August 15, 2018

කරළියෙන් එහා: එජාපය දෙදරා යාමට ආසන්නයි - රනිල්ගේ වැඩක් නිසා ජනපතිගේ රතු කට්ට පනී

යළිත් සිදු කිරීමට නියමිත යහපාලන ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය, එජාප ප්‍රතිසංවිධානය සහ ශ්‍රීලනිපයේ 16දෙනා විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමත් සමග ඇතිවන ශ්‍රීලනිපයේ අර්බුදය පිළිබඳ සතියේ දේශපාලන කරළිය උණුසුම් වී තිබිණි. ආණ්ඩුවේ ඇමැති ධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (27) ලිපියක් භාර දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ලිපිය භාරදීමේ අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.ඒ අනුව, ලබන 8 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසියේ සිට විපක්ෂයේ අසුන් ගෙන කටයුතු කිරීමට එම මන්ත්‍රීවරු 16 දෙනා තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්මේන්තු මන්ත්‍රීවරු 16 දෙනා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟම ඒකාබද්ධ විපක්ෂය තවත් පුළුල් වන බවයි.

එජාපයේ අළු යට ගිනි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමත් සමග එජාපයේ දෙදරී යාම උත්සන්න වී තිබේ. විශේෂයෙන් එම තනතුරු පත් කිරීමෙන් අනතුරුව එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් දැඩි විරෝධය පළ කර තිබිණි. මෙලෙස ඊයේ (26) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී උප නායක තනතුරට රවි කරුණානායක මහතා පත් කිරීමට විරෝධය පළකරමින් එජාප හිටපු ඇමැතිවරයකු හා කතානායකවරයකු වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා තමා කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරමින් රැස්වීමෙන් ඉවත්ව ගියේය. "උප නායක ධුරයට රවි කරුණානායක මහතාගේ නම ප්‍රකාශ කර විරෝධතා ඇත්දැයි විමසූ විට දූෂණ චෝදනා ඇති අයකු එජාප උප නායක තනතුරට පත් කිරීමට විරුද්ධත්වය පළ කරමින් කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ධුරයෙන් මා ඉවත් වන බව ප්‍රකාශයක් කර රැස්වීමෙන් ඉවත්ව පැමිණියා.“ මේ පිළිබඳව අදහස් දකිවමින් ජෝශප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. “රවි කරුණානායක මන්ත්‍රිවරයාට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව චෝදනා තිබෙනවා. ඔහු බැඳුම්කර කොමිසමට ගොස් මම දන්නේ නෑ. මට මතක නෑ. යනුවෙන් කළ ප්‍රකාශ නිසා ඔහුගේ සැඟවී තිබුණු අක්‍රමිකතා සහ වංචා ගැන කරුණු අනාවරණය වුණා. ඒ නිසාම ඔහුට ඇමැති ධුරයෙන් ඉවත් වන්න සිදුවුණා. එවැනි අයකු පක්ෂයේ උප නායක ධුරයට පත් කිරීම පාක්ෂිකයන් අනුමත කරන්නේ නැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මා ඉදිරිපත් කළේ පාක්ෂිකයන්ගේ විරෝධයයි." එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයට රවි කරුණානායක මහතා පත් කිරීම ගැන සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ විරෝධයද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ විය.

ජෝශප්ගේ කතාවට රනිල් ඉඩ නොදෙයි

සිය විරෝධය පළ කිරීම සඳහා ප්‍රකාශයක් කිරීමට ජෝශප් මයිකල් පෙරේරා මහතා අවස්ථාව ඉල්ලුවද පක්ෂ ව්‍යවස්ථාවෙන් අනුමත තනතුරකට විරෝධය පළ කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තුනෙන් එකක් සිටිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට අනුව ජෝශප් මයිකල් පෙරේරා මහතාට ව්‍යවස්ථානුකූලව ඉඩ නොලැබිණි. හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ උප නායක තනතුරට වෙනත් නමක් යෝජනා කෙරුවද පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තුනෙන් එකක විරෝධයක් රවි කරුණානායක මහතාගේ පත් කිරීම අත් උස්සා පළ කරන ලෙසට දැනුම් දුන් අවස්ථාවේ අත් උස්සා විරෝධය පළ කරනු ලැබුවේ රන්ජන් රාමනායක මහතා පමණකි. ඔහු කියා සිටියේ රවි කරුණානායක මහතා මේ තනතුරට පත්වීමට ප්‍රථම ඔහුට එල්ල වී ඇති චෝදනාවලින් නිවැරැදිකරු වී පැමිණිය යුතු බවය.

