May 26, 2018

මැයි 08 වැනිදායින් පසු ශ්‍රීලනිපයේ ලොකු පෙරළියක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න ලබන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

කොළඹ මළලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ඊයේ (24) රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්විණි. මෙම මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 8.00ට පමණ ආරම්භ වී රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි.

මැයි 08 වැනිදාත් මැයි 15 වැනිදාත් අතර මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම පවත්වා එහිදී අවසන් තින්දුව ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය ඇතුළුව පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් දින 45ක් ඇතුළත සිදුකිරීමට ද මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

ශ්‍රීලනිපයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

එම ප්‍රතිසංවිධානය සිදු කරන ආකාරය ගැන ලබන මැයි 08 වැනිදායින් පසු රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිතය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා හට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ඊයේ ජනාධිපතිවරයා අවසර ලබා දී ඇත.

විපක්ෂයේ අසුන් ගත්ත ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනා ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට එක්ව තිබේ.

එමෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි දින සැමරුමට සහභාගි වීමට ඇමතිධුර වලින් ඉවත්වු නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම ඊයේ පැවැති මධ්‍යම කාරක සභාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක්ද පවත්වා තිබේ.

මේ අතර මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනපති නිල නිවසේදී පැවැත්විණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 April 2018 12:20