April 20, 2018

මෛත්‍රීගේ විශේෂ දූතයෙකු රනිල් සමග රහස් සාකච්ඡාවක! ශ්‍රීලනිප - එජාප ඇමැති පිරිසකගෙන් රනිල්ට අලුත් වැඩපිළිවෙළක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ දූතයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එම විශේෂ සාකච්ඡාව ඊයේ (11) පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ විශේෂ දූතයකු ලෙස රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එම සාකච්ඡාව සිදු කර ඇත්තේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 16දෙනකු ඡන්දය දීමෙන් පසුව යහපාලන ආණ්ඩුව තුළ පැනනැඟී තිබෙන දේශපාලන ගැටලුව විසඳා ගැනීමට බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ෆවුසි රාජ්‍ය අමාත්‍යවරයා අගමැතිවරයා හමුවීමට ගොස් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමකට අනුව බවට එම ආරංචි මාර්ග පැවසී ය.

සාකච්ඡාවට අරමුණ වී තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් අයගෙන් කීපදෙනකුට ආණ්ඩුවට සම්බන්ධවී කටයුතු කිරීමට කැමැත්ත ලබා ගැනීම වන අතර ඒ පිළිබඳව කළ සාකච්ඡාවේදී තමාට මේ සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමට නොහැකි බවත් එජාපයේ අනෙක් අය සමඟ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවත් අගමැතිවරයා දැනුම් දුන් බවත් දැනගන්නට තිබේ.

විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමත් තවත් කොටසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ පැන නැඟී ඇති අවුල සහ බෙදීම සමනය කිරීමට ජනාධිපතිවරයා ඊයේත් මේ කණ්ඩායම් දෙක සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබිණි.

ශ්‍රීලනිප - එජාප පිරිසක් අගමැති හමුවෙයි

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(12) ශ්‍රී ජයවර්ධන පුර පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තමා හමුවී රට ඉදිරියට ගෙන යාම සඳහා අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවත් අනාගතය දෙස බලා ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා පැවසී ය.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා වලින් පසුව ඉදිරි වැඩපිළිවෙළ ඉක්මණින් ක්‍රියාත්මක වනු ඇතැයි ද ඒ අලුත් මාර්ගයේ ඉදිරියට යාමට හැකිවෙතැයි විශ්වාස කරන බවද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 18 April 2018 00:03