May 26, 2018

සජිත් - රවී ගැටුම එළිපිට: සජිත්ට ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්

අනුරාධපුර, ඉපලෝගම පුරාවිද්‍යා භූමිය ඩෝසර් කිරීමේ සිද්ධියත් සමග එජාපයේ නියෝජ්‍ය නායකවරු ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා සහ රවී කරුණානායක මහතා අතර මත ගැටුමක් නිර්මාණය ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එජාපයේ දෙවන පෙල නායකත්ව ගැටුම තවත් උණුසුම් වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට එම සිද්ධිය හේතුවෙන් සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එජාපය ඇතුලෙන්ම බලපෑම් එල්ලවී ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මත ගැටුම අතරතුර හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා කොළඹ තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ අනුරාධපුර, ඉපලෝගම පුරාවිද්‍යා භූමියක සිදු වී ඇති ජාතික සංහාරය හමුවේ වගකිව යුත්තන් වහා තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.

“පුරාවස්තු සිද්ධස්ථාන නැතිකරගෙන යනවා. මෙන්න මේ වගේ ඒවා තමා ජාතික අපරාධ. වැදි බණ කතා කරන අය. අපි දැන් ආදර්ශවත් දේශපාලනය නායකත්වය අපි පෙන්නලා දීලා තියෙනවා. මේ අය ප්‍රශ්නෙ විසඳගන්නේ නැත්නම් ඉල්ලා අස්වෙලා කටයුතු කරන්න. ඉපලෝගම ප්‍ර දේශයේ අද වෙලා තියෙන අපරාධය දැන දැන කවුද මේක කරන්න ඉඩ දීලා තිබ්බේ. සාමාන්‍ය පුද්ගලයකු පුරාවිද්‍යා ස්ථානයක උදලු පහරක් ගැසුවත් කුදලාගෙන ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු උවද, මෙවෙනි බරපතළ සිද්ධිය කදී , රටම නිහඬ වෙලා, ජනමාධ්‍ය නිහඬ වෙලා ...මෙවැනි තත්ත්වයක් රටේ ජනතාව අනුමත කරන්නෙ නැහැ. ජනතාව මේවගේ සිද්ධි ගැන අවධානයෙන් ඉන්නෙ." යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පසුගියදා පැවැති කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව ඉපලෝගම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූවේ සජිත් ප්‍රේමදාස ඉල්ලක කරගත් පදනම් විරහිත චරිත ඝාතන චෝදනාවක් බවයි.

“අපේ තිබෙනවා උදාගම්මාන 2500ක් ඉදිකිරීමේ ඉලක්කය. දිනපතාම ඉදිවෙන්නට ඕන ගම්මාන 3ක්. 2500 ඉලක්කයට යන්නට නම්. මේ දැවැන්ත ක්‍රියාදාමය තුළ නිලධාරීන් කොටසකගෙන් සිදුවූ එම බරපතල අඩුපාඩුව මගේ කරපිට දාන එක අසාධාරණයි.“ යැයි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

ඇමැති නොදැන මේ වගේ විනාශයක් කරන්න බෑ

මේ අතර ඉපලෝගම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මර්වින් සිල්වා මහතා පැවසූවේ “මේ වගේ විනාශයක් කරන්න බෑ මේ බාර ඇමැතිවරයා දැනගන්න ඕන මේක. නැත්නම් එයගේ නොසැලකිලිමත්කමක් තියෙන්න ඕන. මේක වුණාට පස්සේ මේ විෂය භාර ඇමතිවරයා දැනගන්න ඕනේ මූව ඉන්ටර්ඩික් කරන්න. ඒ දෙකම වුණේ නැතිනම් ඒ ගොල්ලෝ කොන්ද පණ නැති ඇමතිවරු. මම ඉන්න කාලේ මම ක්‍රියා කරපු හැටි මම දන්නවා. මේක ප්‍රේමදාසගේ කාලේ ඉඳලා අපේ කාලෙත් මේ පුරාවස්තු කේස් තිබුණා. මමත් ඕකට ආගිව් කරලා තමයි මටත් ඔය නොමිනේෂන් නොදෙන්නත් එක හේතුවක් වුණේ.”

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බැලුම්ගල නම්වූ පුරාවිද්‍යා භූමියක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර දැමු පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය 12 වනදා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස තැනීම සඳහා තැබූ මුල්ගල ගලවා ඉවත් කළේය.

මාධ්‍ය මගින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමත් සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ පුරාවිද්‍යා භූමියේ විනාශය නිරීක්ෂණය කොට මෙය සිදු කළ පිරිසට දැඩි ලෙස දෝෂාරෝපණය කරන්නට ද විය.
ඉපලෝගම විජිතපුර පුරාවස්තු විනාශ කලේ යැයි ප‍්‍රධාන ලෙසම චෝදනා එල්ල වන්නේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාටය.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 May 2018 10:33