August 15, 2018

කරළියෙන් එහා: ප්‍රධාන පක්ෂ තුනේ අළු යට ගිනි! මෛත‍්‍රීගේ කතාවට වියදම විතරයි

පසුගිය සතියේ කරළියෙන් එහා උණුසුම් වූයේ මැයි දින සැමරුමත් සමඟය. මැයි දින වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් කී කතා පිළිබඳව මතිමතාන්තර වලින් තවමත් අඩුවක් නැත. එක්සත් ජාතික පක්‍ෂ මැයි සමරුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අවස්ථාවේ ඇමැති සජිත් ප්‍රේමදාස සහ රාජිතගේ කතා පිළිබඳව දැඩි විවේචන එල්ලවී තිබේ. සජිත් ප්‍රේමදාසගේ කතා සහ රාජිතගේ කතා හෙළාදකිමින් ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෝ වේදිකාවේ පැහැදිලි කිරීම් හා විවේචන ඉදිරිපත් කරති. මේ අතර දැඩි කතාබහට ලක්වූයේ මඩකලපුවේ පැවැති ශ්‍රීලනිප මැයි දින වේදිකාවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමගය. එහිදී ජනාධිපතිවරයා කීවේ “මම 2020 දී විශ්‍රාම යන්නේ නැහැ.” කියාය. මහින්ද අමරවීරද 2020 ජනාධිපතිවරණය ගැනත් එහිදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය ගැනත් අනාවැකි පළ කළේය. ඊට පිළිතුරු දෙමින් ඒකාබද්ධ විපක්‍ෂයේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීවේ “මැයි වේදිකාවේ ඉඳගෙන ජනාධිපතිතුමා කතාවක් කිව්වා. හැමෝම සිහින දකිනවා. ඒ සිහින සැබෑවෙන්නේ නැහැ. මහින්ද අමරවීරගේ කතාව එදා ජනාධිපතිවරයාම ප්‍රතික්‍ෂේප කළේ සිහිනයක් බව කියමිනි”යැයිද ඩිලාන් පෙරේරා කීවේය.

කෙසේ වෙතත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුනම මැයි දින සමරු රැලි පැවැත්වූයේ මත ගැටුම් සිත් බිඳීම් ඇතිවය. එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින සැමරුමට පක්‍ෂයේ සභාපති කබීර් හෂීම් ඇතුළු ප්‍රබල දේශපාලනඥයෝ පිරිසක් නොපැමිණියෝය. ශ්‍රීලනිප මැයි රැලියට හිටපු ඇමතිවරුන් පිරිසක් සහභාගි නොවූහ. දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රධාන වේදිකාවට නොපැමිණියද ඔවුහු රැලිය පැවැත්වූ පරිශ්‍රයට පැමිණ සිටියහ. ගාල්ලේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන සහභාගි වූයේ නැත. කෙසේ වුවද ඩලස් අලහප්පෙරුම මහතා දැනට විදේගතව සිටී. ආරංචිමාර්ග සඳහන් කළේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුනේම අභ්‍යන්තරයේ පුපුරමින් තිබූ අර්බුදය මැයි දින සැමරුමේදී යම්තාක් දුරකට පුපුරා ගිය බවය. එජාප ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අසාර්ථක වූ බව කියමින් හා තමන්ට සාධාරණයක් නොවූ බව කියමින් එජාප දේශපාලනඥයන් පිරිසක් මැයි සැමරුම මගහරිද්දී ශ්‍රීලනිප දේශපාලනඥයන් මැයි දින වේදිකාවට ගොඩ නොවූයේ ආණ්ඩු විරෝධය ඉදිරියට දමමිනි. ඒකාබද්ධ විපක්‍ෂයේ බැසිල් හා ගෝඨා කල්ලි දෙකේ අර්බුදය හේතුවෙන් ඒකාබද්ධ මැයි සමරුමට ප්‍රබලයන් සහභාගී නොවූ බවද පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා විය.

