April 20, 2018

එජාපය අවුලෙන් අවුලට: මහ ලේකම් ධුරයට තුන්කොන් සටනක්! රවීගේ යෝජනාවට සජිත්ගෙන් විරෝධයක්

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා මේ වන විට නම් කිහිපයක් යෝජනා වී තිබේ.

ඒ අනුව දැනට පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරය දරන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය නවීන් දිසානායක සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් යන අයගේ නම් යෝජනා වී ඇත.

පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය දැරූ අමාත්‍ය කබීර් හෂීම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්විය.

මේ අතර කැබිනට්‌ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වී එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගෙන් එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.

පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති එජාප ප්‍රතිසංවිධාන කටයුතුවලදී දේශපාලන මණ්‌ඩලය පත් කිරීමේ ඡන්දයෙන් නවීන් දිසානායක මහතාට වැඩිම ඡන්ද ප්‍රමාණයක්‌ ලැබීම මෙම ඉල්ලීමට හේතු වී ඇත.

පක්‍ෂයේ මහලේකම් ධුරයට ඇමැතිවරයකු නොවත පුද්ගලයකු පත් කළ යුතු බවට මේ වන විට එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රතිපත්ති තීන්දුවක්‌ ගෙන ඇති බැවින් හෙතෙම මහලේකම් ධුරයට පත්වන්නේ නම් දැනට දරන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් පුද්ගලයා අමාත්‍ය නවීන් දිසානායක මහතා බැවින් පක්ෂයේ මහලේකම් තනතුරට සුදුසුම පුද්ගලයා ඔහු බවයි.

පූර්ණ බලතල සහිතව පක්‍ෂයේ මහලේකම් ධුරය ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සිතා බැලීමට තමන් සූදානම් බවත් එහෙත් එවැනි ආරාධනාවක්‌ තවම තමාට ලැබී නැති බවත් ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් එජාපයේ පූර්ණ ප්‍රතිසංවිධනයක් සිදුකළ යුතු බවට අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ප්‍රතිසංවිධාන කමිටුවක් මඟින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ අවධානය යොමු කරමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එජාප ප්‍රතිසංවිධාන කමිටුවට, කත්‍යාධිකාරි මණ්ඩලයට සහ එජාප සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පසුගිය 07 සහ 08 යන දිනයන් වෙන්කර තබාගන්නා ලෙස පසුගිය සතියේදී එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබිණි.

ඒ අනුව එම සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් පක්‍ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳ පසුගිය 07 වනදා උදෑසන සිට රාත්‍රිය දක්වා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවේදී අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඉදිරිපත් කළ කමිටු යෝජනාව ප්‍රධාන කොටගෙන සියලුම අයගේ අදහස් ලබා ගැනීමට පක්‍ෂ නායකත්වය කටයුතු කර තිබේ. එහිදී සියලුම දෙනා තමන්ගේ මතය විවිධ අයුරින් පළ කර සිටි බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත්ගෙන් විරෝධයක්

රුවන් විජේවර්ධන කමිටු වාර්තාව මඟින් නායක, උපනායක තනතුරු සඳහා තවත් අයකු පත් කළ යුතු බවට දක්වා තිබෙන අතර ඊට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරු 02ක් ඇති කළ යුතු බවට යෝජනා කර තිබේ. එම යෝජනාවට බලවත්සේ විරෝධය පළ කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එසේ කළහොත් තමන් නියෝජ්‍ය නායකකමින් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර තිබේ. එහිදී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ මතය වී ඇත්තේ පක්‍ෂයට නියෝජ්‍ය නායක තනතුරු 02ක් තිබීමේ ඇති වරද කුමක්ද යන්නයි.

එම අවස්ථාවේදී හර්ෂණ රාජකරුණා, රවි සුමනවීර, ශේෂා විතානගේ ඇතුළු පිරිසක් නැඟී සිටිමින් කියා ඇත්තේ "මේ තියෙන ප්‍රශ්නය මදිවාට තවත් ප්‍රශ්නයක් ඇති කරගන්න එක හොඳ නැති බවත් දැනටමත් මේ පිළිබඳ මාධ්‍යයට තොරතුරු ලැබී තිබෙන බවත්ය" එහෙයින් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන ලෙස ඔවුන් අදහස් පළ කර ඇත.

