May 26, 2018

මහින්ද සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉවත් වීමට සූදානම්?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව බොහෝ දුරට ලබන 17 වැනි දින රැස්වීමට නියමිත ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ඔහුගේ එම තීරණය දැනුම්දීමට නියමිතය.

තමා ඕනෑ වේලාවක සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවට මහින්ද අමරවීර මහතා අවස්ථා කිහිපයකදීම පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවන්හිදී ජනාධිපතිවරයා සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ "සන්ධාන මහ ලේකම් ධුරය පිළිබඳව ඔබතුමාට කිසිවකුගෙන් චෝදනාවක් නැඟී නැහැ. එම නිසා මෙවැනි තීරණයක් ගැනීමෙන් වැළැකී සිටින්නැයි" යනුවෙනි.

සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කළ යුතු වන්නේ ශ්‍රීලනිපයට ආදරය කරන පක්ෂය හැර නොයන, එ.ජා.පක්ෂයේ හෝ පොහොට්ටුවේ සාමාජිකයකු නොවන අයකු බවත්ය.

කෙසේ නමුත් පක්ෂයේ නායකයා ගනු ලබන ඕනෑම තීරණයකට තමාගේ සහාය ලබාදෙන බවත් කිසිදු විටෙක ශ්‍රීලනිපය හැර නොයන බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 May 2018 11:06