මෛත්‍රීගේ තේපැන් සංග්‍රහයට 16 කල්ලිය නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාරිලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ඉකුත් අඟහරුවාදා සිදුකෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ ඉකුත් අලුත් අවුරුදුදාට පෙරය. ජනාධිපතිවරයා එලෙස පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමත් නැවත සැසිවාරය ආරම්භ කිරීමට ගැසට් නිවේදන නිකුත් කිරීම නීත්‍යනුකූල ක්‍රමවේදයයි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීම පිළිබඳ නිවේදන හතරක් නිකුත් කරන්නට සිදුවිය. ගැසට් නිවේදන හතරක්ද නිකුත් කෙරුණ අතර පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරද්දී මහලේකම් ධම්මික දසනායකට එම ගැසට් නිවේදන හතරම කියවීමට සිදුවූයේය. මේ අතර අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීම උත්සවශ්‍රීයෙන් පැවැති අතර එය සාම්ප්‍රදායානුකූල ගරු ගාම්භීර අයුරින්ද සංවිධානය කර තිබිණ.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැති ඇමැතිවරුන් වෙනුවෙන් තේපැන් සංග්‍රහයක්ද පැවැත්විණ. එම තේපැන් සංග්‍රහයට ආණ්ඩුවේ මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් සහභාගි වුවද මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනා සහභාගි වූයේ නැත. මුල සිටම ඔවුන් සහභාගී නොවීමේ තීන්දුවක් ගෙන තිබිණ. ඊට හේතු වූයේ එම දහසයේ කණ්ඩායම පිළිගැනීම සඳහා වැඩසටහනක් සංවිධානය කර තිබීමය. ආරංචිමාර්ග සඳහන් කළේ හැම මන්ත්‍රීවරයකුටම ආධාරකරුවන් දෙසීය බැගින් රැගෙන ඒමට තීන්දුවක් ගෙන තිබූ බවය. මන්ත්‍රීවරුන් දහසය දෙනාම එලෙස ආධාරකරුවන් දෙසීය බැගින් ගෙන ඒමට බස්රථ පවා කුලියට ලබාගත් බවද පැවසේ. ලොරියක සකස් කළ ජංගම වේදිකාවක් මතට ආධාරකරුවන්ගේ කරමතින් පැමිණි මන්ත්‍රීවරුන් ආණ්ඩුව විවේචනය කිරීමට හා ශ්‍රීලනිපයේ අනාගතයට අදාළව කෙටියෙන් අදහස් පළකළහ. එහිදී විශේෂ සිදුවීමක්ද වී තිබිණ. මන්ත්‍රී එස්.බී. දිසානායකගේ ආරක්‍ෂකයා සතුව තිබූ පිස්තෝලය අතුරුදන් වීම එම සිද්ධිය වූ අතර මන්ත්‍රීවරුන් පිළිගැනීමට පැමිණි ආධාරකරුවෙකු විසින්ම එම පිස්තෝලය සොරාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කළේය.

20 ගැන ප‍්‍රචාරක මෙහෙයුමක්

මේ අතර ජවිපෙ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත 20 සංශෝධනය තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 20 අඩංගුව තවමත් රටට ඉදිරිපත් නොවූ තත්වයක් තුළද ඒ පිළිබඳව පුළුල් සංවාදයක් මතුව තිබේ. ඇතැම් පිරිස් විසින් 20 විකෘති කරමින් මත පළ කිරීම පිළිබඳවත් 20 පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් ජවිපෙ නායකයෝ පසුගියදා විශේෂ සාකච්ඡාවක් නිරත වූහ. ”20 තවමත් පාර්ලිමේන්තුවට නොදාපු තත්වයක් ඇතුළෙත් සමහරු මේ ගැන බිල්ලෝ මවනවා. සමහරු විකෘති කරුණු ඉදිරිපත් කරනවා. ජනතාව නොමඟ යවන ප‍්‍රකාශ කරනවා.” විජිත හේරත් කීවේය. ”අපි මේ ගැන පුළුල් සංවාදයක් හදන්න ඕනෑ. 20 සංශෝධනයේ තියෙන කරුණු ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහනක් හදන්න ඕනෑ. සම්මන්ත‍්‍රණ මාලාවක්, විද්වත් හමු වගේම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න පුළුවන් හැම ක‍්‍රමයක්ම යොදාගන්න ඕනෑ. වැරදි මත පරාජය කරන්න ඕනෑ. ජනතාව නොමඟ යවන්න ඉඩ දෙන්න බැහැ” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”සමහරු රට ගැන තියෙන ඇත්ත ආදරය නිසා 20 ගැන කතා කරනවා. තවත් සමහර බංකොළොත් දේශපාලකයො තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය අවුල් වෙන නිසා කෝපයෙන් කලබල වෙලා 20ට බුරා පනිනවා. කොහොම නමුත් මේ ගැන අදහස් පළකරන සියලූ දෙනාට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද මේ පිළිබඳ සංවාදය උඩට ගන්න මේවා උපයෝගි වෙනවා. ඒ වගේම ජනතාවට බලපාන සංශෝධනයක් නිසාම සියලූ දෙනාට අදහස් දක්වන්නත් අපි වේදිකාවක් හදන්න ඕනෑ” අනුර දිසානායක යෝජනා කළේය.

