October 20, 2018

මහින්ද අගමැති කර තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් - ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාවට!

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ලබන 15 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යමකාරක සභාවට යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.

එහි ප්‍රතිඵලය අනුව ඉදිරි පියවර තීරණය කරන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා 15 වැනිදාට ගෙනෙන එම යෝජනාව ජයග්‍රහණය කළ හැකි යැයි කියා විශාල බලාපොරොත්තුවක් තිබෙන බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙන බවත් කියා සිටියේය.

රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා මන්ත්‍රි ප්‍රභාත් ද අල්විස් මහතාගේ නිවසේ පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සෙනවිරත්න මහතා එසේ පැවැසීය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සෙනවිරත්න මහතා මෙසේද සඳහන් කළේය.

“15 වැනිදාට ගෙනෙන එම යෝජනාව ජයග්‍රහණය කරයි කියා විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. එයට අකැමැති මැති ඇමැතිවරුන්ට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා එක්සත් ජාතික පක්‍ෂයට බැඳී ආණ්ඩුවේ ඉන්න. සමහර විට එසේ දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඊට පසුව මෛත්‍රි ජනාධිපතිතුමාට සිදු වෙනවා එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න උදවු කරන්න. ඒ සඳහා ඔහුට ජනවරමක් ලැබී තිබෙනවා. ඒක අපට ප්‍රශ්නයක් නෑ.“

පවතින තත්ත්වය අනුව වෙනස් වීමක් ඉදිරියේදී සිදු වෙන බවත් ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ කණ්ඩායම් සමඟ එකතු වී කටයුතු කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට ව්‍යවස්ථාව අනුව ජනාධිපති විය නොහැකි වුවත් ඔහු අගමැති ලෙස පත්කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීමටත් ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

තනි ශ්‍රීලනිප ආණ්ඩුවක්

කෙසේ වෙතත් ඉදිරි අනාගතයේදී බිහි වන්නේද ජාතික ආණ්ඩුවක් වුවත් වමේ බලවේග සියල්ලම එකතු කරගෙන තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ ගන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පළකළේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.

අමාත්‍යවරයා මෙසේද කීවේය.

“ඉදිරි අනාගතයේදී බිහිවන්නේද ජාතික ආණ්ඩුවක් තමයි. අපේ ධුර කාලය අවුරුදු දෙකක් තියෙනවා. ඒ අවුරුදු දෙක තුළ අපට ලැබෙන ඕනෑම වගකීමක් භාරගෙන නිසි ලෙස ඉටු කිරීමට කැප වෙනවා. මේ වතාවේ ජාතික ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වුණා. මේ යන විධිය අනුව ජාතික ආණ්ඩුවක් තමයි නිර්මාණය වෙන්න නියමිතව තිබෙන්නේ.

ඒ ක්‍රමයෙන් මිදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ වමේ බලවේග සියල්ල එකතු කරගෙන තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම තමයි අපේ මූලික අරමුණ. ඒ වෙනුවෙන් තමයි අපේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 May 2018 13:37