තුනෙන් එකක විරෝධතාව තිබෙන බව කිවහොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බව මෙහිදී ප්‍රකාශ කර ඇති අජිත් පී. පෙරේරා ඇමැතිවරයා නම් යෝජනා කිරීමට හැමෝටම අවස්ථාව ලබාදී ඒ අනුව අදහස් හුවමාරු කරගතහොත් පෞද්ගලික අමනාපකම ඇති නොවන බව පෙන්වා දී ඇත. "අනෙක් කරුණ නම් නායකතුමාම මේ නම් ඔක්කොම ඉදිරිපත් කළාම ඒ නම්වලට තියෙන බර වැඩියි. නායකතුමාට නම් කරන්න වෙනත් තනතුරු තියෙන නිසා අනෙක් නම් ඉදිරිපත් කිරීමට සභාවට අවස්ථාව දුන්නා නම් හොඳයි" යනුවෙන් අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය. “එජාපයේ ව්‍යවස්ථාව අනුවම නොයා වෙනස් තීරණ ගත් අවස්ථා ඕනෑ තරම් තිබෙන බවද මෙහිදී පෙන්වා දී ඇති හෙතෙම අවශ්‍ය නම් ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ආ හැකියි“ එහිදී අජිත් පී. පෙරේරා ඇමැතිවරයා සඳහන් කළේය.

ජෝන්ගේ ඉලක්කය රන්ජන්

පක්ෂ විනය සම්බන්ධයෙන් මෙහිදී දැඩිව අදහස් දක්වා ඇති ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ ඉලක්කය වී තිබුණේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා බව පැහැදිලිය. "ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්න කාලේ කවුරු හරි පක්ෂ විනයට විරුද්ධව ගියා නම් පයින් ගහලා ‍දොට්ට දානවා. නායකතුමා හොඳ වැඩි නිසයි මේ තත්ත්වේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ විනය කඩන අය ගැන ඔබතුමා දැඩි පියවර ගන්න ඕනෑ. අනිත් කරුණ නම් නායකතුමා යෝජනාවක් ගෙනාවම අපි ඒකට සහයෝගය දෙන්න ඕනෑ" යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය. මෙහිදී අදහස් දක්වා ඇති සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා 100%ක් විනය තිබිය යුතු බව තමා පිළිගන්නා බව මෙහිදී සඳහන් කරමින් ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ අදහස පිළිබඳ මෙසේද සඳහන් කළේය. "නායකතුමා කියන ඔක්කෝටම අපි එකඟ වෙන්න ඕනෑ කිව්වාම මෙතන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී බව නැති වෙනවා. ඕනෑම කෙනකුට අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙන්න ඕනෑ. හැබැයි අන්තිම තීන්දුව ගන්න ඕනෑ මෙතැනදී. ඊට පස්සේ අපි එළියට ගියාම ගත්තු තීන්දුව ගැන එක හඩින්ම සිටිය යුතුයි."