”තවත් සමහර අය විධායක ජනාධිපති ධුරයේ හොඳ නරක ගැන දැන් වාද කරන්න හදනවා. ඒ සංවාදය යල් පැනලා. ඇත්තටම දැන් සංවාදය තියෙන්නේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සංශෝධනයේ කරුණු කොහොම වෙන්න ඕනද කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මේ වෙනකොටත් ජනවරම් 05ක් ලැබිලා තියෙනවා. 1994, 1999, 2005, 2010 වගේම 2015දීත් පත්වුණු ජනාධිපතිවරුන්ට මේ වෙනුවෙන් ජනවරමක් ලැබුණා. විශේෂයෙන් මෛත‍්‍රීපාල මහත්තයට ලක්ෂ 62ක ජනතාවගේ ජනවරමක් තියෙනවා මේ වෙනුවෙන්. ඔහුගේ ප‍්‍රධාන සටන් පාඨය වුණෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම.” බිමල් රත්නායක කීවේය. ”අපි මේ ගැන සංවාදයක් හැදුවාම වැරදි මත පරාජය කරන්න පුළුවන්. ඒ වගේම ආගමික නායකයින් එක්ක, දේශපාලන පක්ෂ සමග, සිවිල් සංවිධාන සමග මේ සාකච්ඡා ගෙන ගියොත් අපේ කෙටුම්පතේ කරුණු ගැන ඔවුන් දැනුවත් කරන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ඒ වෙනුවෙන් ප‍්‍රමුඛතාවය දෙන්න ඕනෑ” විජිත හේරත් කීවේය. ඒ වෙනුවෙන් 20 පිළිබඳව ජනතාව දැනුවත් කරන පුළුල් ප‍්‍රචාරක වැඩසටහනක් ඉදිරියේදී දියත් කිරීමට තීරණය කෙරිණි.

මෛත‍්‍රීගේ කතාවට වියදම විතරයි... හරයක් නැහැ

08වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය පසුගියදා 08වැනිදා ආරම්භ විය. ජනාධිපති මෛත‍්‍රීපාලන සිරිසේන විසින් පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසුව මෙසේ පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය ආරම්භ කිරීමට සිදුවිය. කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය විසින් ගෙන ගිය ප‍්‍රචාරය නිසාම ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳව සියලූදෙනාගේ අවධානය යොමු විය. එමෙන්ම ජවිපෙ මන්ත‍්‍රීවරු මෙම කතාවේදී පාර්ලිමේන්තුව කල්තැබීමේ හේතුව දැන ගැනීමටද බලාපොරොත්තුවෙන් සිටියහ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කතාව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා බලාපොරොත්තු නොවූ ආකාරයට ගන්නට දෙයක් නැති විය. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර කසුකුසුවක් ඇති විය. ජවිපෙ මන්ත‍්‍රීවරු ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරු මෙන්ම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු, ඇමතිවරු මේ කතාබහ අතර වූහ. ”පුදුම වැඬේ කතාවෙන් පස්සේ තේ එකට ආරාධනා කරන්න ඕනෑ ජනාධිපතිතුමා. එයාගෙ සංග‍්‍රහයට එයාවත් නැහැනේ. කතාව ඉවර වෙලා යන්න යනවා” ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරයෙක් රූපවාහිනී තිරය පෙන්වමින් කීවේය. ”ජනාධිපතිතුමාගේ කතාවේ ඇති දෙයක් නැහැ. අඩුම තරමේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ අමාත්‍යංශ ගැන කියනකොටවත් ඒ අය අත්පුඩියක් ගැහුව්වේ නැහැ. ආණ්ඩුවේ සමහර ඇමැතිවරු නිදිකිරා වැටෙනවා. මුහුණුවල කිසිම සිරියාවක් දැක්කේ නැහැ. ඒ නිසා වෙන්නැති තේ එකටවත් හිටියේ නැතුව ගියේ” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ”කෝටි ගාණක වියදම් ගියා. මෛත‍්‍රීගෙ කතාවෙන් රටට වැඩකුත් නැති වුණා. ආණ්ඩුවට වැඩකුත් නැති වුණා. අපි බලාගෙන හිටියා අඩුම තරමේ පාර්ලිමේන්තුව කල් තිබ්බේ මොකටද කියලාවත් කතාවේ තියෙයි කියලා. ඒකත් නැහැ. බොරු වැඩක්. සල්ලිත් නාස්ති වුණා. ඇත්තටම වුණේ පාර්ලිමේන්තුවේ වැදගත් වැඩ ටිකක් ප‍්‍රමාද වුණු එක විතරයි.” විජිත හේරත් කීවේය.

