August 15, 2018

තනතුරු මාරුවෙන් පසු එජාප දෙදරයි: පසුපෙල මන්ත්‍රීවරු ස්වාධීන වෙයි? නායකත්වයට සජිත්ව ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් දැඩි විරෝධය පළ කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එජාප ප්‍රතිසංවිධාන කිරීමේදී තමන් බලාපොරොත්තු වූ නායකත්වයේ වෙනසක් ඇතුළු පූර්ණ බලතල සහිත තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරු පිරිස දැඩි කණස්සල්ලෙන් පසුවන බවද වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු වූ තරම් සතුටුදායක නොවීම හේතුවෙන් ඊට විරෝධය දැක්වීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

පක්ෂයේ ප්‍රතිසංවිධානයක් නොවීමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීමත් හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීරුන් සිය විරෝධය දැක්වීමට නියමිතය.

පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇති අතර එයට විරෝධය පාමින් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඔවුන් විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉදිරියේදී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡාකරමින් පවතින බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් පත්කළ නව තනතුරු සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවීමට අගමැතිවරයා සැලසුම්කර ඇත.

පක්ෂයේ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (26) දිනයේදී සාකච්ඡා කළ අතර, ඉදිරියේදී ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට නියමිත බවද වාර්තාවේ.

නායකත්වය සජිත්ට ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබාදුන් තීරණයට දැඩි විරෝධය ප්‍රකාශ කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩල පත් කිරීමට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරන එජාපය සුරැකීමේ ජාතික සංවිධානය ඉදිරියේදී මෙම නිලධාරීන් සමඟ දේශපාලන කටයුතුවල නිරත නොවන බව ඊයේ (26) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා එහිදී ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය විසින් පත්කර සිටින නව නිලධාරි මණ්ඩලයට තම සංගමයේ දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බවත්ය.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුසු බවද සඳහන් කළ හෙතෙම “ඉවසුවා ඇති නායකත්වය භාර ගන්න“ යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් ද කළේය.

කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ට මෙම පක්ෂය විනාශ කිරීමට උදවු ලබා නොදෙන ලෙස ඉල්ලීම් කරන බවද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ප්‍රතික්ෂේපවූ අයකු බවද එම සංවිධානයේ ප්‍රධාන ලේකම් එස්.ආර්. වික්‍රමසිංහ මහතා පැවසී ය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ වෛරයෙන් සිටින බවත් එසේ වෛර කිරීමට හේතුව වී ඇත්තේ ඔහුට ජනාධිපතිකම නොලැබීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

2020 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු නොව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයකු ජනාධිපති කරවීමේ උත්සාහයක් පවතින බවද පක්ෂ මහ ලේකම් තනතුරට අකිල විරාජ් කාරියවසම් මහතා නුසුදුසු බවද හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගේ කීකරු ගෝලයන් තුරුලු කරගෙන තනතුරු ලබාදීම සිදුකර ඇති බවට ඔහු චෝදනා එල්ල කළේය.

රුවන් තනතුරු එපා කියයි

ඊයේ (26) පෙරවරුවේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී රැස්වූ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා එජාප දේශපාලන මණ්ඩලය නිර්දේශ කර තිබූ නම් සඳහා අනුමැතිය දුන්නේය.

ඒ අනුව එජාප මහ ලේකම් ධුරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති ධුරයට අමාත්‍ය කබීර් හෂීම්, නියෝජ්‍ය නායක ධුරයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, භාණ්ඩාගාරික ධුරයට අමාත්‍ය හර්ෂ ද සිල්වා, ජාතික සංවිධායක ධුරයට අමාත්‍ය නවින් දිසානායක, ජන සන්නිවේදන ලේකම් ධුරයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, වෘත්තීය සමිති ලේකම් ධුරයට අජිත් පී. පෙරේරා යන මහත්වරු කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතියෙන් පත්වූහ.

නියෝජ්‍ය මහ ලේකම් ධුරයට දේශපාලන මණ්ඩලයේ නිර්දේශය අනුව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ නම ප්‍රකාශ වූ අවස්ථාවේ තමන්ට එම තනතුර භාර ගැනීමට නොහැකි බැවින් වෙනත් අයකු ඒ සඳහා පත්කර ගන්නා ලෙස රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එජාපයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා දී තිබුණත්, පක්ෂ ව්‍යවස්ථාවට අදාළව යා හැකි උපරිම දුර යෑමට හැකිවූ බවත් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් පක්ෂ ව්‍යවස්ථාවේ වෙනසක් විය යුතු බවට තමන් කළ යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් එය පාක්ෂිකයන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට ලැබෙන හොඳ ආරම්භයක් බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසී ය.

සජිත්ගේ යෝජනාව ස්ථීර කරන්න කිසිවෙකු නෑ

මෙහිදී එජාප මහ ලේකම් ධුරය සඳහා දේශපාලන මණ්ඩලය නිර්දේශ කළ අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ප්‍රකාශයට පත් කර වෙනත් නම් ඒ සඳහා ඇත්දැයි විමසූ අවස්ථාවේ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනමාධ්‍ය ඇමැතිවරයකු වූ ඉමිටියාස් බාකිර් මාකාර් මහතාගේ නම යෝජනා කළ විට එම යෝජනාවට ස්ථීර කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමක් වී තිබේ.

පාසල් වියේ සිට බිම් මට්ටමේ පටන් එජාප දේශපාලනයේ නිරත වූ තමන් ගම හා නගරය ගැන මනා වැටහීමක් ඇති අත්දැකීම්වලින් පෝෂණය වූ අයකු බවත් එජාප මහ ලේකම් ධුරය වැනි අභියෝගයක් තමන් භාර ගන්නේ සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ හරහා කිසිදු භේදයකින් තොරව විශාල වෙනසක් කරමින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අපේක්ෂාවෙන් බවත් නව මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

පසු පෙළ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සැබෑ ප්‍රතිසංවිධානයක් ඇති කිරීම සඳහා රුවන් විජේවර්ධන කමිටු වාර්තා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පසු තමන් බලාපොරොත්තු වූ රැඩිකල් වෙනස ඒ ආකාරයෙන්ම ඉටු නොවූ බවත් තරුණ නායකයන්ට ඉදිරියට ඒම සඳහා ඉඩහසර පාදා දීම සඳහා ඇපකැපවී ක්‍රියා කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිසංවිධානය තුළින් ජනතාව බලාපොරොත්තු වූ එජාපයේ සැබෑ වෙනස ඉටුවන බවක් පෙනෙන්නට නැතැයිද අප්‍රේල් 30දා තෙක් සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිට මාධ්‍යට ප්‍රකාශයක් කරන බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 01 May 2018 10:05