පක්ෂයේ මහ ලේකම් තනතුරට ඇමැති වගකීම් නැති කෙනෙක් පත් කළ යුතු බව රුවන් විජේවර්ධන කමිටු වාර්තාව මඟින්ද පෙන්වා දී ඇති බව මෙහිදී සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා තමන් දේශපාලන මණ්ඩලයේදී යෝජනා කළාක් මෙන් මහ ලේකම් පදවියට ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ නම යළිත් යෝජනා කරන බවද ප්‍රකාශ කළේය. කලින් නිර්දේශ කළ තනතුරු ඒ අභිමතයට අනුව සිදුවිය යුතු බව මෙහිදී පැහැදිලි කර ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය නායක තනතුරට සජිත් ප්‍රේමදාස මහතාව තමන් යෝජනා කරන බව මුලින්ම සඳහන් කර තිබේ. මුළු කෘත්‍යාධිකාරි මණ්ඩලයම පාහේ අත් ඔසවමින් හා අත්පොළසන් දෙමින් එම යෝජනාවට අනුමැතිය පළ කර ඇත. තමන් නියෝජ්‍ය නායක පදවියට යළි පත් කර ගන්නට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැමැත්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ කැමැත්තද ලැබුණේ නම් තමන් වඩාත් ඊට කැමැති බවද මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අකිල - නවීන් තනතුරු නිසා ගැටුමකට අරඅදී?

පක්ෂයේ ජාතික සංවිධායක පදවියට පත්කර ගැනීම පිළිබඳව එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක ඇමැතිවරයා මෙසේ පවසා ඇත. "මාවත් පක්ෂයේ තනතුරකට පත් කරගෙන තියෙනවා. මෙතැනදී "සිලෙක්ට්" කිරිල්ලක් නැතිව "ඉලෙක්ට්" කිරිල්ලක් වෙනවා නම් තමයි වඩාත්හොඳ. එජාපය අනෙක් පක්ෂ වගේ නෙවෙයි. ඉතිහාසයේදී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු තීරණ අරගෙන තියෙනවා. නායකතුමයි මගේ පියතුමයි අතරත් එක් අවස්ථාවක ඡන්දයක් තිබුණා. ඒකෙන් මගේ පියතුමා දිනුවේ වැඩි ඡන්ද දෙකකින්. ඔබතුමා එදා දිනුවා නම් ගේමක් දෙන්න තිබුණා" යනුවෙන්ද පවසා ඇති නවීන් දිසානායක මහතා එහිදී මෙසේද සඳහන් කර ඇත. "ජාතික සංවිධායක තනතුරේ තියෙන වගකීම් මොනවද කියලා මට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. අපේ පක්ෂයේ "කේලාම් කල්චර්" එකතුවක් තියෙන නිසා වගකීම් හරියට පැහැදිලි කරලා නොදුන්නොත් මහ ලේකම්තුමයි මායි අතරේ අනවශ්‍ය ගැටුම් ඇති වෙන්න පුළුවන්" යනුවෙන් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනපති කල් මරයි

කැබිනට් සංශෝධනය වෙසක් පෝයට කලින් සිදුවනු ඇතැයි සැක සහිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයෙන් අනතුරුව පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවය. ජනාධිපතිවරයා දිවයිනට පැමිණ දින කිහිපයක්ම ගත වී ඇතත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු තොරතුරුක් මේවන විටත් පළ කර නොමැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීරත් ප්‍රකාශ කර තිබුණේ “විද්‍යානුකූල පදනමක් මත විෂයයන් බෙදා නව අමාත්‍ය මණ්ඩලය පත් කරන බවය.