හදුන්නෙත්තිගේ බෑගයේ ගැටබෙරයක්

ස්වීඩනයේ පැවැත්වෙන ‘එතෙර අපි’ සමුළුවක් සඳහා ආරාධනා ලැබුණු සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා පසුගිය 09වෙනිදා අළුයම ස්වීඩනය බලා පිටත් විය. ස්වීඩනයේ ජීවත් වන ශ‍්‍රී ලාංකිකයින් විසින් එතෙර අපි සංවිධානයේ ශාඛාවක් ගොඩ නගා ඇති අතර එහි සමුළුව සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබුණේ ඔහුටය. මේ අතර එම සමුළුවෙන් අනතුරුව සංස්කෘතික සැදෑවක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර තිබේ. මේ සඳහා ලංකාවේ ප‍්‍රවීණ සංගීතවේදියෙක් වන නදීක ගුරුගේද මන්ත‍්‍රීවරයා සමඟ ස්වීඩනය බලා ගියේය. මේ අතර සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගේ බෑගයේ ගැට බෙරයක් තිබෙන බව ගුවන් තොටුපළේ සේවකයෙක් දැනගත්තේ ගමන් මලූ පරීක්ෂාවේදීය. ඔහු ඒ පිළිබඳව මන්ත‍්‍රීවරයාගේ විමසා සිටියේය පුදුම සහගත බැල්මක්ද සහිතවය. ”ලංකාවේ පිරිසක් ස්වීඩනයේ විශේෂ වැඩක් කරනවා. මට ඒ අය කිවුවා උදව්වක් විදියට ගැට බෙරයක් ගෙනත් දෙන්න කියලා. ඒ නිසා මම මේක අරගෙන යනවා. බෙර ගහන්න කට්ටිය හිටියට එහෙ ගැට බෙරයක් හොයාගන්න අමාරුයිලූ.” මන්ත‍්‍රීවරයා පිළිතුරු දුන්නේය.

ජවිපෙ විනය ගැන විදෙස් නියෝජිතයින්ගෙන් පැසසුම්

මෙවර කොළඹදී දැවැන්ත මැයි පෙළපාලියක් සහ රැලියක් සංවිධානය කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. පසුගිය වසරවල මෙන්ම අලංකාරවත් දැවැන්ත මැයි දින වේදිකාවක්ද ජවිපෙ විසින් නිර්මාණය කොට තිබුණි. මෙම මැයි දින සැමරුම සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහය පළකරමින් ග‍්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික නිකොලොස් සෙරටකිස්, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (එක්සත් මාක්ස් ලෙනින්වාදී) දේශපාලන මණ්ඩල සභික හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පශුපති චවුලගේන්, මධ්‍යම කාරක සභික රබීන්ද්‍ර අධිකාරි, ඕල් ඉන්ඩියා ෆෝවර්ඞ් බ්ලොක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උප සභාපති හා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ උප සභාපති කදිරවන් විරුමාණ්ඩි, ස්වීඩනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ඔගස්ට් එමානුවෙල් එලියැසන් යන විදෙස් නියෝජිතයෝ සහභාගි වූහ. ඔවුන්ද ජවිපෙ නායකයින් සමඟ කැම්බල් පිටියේ සිට පෙළපාලියෙන් බීආර්සී පිටියට පැමිණියෝය. ඔවුන් සහ ජවිපෙ නායකයින් වේදිකාවේ සිටින අවස්ථාවේ මද වර්ෂාපතනයක්ද බීආර්සී පිටියට පතිත විය. ජවිපෙ නායකයින් මෙන්ම ඔවුන්ද කිසිදු හැලහොල්මනක් නැතිව අසුන්වල රැුඳී සිටීම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය. ”ඔබලාගේ නායකයින් මෙන්ම පක්ෂ සාමාජිකයින්ගේ විනය ගැන හරිම පුදුමයි. පෙළපාළිය හරිම අලංකාරවත්. නායකයොත් පෙළපාළියේ පයින් ආවා. වැස්ස වෙලාවෙත් සියලූ දෙනා කිසිම කලබලයක් නැතිව ඉන්නවා. හරිම ආඩම්බරයි ඔබලාගේ පක්ෂ විනය ගැන. මට මේ අවස්ථාවට එන්න ලැබීම ආඩම්බරයක්.” ස්වීඩනයේ කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයා විජිත හේරත් සමඟ කියා සිටියේය.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 16 දෙනාට ඒකාබද්ධයෙන් ආරාධනා නෑ

