December 12, 2018

එජාපය ඇතුළේ යළි කැරැල්ලක්! මාස 6ක් ඇතුළත රනිල්ට තවත් විශ්වාසභංගයක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී, පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම ප්‍රමාද කිරීමේ අරමුණෙන් කමිටු පත්කිරීම අනුමත නොකරන එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් අගමැතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ (08) තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව තවත් මාස හයක් ඇතුළත අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡාවකට කැඳවා, ඒ පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පවත්වන්නේ නැතිව, අවසානයේ අගමැතිවරයාට හිතවත් පිරිසකගෙන් සමන්විත කොමිටියක් පත්කර මන්ත්‍රිවරුන්ගේ වටිනා කාලය නාස්ති කළ බව එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරු පිරිසක් ප්‍රකාශ කළහ.

අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, තුසිත විජේමාන්න, දයා ගමගේ, රංගේ බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක්, අගමැතිවරයා පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත්කළ යුතු බවට අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.

රවි කරුණානායක, මංගල සමරවීර, ලක්ෂ්මන් විජේමාන්න, වජිර අබේවර්ධන යන ඇමැතිවරු ඇතුළු පිරිසක් මෙහිදී අගමැතිවරයා වෙනුවෙන් අදහස් පළ කර ඇත.

වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර ඇමැතිවරු සාකච්ඡාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එජාප නායකත්වයෙන් අගමැතිවරයා වහාම ඉවත් විය යුතු බවට බලකර සිටින කණ්ඩායමේ මන්ත්‍රිවරු 10දෙනකු ඊයේ රැස්වී තිබේ.

ඒ අනුව ඔවුන් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන විශ්වාසභංග යෝජනාව සඳහා වන චෝදනා පත්‍රය සකස් කිරීම ආරම්භ කිරීම ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

මේ වන විට එජාපයේ මැති ඇමැතිවරු 24දෙනකු විශ්වාසභංග යෝජනාවට කැමැත්ත පළ කර ඇති අතර මැති ඇමැතිවරු 50 දෙනකුගෙන් එම යෝජනාවට අත්සන් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද වාර්තා වේ.

එජාප නායකකම දිගටම රනිල්ට

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොකර තනතුරුවල පූර්ණ ප්‍රතිසංවිධානයක් මේ මස අවසන් වීමට පෙර සිදු කිරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 සහ 08 යන දිනවලදී එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් සහ එජාප ප්‍රතිසංවිධාන කමිටුව ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් එජාප ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡා වට කිහිපයක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එම සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

එම සාකච්ඡාවේදී එජාපයේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොකර කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියලුම තනතුරුවල වෙනසක් සිදු කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයක් මන්ත්‍රිවරුන්ගේ රහස් ඡන්දයෙන් තෝරාගත් බවත් අමාත්‍යවරයා පැවසී ය.

එම දේශපාලන මණ්ඩලය විසින් ඉදිරියේදී පක්‍ෂයේ නිලධාරි මණ්ඩලය සඳහා සුදුසු පුද්ගලයන් නම් කර ඒ පිළිබඳ නිර්දේශ පක්‍ෂ නායකත්වය වෙත දැනුම් දීමට පියවර ගනු ඇත.

එජාප ව්‍යවස්ථාවේ වගන්තියකට අනුව පක්‍ෂ සාමාජිකයන් රටේ ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය හොබවයි නම් පක්‍ෂයේ නායකත්වය ඔහුට හෝ ඇයට ලබාදිය යුතු බව සඳහන් වන බවත්, එජාප මන්ත්‍රිවරුන්ගේ බහුතර මතයටද අනුව එම සාකච්ඡාවේදී පක්‍ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට ඒකමතිකව තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එජාපයේ නිලධාරි මණ්ඩලයේ ධුර කාලය මේ මාසයේ 30 වැනි දින වන විට අවසන් වන බවත් ඊට පෙර සියලු තනතුරු සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වන විට පක්‍ෂයේ තනතුරු හොබවන මහලේකම්, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු සියලු තනතුර අහෝසි වී යන බවත් ඒ සියලු දෙනාට එම ධුරයේ සිටිය හැකි වන්නේ මේ මස 30 වනතුරු පමණක් බවත් මේ වන විටත් පක්‍ෂයේ මහලේකම්, සභාපති, භාණ්ඩාගාරික තනතුරු දැරූ අය එම තනතුරුවලින් ඉල්ලා අස්වී සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 April 2018 12:26