”කෙසේ වෙතත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ අනිවාර්යයෙන්ම නව කැබිනට් මණ්ඩලයක් පත්කර ආණ්ඩුවේ ඉදිරි කාලය ක්‍රියාත්මක කෙරෙන බවය. ඒ අනුව අද හෙටම එවැන්නක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජනාධිපතිවරයා ඉකුත් බදාදා විදුලි ඉංජිනේරු සංගමයේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී තිබිණ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව රටට ගල් අඟුරු බලාගාර අහිතකර බවට කරුණු ඉදිරිපත් කළේය. විදුලි ඉංජිනේරුවන් අවධාරණය කළේ ලාබදායි ගල් අඟුරු බලාගාර තවත් එකක් හෝ දෙකක් රට තුළ ස්ථාපිතවීම ආර්ථිකයට වඩාත් ඵලදායි බවය. මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව් ජනාධිපතිවරයාට කරුණු කීවේය. “මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. ආර්ථික කමිටුව තීන්දුවක් ගෙන තිබෙනවා ගල් අඟුරු බලාගාර ස්ථාපිත නොකිරීමට” යැයි කියමින් සභාපතිවරයා ආර්ථික කමිටුවේ තීන්දුවත් කියවන්නට විය. එහි සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයාගේ ද අදහසට අනුව ගල් අඟුරු බලාගාර ස්ථාපිත නොකිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹී ඇති බවය. සාලිය මැතිව් එසේ කියද්දී ජනාධිපතිවරයා කේන්තියට පත්ව සිටියේය. “මම නැති ආර්ථික කමිටුවක මගේ තීන්දුවක් කියන්නේ කොහොමද? මම එහෙම එකක් කිව්වේ නැහැ. ඕක මගේ අදහසක් නෙවෙයි. ඔය නිසා තමයි මම ඔය ආර්ථික කමිටුව අහෝසි කළේ” යැයි ජනාධිපතිවරයා තදින් ප්‍රකාශ කළේය. ඉන්පසුව ජනාධිපතිවරයා සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය දැනට සකස් කර තිබෙන 2018-2037 විදුලි ජනන සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගන්නා බවය. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ එකඟතාවය ද මත ලංකා විදුලිබල මණ්ඩලය මිශ්‍ර ජනන සැලැස්මක් සකස් කර තිබෙන අතර එය මීට ඉහතදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ප්‍රතික්ෂේප වී තිබිණ. ආරංචි මාර්ග සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස් හා යෝජනා ඉදිරියේදී වෙනස් කර ගැනීමට නියමිත බවය.

මෛත්‍රී “සයිටම්“ හිමිකරු හමුවෙන්න යයි

මාලබේ සයිටම් අර්බුදයට නිශ්චිත විසඳුමක් ලබාදීමට ආණ්ඩුව තවමත් සමත් වී නැත. නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම, සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල පීඨයට අනුයුක්ත කිරීම වැනි විසඳුම් යෝජනා තවමත් ක්‍රියාත්මක නැත. මේ අතර සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඉකුත්දා හදිසියේම ජනාධිපතිවරයා හමුවීමට ගියේය. එහි යෑමට පෙර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හිතවතකු සමඟ ඔහු පැටලී සිටින අර්බුදය විස්තර කර තිබුණේය. “මේක විසඳන්න ආණ්ඩුවට කිසි අවශ්‍යතාවයක් නැහැ. එහෙන් රෝහලේ ප්‍රශ්නය. මම රෝහල විකුණනවා. මගේ නෝනා හීනෙන් බය වෙනවා. එයා එක දවසක් හීනයක් දැකලා. සයිටම් සිසුන් අපේ ගෙදර වටලනවා දැකලා, එයා බයවෙලා නින්දෙන් නැගිට්ටා” යැයි නෙවිල් ප්‍රනාන්දු කියා තිබිණ. මේ අතර ඔහු ජනාධිපතිවරයා හමුවේ ආවේගවත් අදහස් පළ කිරීමක් ද කර තිබිණ. සයිටම් වෛද්‍ය පීඨය අඩු මුදලකට ස්ලිට් ආයතනයට විකිණීමට අතරමැදියකු කටයුතු කරන බව ද ඊට තමා ඉඩ නොතබන බව ද එහිදී නෙවිල් ප්‍රනාන්දු ජනාධිපතිවරයා හමුවේ කියා තිබිණ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දුගේ අදහස්වලට ජනාධිපතිවරයා ඉතා සාවධානව ඇහුම්කන් දුන් බවය.