ප්‍රසන්න රණතුංග හැමදාමත් ආණ්ඩුවට එරෙහිව විවිධ කතා කියන්නට දක්‍ෂය. ඔහු උඩුගම්පලදී කිවේ “විධායක ජනාධිපති ධුරයේ බලතල තිබියදීත් අගමැතිට ඕනෑ ආකාරයට රට කරන්නට ඉඩදුන් ජනාධිපති අලුතින් විශ්‍රාම යන්න දෙයක් නැහැ. ඇත්තටම එතුමා විශ්‍රාම ගියේ 2015 ජනවාරි 9 වැනිදාමයි. ඒ කියන්නේ ජයග්‍රහණය කරදාට පසු වෙනිදා. අද රටේ ජනතාවගෙන් වැඩිහරියක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වටේ එක් රොක්වී සිටිනවා. මැයි රැලිවලින් ඒ බව තහවුරු වුණා.” යැයි ප්‍රසන්න රණතුංග කීවේය. “අපට මතකයි පසුගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැලිය පැවැත්වුණෙත් ගාල්ලේ. එදා ශ්‍රීලනිප රැලියට ආපු සෙනග වගේ දහස් ගුණයක ජනතාවක් මේ පාර ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට ආවා. මේ වනවිට ඒකාබද්ධ විපක්‍ෂයේ මේ රටේ ආණ්ඩු හොල්ලපු බලවේගය බවට පත්වෙලා ඉවරයි” යැයිද ඔහු කීවේ ඒකාබද්ධ විපක්‍ෂයේ ආධාරකරුවන් පිරිසකගේ ඔල්වරසන් මධ්‍යයේය.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට තවමත් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ආරාධනාවක් ලැබී නැතැයි වාර්තා වේ. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් පොදුවේ සහ තැන් තැන්වල කරන කතාබහවලට අනුව විපක්‍ෂයට පැමිණි මන්ත්‍රීවරුන් පිළිගන්නා බවක් කියති. එහෙත් පෞද්ගලිකව හා ගෞරවණීය ලෙස හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයක් ලැබුණහොත් පමණක් සලකා බැලිය හැකි බවට එම මන්ත්‍රීවරුන් අතර අදහසක් පවතින බවද පැවසේ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයද ඉක්මන් නොවන තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ.
“කොහොමටත් දැන් ඔය දහසය දෙනා විපක්‍ෂයට ඇවිත් ඉවරයි. දැන් ඒ අයට අපේ පැත්තට නෑවිත් මොනවා කරන්නද? අනිවාර්යෙන්ම මේ අයට ඡන්දයට යන්න වෙන්නේ අපිත් එක්ක තමයි“ යැයිද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ පවසති.

විවේචනය තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් හා ආණ්ඩුවේ පැවැත්මට බාධාවකැයි ඇතැම් දේශපාලනඥයන් කල්පනා කළද ඇමති මංගල සමරවීරගේ අදහස වෙනත් එකකි. විවේචන කිරීම හා වැරදීම් වීම යහපතක් ලෙස මංගල සමරවීර ඇමැතිවරයා කල්පනා කරන බව ඉකුත්දා ඔහුම ප්‍රකාශ කළේය. “අපි රජයක් විදියට අලුත් අලුත් අභියෝගවලට විටින් විට මුහුණ දෙනවා. ගැටළු ඇතිවීම අපේ වැඩපිළිවෙළ සාර්ථකවීමක්. අලුත් විදියට ක්‍රියාත්මක වෙනකොට යල්පැනගිය ක්‍රමවේදයන් ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. එතකොට අපේ කටයුතු සාර්ථක වෙන්න නම් ඇතිවන ගැටලුවලට නිර්මාණශීලී පිළිතුරු සොයාගන්න වෙනවා” යැයි මංගල සමරවීර කීවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සමඟය.

Rate this item
(2 votes)