December 12, 2018

විශ්වාසභංගයෙන් ශ්‍රීලනිපය දෙකඩ වෙයි - රනිල් දිනුවත් පැරදුනත් හෙට අලුත් ආණ්ඩුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළද, පරාජය වුවද හෙට (05) දිනයේ සිට නව ආණ්ඩුවක් බිහිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් ඉදිරිපත් වී තිබේ.

විශ්වාසභංගය ගැන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිපය තීරණය කළ බව ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට අද පැවැති ශ්‍රීලනිප රැස්වී‍මේදී තීරණය කළ බවයි.

විශ්වාසභංගය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 25 කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ.

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් විපක්ෂයේ අසුන් ගැනීමට ඔහුට විරුද්ධව ඡන්දය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන නිසා ජාතික ආණ්ඩුව අහෝසි වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට නව ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැම් පක්ෂවලද ආශිර්වාදය ලැබී ඇති බවද එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

යම් හෙයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වුවහොත් හෙට සිට නව අගමැතිවරයකුගේ නායකත්වයෙන් යුතුව ඇමැති මණ්ඩලයක් පත්කළ යුතුවේ.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත්, පැයක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙකු පත්කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.

ජාතික ආණ්ඩුව අහෝසි වී අලුත් ආණ්ඩුවක් පිහිටවූ පසු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමැති මණ්ඩලය 30 කට සීමා වනු ඇත. නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාවද 45 කට සීමා වේ.

ජාතික ආණ්ඩුවක් ඇතිවීමට නම් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය හා දෙවැනියට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතුය.

විශ්වාසභංගයෙන් පසු ජාතික ආණ්ඩුව අහෝසි වී නව ආණ්ඩුවක් බිහිවනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 April 2018 10:21