පළාත් සභා ඡන්දෙ මේ වසරේ නෑ

පළාත් සභා මැතිවරණය ද දිගින් දිගටම කල්යැම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි කනස්සල්ලකට පත්ව තිබේ. “පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් ගියා. සමහරු ඒ කල්යෑම අපේ ඇඟ මත දාන්න මාන බැලුවා. ඒත් ඒකට අපේ සම්බන්ධයක් නැහැ. මිනිස්සු අපට බැන්නා. දැන් පළාත් සභා මැතිවරණයත් කල් යනවා. අපට කිසිදු සම්බන්ධයක් නැහැ. සියලු දේශපාලන පක්ෂ එක්වී මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කර දිය යුතුයි. නීති ගැටළු විසඳුනොත් මාස තුනක් ඇතුළත අපි ඡන්දය තියනවා” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය. මැතිවරණ කොමිෂන් සභාව කුමන අදහසක් ප්‍රකාශ කළ ද පළාත් කිහිපයක හෝ මැතිවරණය මේ වසර අවසන්වීමට පෙර පැවැත්වීමට හැකියාවක් නැතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතු ගණනාවක්ම උද්ගත වී තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණය කර වාර්තාවක් සකස් කර ඇතත් එම වාර්තාව නැවත සංශෝධනය කිරීමට සිදුවීම, පනහට පනහ යෝජනාවට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා නැවත නීති සකස් කිරීමට සිදුවීම ආදී ගැටළු රැසකට විසඳුම් ලබා ගැනීමට ද සිදුවේ. ඒ සඳහා අඩුම තරමින් මාස හයක පමණ කාලයක්වත් ගතවනු ඇතැයි පැවැසේ. ඒ අනුව මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව ඉතාම අල්ප බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සව රැසකට සහභාගි වීම සඳහා ඇමැති වජිර අබේවර්ධන ඉකුත් දා ගාල්ලට ගියේය. එහිදී ගාල්ල බන්ධනාගාර රැඳවියන් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වූ ඇමැති වජිර අබේවර්ධන රැඳවියන් සමඟ ද සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ දුක සැප විචාරීමටද අමතක කළේ නැත. “වරදක් කරපු කෙනෙක් එක්ක කතා කරන්න එයාව යහ මගට ගන්න බය වෙන්න ඕනෙ නැහැ. හිරේ වැටුණු අය පාතාලේ කියලා මිනිස්සුන්ගෙන් කොන්වුණු අය මාත් එක්ක කතා කරලා තියෙනවා. මම මහජන නියෝජිතයෙක්. වැරදිවලට යොමු වූ අය ගැනත් අපි බලන්න ඕනේ. ‘හිරකරුවෝත් මනුෂ්‍යයෝය’ කියන එක අපි ඉතා හොඳින් මතක තියා ගන්න අවශ්‍යයි. ඇමැති වජිර කීවේය. එහිදී ඇමැතිවරයා තවත් යමක් කීවේය. ආණ්ඩුව හිරගෙවල් නවීකරණය කරගෙන යනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට මේ හිරගෙවල් සියල්ල සකස් කළ යුතුයි. ඇතැම් රටවල හිර ගෙදරකට යන අයට ආපහු එන්න හිතෙන්නේ නැහැ. ඒවා ඒ තරමටම හොඳයි. ඒත් මේ විදියට මිනිසුන් කොටසක් සමාජයෙන් කොන් කරලා තියන්න අපි සූදානම් නැහැ”යි ද වජිර කීවේය.

රජයේ ප්‍රබල අමාත්‍යාංශ එජාපයට

අලුත් අවුරුද්දෙන් පස්සේ අවුරුදු කෑම මේසයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඇමැතිවරුන්ගේ නිල කාමරයේදී එම කෑම මේසය සංවිධානය කර තිබුණ අතර හිතවතුන් සමග කතාබහ කරන අතරවාරේ ඇමැතිවරයා දේශපාලන කතාවක් ද කීවේය. “අපට ඉතාම කෙටි කාලයයි තියෙන්නේ. ඉතා විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ඇමැතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අවුරුදු කෑම මේසයෙන් පස්සේ ඇමැති අකිල ජාතික සේවක සංගමයේ පැවැති අවුරුදු කෑම මේසයට ද සහභාගී වූයේය. ‘අකාර්යක්ෂමව තිබුණු රජයේ ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්ම ඉදිරියේදී එජාපයට ලැබෙනවා. කකුලෙන් ඇදපු අය නැති නිසා දැන් අපට ඉතා පැහැදිලිවම ඉදිරියට යන්න පුළුවන්’ යැයි ඇමැති අකිල විරාජ් කීවේය.