කෙසේ නමුත් එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් ව්‍යවස්ථාවට අනුව තිබිය හැක්කේ නියෝජ්‍ය නායක, උප නායක තනතුරු එකක් පමණක් බවත් ඒ පිළිබඳ මාධ්‍යයට සඳහන් කරන්නැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට ප්‍රසිද්ධියේම උපදෙස් දී තිබේ.
මෙහිදී මහලේකම් ධුරයට සුදුසු කවුරුන්ද යනුවෙන් කළ සාකච්ඡාවේදී හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මහතා සුදුසු බවට පැමිණ සිටි පිරිස අදහස් පළ කර ඇත.

එම අදහස් දැරූ අය අතර අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇතුළු මැතිඇමැතිවරුන් කිහිපදෙනෙක් දැඩිව කියා ඇත්තේ මේ ධුරයට බාකිර් මාකර් මහතා සුදුසු බවයි. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ඊට නිහඬව සිටි බවද ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මේ තනතුරු සඳහා සුදුසු අය පත් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී කමිටුවක් හරහා සිදුකිරීම වඩාත් යහපත් බව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගේ මතය වී තිබේ. ඒ සඳහා දේශපාලන මණ්ඩලයක් පත් කරගන්නා ලෙස ඔවුන් යෝජනා කර ඇති අතර එම දේශපාලන මණ්ඩලයට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රහස් ඡන්දයෙන් සාමාජිකයන් පත් කරගන්නා ලෙසත් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමට අවධානය යොමු කරමින් පක්‍ෂ නායකත්වය විසින් එම සාමාජිකයන් පත්කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරින් පිරිසක් පත්කරගන්නා ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමෙන් පමණක් ඔවුන්ගේ රහස් ඡන්දය භාවිත කරමින් පක්‍ෂයේ තනතුරුවලට සුදුසු අය පත්කිරීම සඳහා නිර්දේශ නිකුත් කිරීමට, දේශපාලන මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට කටයුතු කර ඇත.

රාජිතට චතුරට රනිල්ගෙන් විශේෂ ඇරයුමක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ රහස් ඡන්දයෙන් උපදේශක මණ්ඩලය වෙනුවෙන් අමාත්‍යවරුන් දහදෙනකු පත්කරගෙන තිබේ. එම මණ්ඩලය මඟින් ඉදිරියේදී පක්‍ෂ නායකත්වය වෙත අදාළ නිර්දේශ ලබාදීමට නියමිතය. එම නිලධාරීන් දහදෙනාට අමතරව පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා උපනායක ධුරයෙන්ද මෙම මණ්ඩලය නියෝජනය කරනු ලැබේ.

කෙසේ වෙතත් සමාන ඡන්ද ලැබීම හේතුවෙන් මෙම උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව පසුව 12 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, අජිත් පී. පෙරේරා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න, අශෝක ප්‍රියන්ත, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ. සී. අලවතුවල යන පිරිස් උපදේශක මණ්ඩලය නියෝජනය කරයි.

මෙම උපදේශක මණ්ඩලය පත්කරන අවස්ථාවේදී ඇතැම් පිරිස් ඡන්ද දීමෙන් වැළැකී ඉවත්ව ගොස් තිබේ. මීට අමතරව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාටද මෙම සාකච්ඡා සඳහා සහභාගි වන ලෙස පක්ෂ නායකත්වය ආරාධනා කර තිබිණි. පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් විශාල කැපකිරීමක් ඔවුන් දෙදෙනාගෙන් සිදුවන බව පවසමින් අග්‍රාමාත්‍යවරයා ඔවුන්වද මෙම සාකච්ඡාවලට සහභාගි කරවාගෙන සිටීම විශේෂත්වයක් විය. එහිදී ඔවුන් දෙදෙනා ඉදිරි ජාතික මැතිවරණය සඳහා පක්‍ෂය සූදානම් විය යුතු ආකාරය පිළිබඳ සිය අදහස් ලබාදී තිබේ.

Rate this item
(3 votes)
Last modified on Thursday, 12 April 2018 23:24