආදායම් ලැබීමේ අසමානතා, ග්‍රාමීය මට්ටමින් සිදුවන සංවර්ධනයේ අසමානතා, තරුණයින් අතර විරැකියාව, උසස් ජීවන තත්ත්වයක් කරා ළගාවීමට ජනතාවගේ ඇති අපේක්ෂාවන්, යනාදිය සැළකීමේ දී රටේ ආර්ථිකය මීට වඩා සීඝ්‍රයෙන් සංවර්ධනය විය යුතුව තිබෙන බව පෙන්වා දී තිබේ. ආර්ථික නිදහස ජනතාව වෙත දිනා දීමේ වැදගත් පියවරක් වන්නේ රැකියා උත්පාදනය බව ද ජනාධිපතිවරයා විස්තර කර ඇත.

උතුරේ ඉඩම් මුදාහරින්නැයි ජනපති කියයි

උතුරු පළාතේ සංවර්ධන කටයුතු ගැන විශේෂ සාකච්ඡාවක් මෛත්‍රී මේ සතියේ කැඳවා තිබුණේය. එයට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ද මෛත්‍රී කැඳවාගෙන විත් තිබුණි. “අපේ ඉඩම් ප්‍රශ්න තවම විසඳිලා නෑ. තවම නිදහස් නොකළ ඉඩම් තියෙනවා” සම්බන්ධන් සාකච්ඡාව ආරම්භයේදීම කීවේය. “ඉක්මනට මේ ඉඩම් නිදහස් කරන්න. සමහර ඉඩම් තියෙනවා ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒවගේ ඉඩම්වල හිමිකරුවන්ට ඉක්මනින් ඉදිරිපත් වෙන්න එන්න කියලා අපි ආරාධනා කරනවා” මෛත්‍රී කීවේය.
මේ අතර මඩු දේවස්ථානය සම්බන්ධයෙන්ද අදහස් ඉදිරිපත් විය. “මඩු දේවස්ථානය සම්බන්ධයෙන් තිබූ ගැසට් නිවේදනයේ අඩුපාඩු තිබුණා. ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුණාට ඒවා සිදුවුණේ නෑ. ඒත් ජනාධිපිතතුමා ඒකට මැදිහත්වුණා” එතැනට පැමිණි නියෝජිතයෝ මෛත්‍රීට සිය ස්තුතිය පුද කළහ.

මැතිවරණ කොමිසම දැඩි කණස්සල්ලෙන්

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් හෝ ඉකුත් දිනවල ඉඟියක්වත් පළ වී නොතිබිණි. මැතිවරණය දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැඩි කණස්සල්ලට පත්ව ඇතැයි වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ කොමිෂන් සභා සාමාජිකයෝ ඉකුත් සතියේ රැස්වී ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළහ. පවතින නීතිමය තත්ත්වය බාධාවක් කර නොගනිමින් කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් ඒ සඳහා කොමිසම සතු බලතල උපරිමයෙන් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමටත් කොමිසම ඉකුත් මාස කිහිපය පුරාම කටයුතු කළේය. “ආණ්ඩුව පැරණි පනත අහෝසි කරලා. ඒ නිසා අපට පැරණි ක්‍රමයක් ගැන හිතන්න බැහැ. දැන් තියෙන්නේ අලුත් ක්‍රමයකට ඡන්දය තියන්න පුළුවන් පනතක්. ඒක පර්ලිමේන්තුවේ සම්මත වෙලා. දැන් ඒක නීතියක්. ඒ නිසා අපි ඡන්දය තියන්න ඕනේ අලුත් ක්‍රමයටම තමයි. හැබැයි පනතට අමතරව සම්මත කරගත යුතු දෙයක් සම්මත වෙලා නැහැ. ඒ සීමා නිර්ණ වාර්තාව අපි කුමක් කරමුද” යැයි මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර පළාත් සභා පහක නිල කාලය අවසන්වී තිබේ. ඒවායේ මහ ඇමැතිවරු, ඇමැති මණ්ඩලය සහ මන්ත්‍රීවරු ගෙදර ගොස් සිටිති. පරිපාලනය බලය ආණ්ඩුකාරවරුන් වෙත පැවරී තිබේ. එසේ නිල කාලය අවසන්ව ඇත්තේ සබරගමුව, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ මධ්‍යම පළාත් සභා පහය. අනෙකුත් පළාත් සභා හතරේ එනම් බස්නාහිර, දකුණ උතුර සහ ඌව යන පළාත් සභාවල නිල කාලය අවසන් වීමට ද එතරම් කාලයක් නැත. අවසන් වරට මැතිවරණය පැවැත්වූ සහ රාජපක්‍ෂ ආණ්ඩුවට තීරණාත්මක මැතිවරණයක් වූ ඌව පළාත් සභා මැතිවරණය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

Rate this item
(2 votes)