මෛත‍්‍රී පක්ෂ අර්බුදය විසඳගන්න රට අර්බුදයට යවනවා

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගිය දහඅටවෙනිදා රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහා කොළඹදී රැස්වූහ. මෙම හමුවේදී ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20වැනි සංශෝධනය, පාර්ලිමේන්තු කල්තැබීම සහ ශ‍්‍රීලනිප පක්ෂ අර්බුදය නිසා රට අර්බුදයට යෑම පිළිබඳව අවධානය යොමු විය.

“පාර්ලිමේන්තුවට විශේෂ පනතක් සහ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වෙන්න තිබියදී පාර්ලිමේන්තු කල් තැබීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩක්. විගණන පනත අපේ‍්‍රල් 19 පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න නියමිතව තිබුණා. මේක මාස ගාණක් කල් දාපු පනතක්. මේ ආණ්ඩුව වැදගත් දේවල් හැම එකක්ම පස්සට දානවා. අනික අපේ 20 සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න තිබුණෙත් 19වෙනිදා. දැන් හැම එකක්ම කල් යනවා.” බිමල් රත්නායක කියා සිටියේය. ”පාර්ලිමේන්තුව කල් දාන්න සිදු වුණේ ශ‍්‍රීලනිප පක්ෂ අර්බුදය නිසයි. මේ පාර්ලිමේන්තු සභාවාරයේදී ශ‍්‍රීලනිප කණ්ඩායම විපක්ෂයේ වාඩි වෙන්න තමයි සැලසුම තිබුණේ. නමුත් ජනාධිපති කල්පනා කළා, තමන් රටේ නැති වෙලාවක පක්ෂයේ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන්න එක එයාට වෙන දේශපාලන අවුලක් කියලා. ඒ වගේම එයාට පොදු රාජ්‍ය මණ්ඩල නායකයින්ටත් මුහුණ දෙන්න බැරි වෙන තත්වයක්” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”පක්ෂයේ අර්බුද යටගහන්න රටේ නායකයා මුළු රටම අර්බුදයට යවනවා. ජනාධිපති පක්ෂය බදාගෙන මේ වෙනකන් කළෙත් රට අර්බුදයට යවන එක. පාර්ලිමේන්තුව කියන්නේ ඒ අයම කියන විදියට රටේ ජනතාවට වගකියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වගකියන රටේ උත්තරීතර ආයතනය. එහෙම ආයතනයක් තමන්ගේ පක්ෂයේ අර්බුදය විසඳගන්න තමන්ට ඕන ඕන වෙලාවට කල් තියනවා. මේක ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න ආපු අයම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීව වැඩ කරනවා.” පක්ෂ නායක අනුර දිසානායක පෙන්වා දුන්නේය.

20වැනි සංශෝධනය මැයි මස මුල පාර්ලිමේන්තුව

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුව කල්තැබීමත් සමඟ පසුවට තැබීමට ජවිපෙට සිදුවිය. මේ සංශෝධනයේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වී තිබේ. ”20 සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න වෙන්නේ මැයි මාසයේ මුල් සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී. දැනටමත් 20 ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. සමහරු මේක අල්ලගෙන ආපහු අපිට අවලාද ගහන්න පටන් අරගෙන.” විජිත හේරත් කියා සිටියේය. ”ඔව්, ඇතැම් බංකොලොත් දේශපාලන විචාරකයෝ මේකත් අපිව රනිල්ට හේත්තු කරන්න මාතෘකාවක් කරගන්න හදනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටනේ අතීතය හිතාමතා අමතක කරලා දාලා තමයි මේ විචාරකයෝ කතා කරන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.”

“මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙත් මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙන්නේ. බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ 20 සංශෝධනයට සහය දෙන්නේ පසුදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කොන්දේසිය උඩ කියලා. ඒ වගේම වාසුදේවලා ඉන්න මතය වෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේනගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුත්තේ කියලා.” විජිත හේරත් කීවේය. ”කොහොම වුණත් දැන් මහින්ද රාජපක්ෂලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කොන්දේසි පිට හරි සහය දෙන්න තීරණය කරලා. ඒක හොඳ ප‍්‍රවණතාවයක්. කොහොමත් විධායක ජනාධිපති ධුරය අහෝසිවීම මෛත‍්‍රීගේ ධුර කාලයට බල නොපාන ලෙස තමයි සංශෝධනය කෙටුම්පත් වෙන්නේ. ඒ නිසා වාසුදේවලාගේ ප‍්‍රශ්නයට උත්තරය තියෙනවා. නමුත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන මෙම සංශෝධනයට ප‍්‍රතිපාදන ඇතුල් කරන්න පුළුවන්කමක් නැහැ. ඒක කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 2/3කේ බහුතරය අනුවයි.” ටිල්වින් සිල්වා පැහැදිලි කළේය. ”මේ ගැන විවිධ මත තියෙන නිසා අපි පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා වටයක් යන්න ඕනෑ. නිශ්චිතවම පක්ෂවල ස්ථාවරය දැනගන්න එක තමයි අපි කළ යුත්තේ. එක එක්කෙනාගේ ප‍්‍රකාශවලට මේකෙන් පිළිතුරු හදන්න බැහැ.” අනුර දිසානායක යෝජනා කළේය. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ඇතුළුව පක්ෂ නායකයින් හමුවී මේ පිළිබඳව අවසාන වශයෙන් සාකච්ඡා කිරීමට ජවිපෙ නායකයෝ තීරණය කළහ.

හඳුන්නෙත්ති උපාධිධාරීන් හමුවෙයි

රැකියා විරහිත උපාධිධාරීන් නියෝජනය කරන දිස්ත‍්‍රික් නියෝජිත පිරිසක් පසුගිය සතියේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් කළහ. එහිදී රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දෙන ගැටලූ පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමටද සාකච්ඡා විය.

”මේ වෙනකොට රැකියාවලට ඉල්ලූම්පත් පමණක් 57,000ක් ඇවිත් තියෙනවා. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල ඉන්ටර්විව් කරනවා. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ සිරිකොතේ සහ ඩාර්ලි පාරේ ඉන්ටර්විව් වෙනම කරලා ගන්න ඕන අය තීරණය කරලා ඉවරයි.” දිස්ත‍්‍රික් නියෝජිතයෙක් පැවසීය. ”අනෙක් ප‍්‍රශ්නය තමයි ආණ්ඩුව ගන්න තීරණය කරලා තියෙන්නේ 20,000ක් කියන එක. නමුත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඉල්ලූම්පත‍්‍ර විතරක් 57,000ක් තියෙනවා. ඒ වගේම 2012 ඉඳලා ආණ්ඩුව රැකියා ලබාදීලා නැහැ. දැන් දෙන්න තීරණය කරලා තියෙන්නේ 2016 දෙසැම්බර් 31 දක්වා උපාධිධාරීන්ට පමණයි. ඒ වගේම 2012 සිට අනුපිළිවෙළට ගන්නෙත් නැහැ.” තවත් දිස්ත‍්‍රික් නියෝජිතයෙක් පැවසීය. ”ඒ වගේම ආසනයට 20 ගානේ දැනටමත් තෝරාගෙන තියෙනවලූ. තනිකරම දේශපාලන පත්වීම් විදියට තමයි මේවා ලබාදෙන්න යන්නෙ. එහෙම වුණොත් සෑහෙන පිරිසකට අසාධාරණයක් වෙනවා. මේ ගැන අපි ක‍්‍රියාමාර්ග ගන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ” රටේ මානව සම්පත්වලින් ප‍්‍රයෝජනයක් ගන්න ආණ්ඩුවට බලකරන්න සිද්ධවෙලා. අපි මේ ගැන මාධ්‍ය හමුවක් කරමු. මුලින්ම මේ ගැන ඇත්ත තත්වය රටට කියන්න ඕනෑ. ඒ වගේම කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කරමු.” රැකියාලාභී උපාධිධාරී සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි යෝජනා කළේය.

Rate this item
(1 Vote)